ලෝකයටම අලුත් නිපැයුම් තනන කඳුකර විද්‍යාගාරය | දිනමිණ

ලෝකයටම අලුත් නිපැයුම් තනන කඳුකර විද්‍යාගාරය

අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් සෙනෙවීර, ආචාර්ය අතුල විජේසිංහ සහ මහාචාර්ය අතුල සෙනෙවිරත්න යන  මහත්වරු පර්යේෂණ නිෂ්පාදන සමඟ

ශ්‍රි ලංකාව ආර්ථික අර්බුදවලින් පිරි රටකි. මෙරට දියුණුව උදෙසා නවෝත්පාදන ආර්ථිකයේ මූලාරම්භය සැපයිය හැකි දැනුම සහ සම්පත් විශාල ප්‍රමාණයක් අප රට සතුව පවතී. එම සම්පත් වසර දෙතුන් සියයකට මුළු ලෝකයටම නිෂ්පාදන සැපයීමට තරම් ප්‍රමාණවත්ව තිබේ. ඒ ඔස්සේ විද්‍යා පර්යේෂණ සිදු කර කර්මාන්ත වශයෙන් කරගෙන යා හැකි නිෂ්පාදන හඳුනාගෙන ඇත. එම නව සොයා ගැනීම් පහළොවක් සඳහා පේටන්ට් බලපත්‍ර ද ලැබී ඇත. වසර ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද එම විද්‍යා පර්යේෂණ ප්‍රතිඵල පර්යේෂණාගාරවලට පමණක් සීමා වි ඇත.

ලොව බොහෝ රටවල් දියුණුවේ හිණිපෙත්ත කරා ළඟා වී ඇත්තේ මූලික විද්‍යා දැනුම සහ සම්පත් උපයෝගි කර ගත් නිෂ්පාදන හරහා වූ කර්මාන්තවලිනි. ජපානයේ ටොයොටා, කොරියාවේ සැම්සුන් ඊට උදාහරණ ලෙස ගත හැකිය. එම නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිතය.

මෙවැනි පසුබිමක අප රට සතු සම්පත්වලින් නවෝත්පාදන නිෂ්පාදන සිදු කර වසර පහක් ඇතුළත ඒක පුද්ගල ආදායම ඩොලර් හාරදහසේ සිට දොළොස්දහස දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින බව මෙරට මූලික විද්‍යා පර්යේෂණ කිරීමේ ආයතනයේ පුරෝගාමියා වන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් සෙනෙවීර මහතා පවසයි.

විද්‍යාවට මූලිකත්වය නොදුන් කිසිම රටක් දියුණු වි නැත. දියුණුවේ ඉහළටම ගමන් කළ සෑම රටක්ම විද්‍යා පර්යේෂණ සඳහා ශ්‍රමය සහ ධනය විශාල ලෙස වැය කර තිබේ. විද්‍යා පර්යේෂණ, ව්‍යවහාරික පර්යේෂණ සහ මූලික පර්යේෂණ ලෙස දෙයාකාරයකි. ව්‍යවහාරික පර්යේෂණවලදි විද්‍යාවේ සංකල්ප මිනිසාගේ අභිවෘද්ධිය උදෙසා ප්‍රායෝගිකව භාවිතයට ගත හැකි ආකාරය පරීක්ෂා කරන අතර, මූලික පර්යේෂණවලදී විද්‍යාවේ නවතම කරුණු සෙවීම සිදු කෙරෙයි.

විද්‍යාවේ මූලික පර්යේෂණ සිදු කිරීම රටකට ඉතා වැදගත් අංශයකි. නව විද්‍යා දැනුම ගොඩනැඟීම, රටේ දීර්ඝ කාලීන දියුණුව උදෙසා නවෝත්පාදන ආර්ථිකයේ මූලාරම්භය සැපයීම මෙන්ම විශාල ව්‍යවහාරික පර්යේෂණ ප්‍රමාණයකට අවස්ථාව සැලසේ. බොහෝ රටවල මූලික විද්‍යා පර්යේෂණ සිදු කිරීමේ ආයතන පිහිටුවා ඇත. ජර්මනියේ මැක්ස් ප්ලාන්ස් ආයතනය, ඇමරිකාවේ හාර්වර්ඩ් සහ ඔක්ස් වර්ඩ්ස් විශ්වවිද්‍යාලය, ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ CSIRO ආයතනය සහ ඉන්දියාවේ ටාටා ඉන්ස්ටිටියුට් යන ආයතන ඉන් සමරහකි.

මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස විද්‍යාවේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රි ලංකාවේ පිහිටුවා ඇති ප්‍රධානතම ආයතනය වන්නේ මහනුවර හන්තාන පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනයයි. (NIFS) මෙය ලංකාවේ විද්‍යාව පිළිබඳව මූලික පර්යේෂණ සිදු කිරීම සඳහා පිහිටුවා ඇති එකම ආයතනයයි. මෙම ආයතනය ආරම්භ වන්නේ 1981 වසරේදිය. මූලික විද්‍යා පර්යේෂණවල ප්‍රතිඵල ලැබීමට දීර්ඝ කාලයක් ගත වුවත් විද්‍යා නව සොයා ගැනීම්වලට සම්බන්ධ පේටන්ට් බලපත්‍ර 15ක පමණ අයිතිය මේ වන විට ජාතික මූලික අධ්‍යයන ආයතනය ලබා ගෙන තිබීම විශේෂත්වයකි.

රටේ සිටින උගත්තු, බුද්ධිමත්තු, විද්‍යාඥයන් වැනි ප්‍රාමාණික දැනුම ඇත්තන්ගේ නැණ නුවණ එක් තැන් කරන මෙම ආයතනය මෙරට ඇති වටිනාම සම්පතකි.

ජාතික මූලික අධ්‍යයන ආයතනයෙහි මූලාරම්භයේ අධ්‍යක්ෂ ධුරය හෙබවූයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතායි. 1985 වසරේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා මෙහි අධ්‍යක්ෂ ධුරය හෙබවීය. මෙම ආයතනයේ වර්තමානයේ මහාචාර්යවරුන් විසිහත් දෙනෙක්, ආචාර්යවරු හැටදෙනකු , පුහුණු වන හතළිස් දෙනකු ඇතුළු දෙසීයක පමණ කාර්ය මණ්ඩලයක් සේවය සපයති.

මෙම ආයතනයේ සිදු කරන ලද මූලික විද්‍යා අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක් ලෙස ලොව ප්‍රථම ජෛව පොහොර නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී ඇත. කෘෂි රසායනික නිසා විනාශ වු ශාක සහ සත්ව ප්‍රජාව නැවත ස්ථාපිත කිරීමට සමත් වුවා සේම වැඩි අස්වැන්නක් ලබා දීමටද මෙම ජෛව පොහොරට හැකියාව ඇත.

සෝයා මුං වැනි රනිල භෝග සඳහා යූරියා පොහොර භාවිතය 50%කින් අඩු කර ගැනීම සඳහා ද උපකාරි වන මෙම ජෛව පොහොර පරිසරය රැක ගැනීම සඳහා මහෝපකාරි වේ. පොහොර සඳහා රජයේ පිරිවැය අඩු කිරීමට ද හැකියාව ලැබේ. පාරිසරික ගැටලුවලට පිළියම් සෙවීම සඳහාද මෙම ආයතනය අවධානය යොමු කර ඇත. ඒ අනුව මෙහි විද්‍යාඥයන් ජෛව අඟුරු පිළිබඳව සිදු කළ මූලික පර්යේෂණවලදී කැළිකසළ භාවිතයෙන් නිපද වූ ජෛව අඟුරු මඟින් කැළිකසළ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට හැකියාව ඇති බව තහවුරු කරගෙන ඇත. තවද පුනර්ජනනීය බලශක්ති පිළිබඳව පර්යේෂණ පවත්වා සූර්ය කෝෂ සඳහා භාවිතා කරන අමු ද්‍රව්‍ය මෙරටදීම අඩු වියදමකින් නිපදවීමට හැකියාව ඇති බව සොයා ගෙන ඇත.

