සවිමත් ආර්ථිකයකට පදනම සැකසීමට හොඳම අවස්ථාවයි | දිනමිණ

සවිමත් ආර්ථිකයකට පදනම සැකසීමට හොඳම අවස්ථාවයි

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්ත

කොරෝනා දෙවැනි රැල්ල පැමිණීමෙන් සමාජ, ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් ඇතිවී තිබේ. රටක් වශයෙන් මෙවැනි මොහොතක ඊට මුහුණ දිය යුත්තේ වඩාත් දූරදර්ශීව මෙන්ම සුපරීක්ෂාකාරීවයි. ඒ පිළිබඳවත් නොවැටී රටක් වශයෙන් නැඟී සිටීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්ත මහතා සමඟ සංවාදයක නිරත වීමු.

මේ වන විට රටක් වශයෙන් අප මුහුණ දෙන තත්ත්වය ගෝලීය අර්බුදයක කොටසක්ද ?

කොවිඩ් 19 ගෝලීය ප්‍රශ්නයක් බව සැබෑවක්. මේ වන විට ලෝක ආර්ථිකයටම එය ඉතාමත් නරක ආකාරයටයි බලපා තිබෙන්නේ. ආර්ථික විශ්ලේෂණයන්ට අනුව 1930 ලෝකය මුහුණ දුන් දරුණුම ආර්ථික අවපාතයට වැඩි බලපෑමක් මේ හේතුවෙන් ඇති වන බවටයි අනුමාන කර ඇත්⁣තේ. ලෝක වෙළෙඳ සංවිධානය (WHO) පවසන පරිදි ගෝලීය වෙ⁣ළෙඳාමෙන් 33%ක් පමණ අහිමීවී යනු ඇති බවයි. මේ තත්ත්වය සමඟ අප පිළිබඳ සසඳන විට පෙනී යන්නේ ලොව අනෙකුත් රටවල් මීට මුහුණ දුන් ආකාරයට මෙවැනි තත්ත්වයකට මුහුණදීම සඳහා අප සතු හැකියාව අවම බවයි.

මේ තත්ත්වය මැනවින් හඳුනාගත් නිසයි කොවිඩ් 19 පළමු අවස්ථාවේ මාස තුනක කාලයක් ⁣රෝගය වළක්වා ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවේ. ඒ අවස්ථාවේ ආර්ථිකයට යම් ආකාරයක පසුබැසීමක් සිදුවූවත් අවම හානියකින් සියලු අංශ කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගත හැකි වුණා. නමුත් රටක් වශයෙන් අප පත්වී සිටින ආර්ථික අසීරුතාව හේතුවෙන් එවැනි කැප කිරීමක් නැවතත් කළ නොහැකි තත්ත්වයකටයි අප මේ වන විට පත්වී සිටින්නේ. ඒ නිසාම දිනෙන් දින ගැටලුව අසීරු තත්ත්වයකට පත්වෙමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් වඩාත් නරක විය හැක්කේ අප සතු සෞඛ්‍ය සම්පත් සීමිත නිසයි. ඒක පුද්ගල වෛද්‍ය කාර්ය මණ්ඩල අනුපාතය. හෙද හා අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙන්ම රෝහල්, ඇඳන් හා රසායනාගාර පහසුකම් අවම මට්ටමකයි පවතින්නේ. මෙවැනි තත්ත්වයක් හමුවේ රටක් වශයෙන් අප ඒ අසීරු තත්ත්වය කරා ළඟා වෙමින් සිටින බවයි පෙනී යන්නේ.

ආර්ථිකය අසීරු තත්ත්වයකට පත්වීමට ⁣කලක් තිස්සේ පවතින ආර්ථික බිඳවැටීම් හේතුවී ඇතැයි ඔබ සඳහන් කළා.?

