වහාම විසඳුමක් සෙවිය යුතු පිටබැද්දර මොනර කරදර | දිනමිණ

වහාම විසඳුමක් සෙවිය යුතු පිටබැද්දර මොනර කරදර

මොනරුන්ගෙන් ආරක්ෂා වන ලෙස සකසාගත් වගාවක් සහ කොරටුවක්

මොනරා අපේ ගම්බිම්වලට හෝ නගරයට හෝ පැමිණීම ගැටලුවක් නොවේ. ඒහෙත් ඔවුන් තම  වාසභූමි සඳහා ග්‍රාමීය කෘෂිකාර්මික බිම්, විශේෂයෙන් වී  වගාබිම් සහ කොරටු වගාබිම් තෝරා ගැනීම උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත.  එබැවින් බොහෝ කෘෂිකාර්මික  ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ දුක් අඳෝනාව වනුයේ  මෙනරුන් නිසා තම වගාබිම් තවදුරටත්  පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවක් ද පවතින බවය.

‘‘ශ්‍රේෂ්ඨ රජතුමනි, නුබ ගැබ සියොතුන්ට සහ මිහිමත සිවුපාවුන්ට ඔබට මෙන්ම මේ දේශයේ ඕනෑම ඉසවුවක ජීවත් වීමට සහ ඇවිදීමට සමාන අයිතියක් ඇත. මිනිසුන්ට අයත් භූමිය අනෙක් සියලු සතුන්ට ද අයත්ය. ඔබ ඒවායේ ආරක්ෂකයා පමණි”

මහින්ද මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට වදාළේ මෙම පාඩමයි.

අපේ මුතුන්මිත්තන් ලෝකය මිනිසුන්ගේ වාසයට පමණක් නොවන බැවු හොඳින් වටහාගෙන සිටියත්, එය අපේ නාගරීකරණය කේන්ද්‍ර කරගත් තාක්ෂණය අවධාරණය කරන සංස්කෘතිය විසින් වේදනාත්මක වුව ද නැවත ඉගෙන ගත යුතු තත්ත්වයකට පත්ව ඇත. මීට සියවස් කීපයකට ඉහත මිනිසුන් හා සත්ත්වයන් අතර පැවතියේ ගැටලු කිහිපයකි. එහෙත් වර්තමානය වන විට මිනිසා හා සතුන් අතර ගැටුම ලෝකයේ විසඳුම් සෙවිය යුතු තේමාවක් බවට පත්ව ඇත.

මිනිස් වන සත්ත්ව ගැටුම මෙහි දී විශේෂ වේ. ඒ යටතේ ලෝකයේ මිනිස් සර්ප ගැටුම, මිනිස් වෘක ගැටුම, මිනිස් කිඹුල් ගැටුම, මිනිස් හිම වලස් ගැටුම, මිනිස් අලි ගැටුම, මිනිස් රිළා ගැටුම, මිනිස් මොනර ගැටුම වැනි තේමාවන් පදනම් කරගත් ගැටුම් නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් එකිනෙකට වෙනස් ජීවීන් විශේෂ දෙකක වාසභූමි ඡේදනය වන තැන ගැටුමක් ඇති වේ. අපේ රටේ වියළි කලාපය ආශ්‍රිතව වර්තමානය වන විට බහුලව අසන්නට ලැබෙන අලි මිනිස් ගැටුම එයට ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැකිය.

ඊටත් වඩා බරපතළ ව්‍යසනයක් ලෙස වර්ධනය වී පවතින මිනිස් මොනර ගැටුම, අලි මිනිස් ගැටුම තරමටම සමීප නොවන්නේ ශ්‍රී ලංකාවේ මොනරුන් හෝ මොනර හානිය පිළිබඳව සංගණනයක් හෝ සමීක්ෂණයක් මෙතෙක් සිදු වී නැති හෙයිනි.

අතීතයේ වියළි කලාපයේ වනපෙත් ළඳු කැළෑ ආශ්‍රිතව පමණක් දක්නට ලැබුණු මොනර ගහනයෙන් කොටසක් දැන් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල සුලභව දැක ගත හැකි අතර නොසිතූ ලෙස හීලෑ වූ මෙම සත්ත්වයා නාගරික ප්‍රදේශ තුළ දක්නට ලැබීම තවදුරටත් දුලබ දසුනක් නොවේ.