මෙරට තිබෙන සුවිශේෂ සම්පතක් වන මිනිරන් උපයෝගි කරගෙන බැටරි නිෂ්පාදනය කිරීම පිළිබඳව පර්යේෂණ සිදු කර අවසන් කොට ඇත. මේ තුළින් බැටරියක්ද නිෂ්පාදනය කොට සාර්ථකත්වය ලබා ඇත. මුළු ලෝකෙටම සැපයිමට අවශ්‍ය බැටරි නිෂ්පාදනයට අවශ්‍ය තරම් මිනිරන් අප රට සතුව පවතී.

ජීව අජීවි සම්පත් ගවේෂණයේ යෙදීම, මෙරට උණු ළිං තුළ ඇති භූගත තාපය මඟින් විදුලිය නිපදවීම අත්හදා බැලීම සඳහාත් පර්යේෂණ කර ඇත. එමෙන්ම විවිධ ලෙස රෝග හඳුනා ගැනීම සහ පාලනය පිළිබඳව පර්යේෂණ කිරීම ද වැදගත් වේ.

මෙම ආයතනය පර්යේෂකයන් පුහුණු කරන ආයතනයක් ලෙස ද කටයුතු කරනු ලබයි. මූලික විද්‍යා පර්යේෂණවලට අමතර අන්තර්ජාතික විවිධ ක්ෂේත්‍රවල දැනුම හුවමාරු කිරිමේ මධ්‍යස්ථානය බවට පත් වෙමින් දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා පණිවිඩ සේවාව වන විදුනැණ හවුල පවත්වාගෙන යනු ලබන්නේ ද ජාතික මූලික අධ්‍යයන ආයතනයයි.

මෙම ආයතනය විශ්වවිද්‍යාල ආචාර්යවරු පුහුණු කරන ආයතනයක් ලෙස ද ක්‍රියා කරනු ලබයි. ඉදිරියේදී පශ්චාත් උපාධි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ලෙස එම කටයුත්ත පුළුල් කිරීමට ද කටයුතු යොදා තිබේ.

මෙහි පවතින බොහෝ සම්පත් අමුද්‍රව්‍ය ලෙස ඉතා අඩු මුදලකට විදේශ රට වලට ගෙන ගොස් නිෂ්පාදිත භාණ්ඩ ලෙස නැවත මෙරටට ආනයනය කිරීම සිදු කරයි. මෙරට පවතින සම්පත්වලින් නිෂ්පාදනයක් නොකිරීම නිසා මේ තත්ත්වය උදා වී තිබේ. අපේ ශ්‍රමිකයන් විශාල පිරිසක් විදේශයන්හි සේවයෙහි යෙදි සිටිති. මෙරට මානව සහ භෞතික සම්පත් ඉතා ඉහළ මට්ටමක පවතී.

කලකට පෙර අප සාර්ථකව සොයා ගත් පර්යේෂණ රැසක් කාලයත් සමඟ අතපසු වි තිබේ. සූර්ය බල ශක්ති නිපැයුම පිළිබඳ පර්යේෂණ එවැන්නකි. ලෝකයේ පළවෙනි වතාවට එය සොයා ගනු ලැබුවේ අප රට විසිනි. එදා එවැනි දෙයින් ප්‍රයෝජන ගත්තා නම් අද අපේ රට තිබෙන්නේ බොහෝ ඉදිරියෙනි.

සිදු කර ඇති පර්යේෂණ සහ ප්‍රතිඵල ඔස්සේ අවධානය යොමු කොට අප රට සතු සම්පත්වලින් ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකික නාමය ඔසවා තැබීමටත් දියුණුවේ මාවත එළිපෙහෙළි කර ගැනීමටත් දෑස යොමු කළ යුතු කාලය එළඹ ඇත.

 

සටහන  ඉන්ද්‍රාණි තෝරදෙණිය ඡායාරූප  රුවන් මීගම්මන

 

නව අදහස දක්වන්න