කොරෝනා මහ්මුදුල්ලාට පීඑස්එල් අහිමි කරයි | දිනමිණ

කොරෝනා මහ්මුදුල්ලාට පීඑස්එල් අහිමි කරයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලා කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ඔහුට පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත සුපර් ලීග් (පීඑස්එල්) තරගාවලිය අහිමි වනු ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මහමුදුල්ලාට සහ තමීම් ඉක්බාල්ට මේ මස 14 වැනිදා ආරම්භ වන පීඑස්එල් තරගාවලියට එක්වීමට අවසර දුන් අතර, මහමුදුල්ලා මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි. පසුගිය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග කොරෝනා වංසගතය හමුවේ කල් දැමිමට සිදු විය. ඒ අනුව මේ තරග යළි මේ මස 14 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු කෙරිණි. කෙසේ වෙතත් මේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවත්, ඉක්මනින් සුවය ලබා බංග්ලදේශයේ පැවැත්වීමට නියමිත බංගබන්දු විස්සයි20 තරගාවලියට සහභාගිවීමට උත්සාහ කරන බවත් මහමුදුල්ලා පවසා තිබේ.

ඔහු දෙවරක් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු ධනාත්මක ප්‍රතිඵල පෙන්වා ඇති අතර, සීතල හැරුණු කොට රෝග ලක්ෂණ නොතිබූ නිසා ඉන් පුදුමයට පත් වූ බවත්, දැන් තම නිවෙසේ හුදෙකලා වී සිටින බවත් පවසා තිබේ.

නව අදහස දක්වන්න