ආර්ථිකයේ මන්දගාමී බව කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට දිගුකාලීන ගැටලුවක්. උදාහරණයක් විදිහට අපේ රටට පහළ ආදායම් ලබන රටක් ⁣බවට පත්වී සිට මැදි ආදායම් ලබන ආර්ථික තත්ත්වයක් ගොඩනඟා ගැනීමට වසර 21ක කාලයක් ගත වුණා. චීනයට වගේම කොරියාවටත් මේ සඳහා ගතවී තිබුණේ වසර 7ක කාලයක්. ජපානයට මේ සඳහා වසර 9ක්, සිංගප්පූරුවට වසර 10ක කාලයක් ගතවී තිබුණා. කෙසේ වෙතත් මැදි ආදායම් ලබන තත්ත්වය මේ වනවිට නැවතත් පහළ බැස පහළ ආදායම් තත්ත්වයට අප වැටී ඇති තත්ත්වයකුයි උද්ගතවී තිබෙන්නේ. එමෙන්ම ජාත්‍යන්තර Economist සඟරාව වර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ඇති රටවල 66ක ශඛ්‍යතාවන් සලකා ඒ රටවල් පෙළගස්වා තිබෙනවා. රටවල් 66ක් අතරින් අපිට හිමිවී ඇත්තේ 62වැනි ස්ථානය. මේ නිසා අප මේ තත්ත්වයෙන් මිදීම සඳහායි ජාතික ප්‍රතිපත්ති සැකසිය යුත්තේ.

ගෝලීය අර්බුද උත්සන්න වී ඇති මෙවන් වාතාවරණයක ජාතික ආර්ථිකයක් පිළිබඳ කතිකා ජනප්‍රිය මාතෘකා බවට පත්වෙනවා?

මෙවන් වාතාවරණයකදී එවැනි මාතෘකා උණුසුම් මෙන්ම වඩාත් ආස්වාදජනක විය හැකියි. නමුත් අපේ රටේ තිබෙන මිලියන දෙකකට ආසන්න කුඩා වෙළෙඳපොළ කුමන ආකාරයේ ප්‍රමාණවත් බවක්ද? ලෝකයේ වැඩිම ජනගහනය සහිත චීනය පවා දැඩි උත්සාහයක නිරත වෙන්නේ තම වෙළෙඳපොළ හැකිතාක් පුළුල් කර ගැනීමටයි. දුෂ්කර අවස්ථා පසු කළ හැක්කේ ඒ සඳහා සාර්ථක විසඳුම් සෙවීමෙන් පමණයි.

බොහෝ දුබල රටවල් ඒ තත්ත්වයෙන් ගොඩඒමට මෙවන් දුෂ්කර අවස්ථා ප්‍රයෝජනයට ගෙන තිබෙනවා?

මෙය අවස්ථාවක් කර ගැනීමට රටක් වශයෙන් හොඳ ප්‍රවේශයක් ගත හැකියි. ඉලක්කය නිෂ්පාදන ආර්ථිකයක් ඇති කර ගැනීම නම් නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා අවැසි පරිසරය ගොඩනඟාගත යුතුයි. ඒ සඳහා පළමු කරුණ දේශපාලන ස්ථාවර බවයි. දෙවැන්න නීතියේ ආධිපත්‍යයයි. නිෂ්පාදන ආර්ථිකයක පදනම නීතියේ ආධිපත්‍යයයි. විදෙස් ආයෝජන වර්ධනය වන්නේ එවන් පසුබිමකයි. ගුවන්තොටුපොළ, වරාය, බදු ප්‍රතිපත්ති මේවා අවශේෂ කරුණු. සෑම පාර්ශ්වයකම පොදු එකඟතාවකින් යුුතුව මෙවැනි බාධක ජය ගැනීම සඳහා පොදු සම්මුතියක් ඇති කර ගත හැකි නම් මේ අවස්ථාවේ ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය එයයි. වෙළෙඳපොළ ආර්ථිකයක් ස්ථාපිත කළ හැක්කේ ඒ සඳහා වන බාධා ඉවත් කිරීමෙන් පමණයි.

නව අදහස දක්වන්න