මොනරා අපේ ගම්බිම්වලට හෝ නගරයට හෝ පැමිණීම ගැටලුවක් නොවේ. ඒහෙත් ඔවුන් තම වාසභූමි සඳහා ග්‍රාමීය කෘෂිකාර්මික බිම්, විශේෂයෙන් වී වගාබිම් සහ කොරටු වගාබිම් තෝරා ගැනීම උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. එබැවින් බොහෝ කෘෂිකාර්මික ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ දුක් අඳෝනාව වනුයේ මෙනරුන් නිසා තම වගාබිම් තවදුරටත් පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවක් ද පවතින බවය. ඇතැම් ගොවීන් මොනර හානිය ඉවසනු නොහී තම කුඹුරු බිම් පුරන්වීමට ඉඩ හැර බලා සිටින තත්ත්වයක් උදා වී ඇත.

අප විසින් මාතර පිටබැද්දර ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී පෙනීගියේ එම ප්‍රදේශවාසීන් ද මොනර උවදුර නිසා අධික හෙම්බත් තත්ත්වයකට පත්ව ඇති බවයි.

ප්‍රදේශවාසීන් සමඟ සිදු කළ අදහස් විමසුමේදී ඔවුන් පැවසුවේ රතු මුකුණුවැන්න, බණ්ඩක්කා, කරවිල හැර අනෙක් සියලුම කොරටු බෝග, ගෙවතු වගාවන් හා කුඹුරු බිම්වලට මොනරුන් හානි කරන බවය.

263 D කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි අජිත් තුෂාර මහතා ප්‍රදේශයේ පවතින මොනර හානිය පිළිබඳව අප හා විස්තර කළේ මෙලෙසිනි,

‘‘ඉස්සර අපි පුංචි කාලෙ මේ පැත්තෙ එක මොනරෙක්වත් සිටියේ නැහැ. අහම්බෙන් හරි මොනරෙක් දකින්න නම් හම්බන්තොට සීමාවවත් පනින්න ඕනි.දැන් මෙහෙ මොනරෙක් දකින්න නැති මොහොතක් නෑ. මං හිතන්නෙ කටුපොල් වගාවත් එක්ක තමයි මොනරුන්ගේ බෝවීම වැඩි වුණේ. ඉස්සර මෙහෙ කටුපොල් තිබ්බෙ නෑ. රබර් ඉඩම් ගලෝලා 1996 දී විතර කටුපොල් වගාව දැම්මා. එම බිම් ආශ්‍රිතව සර්පයො බෙහෙචින් බෝ වීම සිදු වුණා. සර්පයාට විලෝපිකයෙක් විදියට තමයි මොනරා ගෙනත් දැම්මෙ. මොනරට වේගෙන් බෝවෙන්න හොඳ පරිසරයක් මෙහෙ තියෙනවා. මොකද මොනරට විලෝපිකයෙක් නෑ. ඉස්සර නම් නරි, ඌරො, කොළ දිවියො වැනි සත්තු මොනරු දඩයම් කළා. ඒත් වන ලැහැබ් ජල පෝෂක ප්‍රදේශ අඩු වන්නට අඩු වන්නට නරි වඳ වෙලා ගියා. නිල්වලා ගඟ උතුරා ඇති වෙන මහා ගංවතුර නිසා මේ පැත්තෙ ඌරොත් අඩුයි. ඒ නිසා මොනරු නිදැල්ලේ බෝ වෙනවා. සෙබඩ එක සැරේකට බිත්තර 3-5 අතර ගානක් දානවා. ඒ බිත්තර හැම එකකින්ම පැටවු බිහිවෙනවා. පැටවුන් ද කුඩා කාලයේ දී මියයන ප්‍රවනතාවය අඩු වන්නේ සෙබඩ නිතරම උන් ආරක්ෂා කරන නිසයි. මම හිතන්නෙ මොනරුන්ගෙ බෝ වීම වැඩි වීමට ප්‍රධානම ඒ හේතුවයි. ’’

කෙසේ නමුත් ලංකාවේ වන සතුන් නිසා කෘෂි බෝගවලට සිදු වන හානිය සියයට 40‍කි. එනම් අපේ රටේ නිෂ්පාදනය කරන ආහාරවලින් 1/3ක් පමණ විනාශ කරනු ලබයි. මිනිසුන්ගේ පරිභෝජනය සඳහා තිබෙන ආහාර සතුන් විසින් විනාශ කරනු ලබන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. වෙනත් රටවල ආහාර විනාශ කරන සතුන්ව මර්දනය කළත් අපේ රටේ සංස්කෘතිකමය හා ආගමික වශයෙන් පවතින විශ්වාස මත විවිධ සත්ත්වයින් පූජනීයත්වයෙන් සලකන බැවින් ඔවුන් විනාශ කිරීමට මිනිස්සු මැළි වෙති.

මොනරුන් එවන් ඓතිහාසික පුරාවෘත්තයක් හිමි සත්ත්වයකු බැවින් උගෙන් කෙතරම් හානියක් සිදු වුවත් ඝාතනය කිරීමට බියවන්නේ බොහෝ දෙනෙක් කතරගම දෙවියන් අදහන නිසාත්, උන්වහන්සේට භාරහාර වී සිටින නිසාත්ය. එබැවින් කුඹුරට, ගෙවත්තට පැමිණෙන මොනරු පලවා හරින්නේ සිරුරේ නොවදින ලෙස සිදුවන ගල් ප්‍රහාරවලින්, කෑ කෝ ගැසීමෙන්, රතිඤ්ඤා හෝ අහස් කූරු දැමීමෙන්, කුඹුරේ ටකයක් බැඳීමෙන් ආදී ප්‍රාථමික ක්‍රමවේදයන් මඟිනි. එහෙත් ගොවිතැනින් එදා වේල සරි කරගන්නා ඇතැම් ප්‍රදේශවාසීන්ට රතිඤ්ඤා හෝ අහස් කූරු සඳහා නිතිපතා වියදම් කිරීමට තරම් මුදලක් නොවන නිසාත්, ඔවුන්ගේ දුක් අඳෝනාවන් නිසාත්, ග්‍රාමීය වශයෙන් සිටින කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ උපදෙස් පරිදි මොනරුන් නිතර ගැවසෙන ප්‍රදේශවල ඇල්කොහොල් මිශ්‍ර කළ කඩල තැබීමත්, වායු රයිෆල් තුවක්කු භාවිත කිරීමටත්, කුඹුර පුරාවටම විවිධ උස මට්ටමින් යුත් උල් සිටුවීමටත් උපදෙස් ලබා දී ඇත.

එහෙත් එය සාර්ථක ක්‍රමවේදයක් නොවේ. විශේෂයෙන් ආරක්ෂිත වනජීවී සත්ත්වයකු වන මොනරා මැරීම සඳහා උපදෙස් දීම රජය මඟින් අනියමින් නීති විරෝධී ක්‍රියාවකට පෙලඹවීම් කිරීමක් වන නමුදු අවස්ථානුකූලව ඔවුන්ට ද වෙන කළ යුතු යමක් නොමැතිවනවාට සැක නැත. ඊට හේතුව වගකිව යුතු ආයතන මඟින් නිරවද්‍ය වූ විද්‍යානුකූල විසඳුමක් ලබා නොදීමයි.

මොනරු මස් පිණිස දඩයම් නොකරන්නේමත් නොවේ. ඇතැම් ආගමික විශ්වාස නොතකන්නන් මොනර මස් කලුකුම් මස් ලෙස හෝ දඩ මස් ලෙස විකුණනු ලබන අතර, මෙම තර්ජනයට බොහෝ විට ලක්වනු ලබන්නේ සෙබඩයි. එයට හේතුව මොනරා විනා සෙබඩ කතරගම දෙවියන්ගේ වාහනය නොවන නිසාත්, සෙබඩගේ මාංස ඉතා තෙල් අධික ආහාරයක් වන නිසාත් බැව් ප්‍රදේශවාසීහු පවසති. එහෙත් එවැනි ක්‍රියා සිදු වන්නේ ඉතා ස්වල්ප වශයෙනි.

පිටබැද්දර, කදුරුවාන, මොරවක්කෝරළේ, තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ ඩබ්. එස්. සරත් වික්‍රමරත්න මහතා මොනරුන් නිසා තම කෘෂිභෝග සඳහා සිදු වන හානිය පිළිබඳ අප හා විස්තර කළේ මෙලෙසිනි.

‘‘සාමාන්‍යයෙන් මොනර රංචුවක මොනරු 20-25 ක් විතර ඉන්නවා. මොනරු අපේ වී කනවට වඩා උන්ගෙ හැසිරීමෙන් තමයි වගා විනාශ වෙන්නෙ.’’

ගොඩක්ම පිල් කලඹ නිසා, පිල් කලඹ කුඹුර දිගේ ඇදගෙන යෑම නිසාත්, ඉතා පුළුල් වපසරියකින් යුත් පාද නිසාත්, මොනරාගේ පිල් කලඹ විහිදුවා කරන රංගනය නිසාත් අපේ වගා විනාශ වෙනවා. එක සැරේකට මොනරු දෙතුන් දෙනෙක් කුඹුරට බැස්සත් කුඹුර විනාශයි. ගොයම් ටික කපලා වී ටික කමතෙ තියලා ඩිංගක් එහෙ මෙහෙ උනොත් රංචුවක් ඇවිල්ලා වී ගොඩ උඩ පුදුම කරදරයක් තමයි, ඒක අපේ සමහර ගොවි මහත්තුරු දැන් අවුරුදු 2-3 ඉඳන් කුඹුරු කරන්නෑ. පුරන් වෙන්න ඇරලා තියෙන්නේ. මොනරා හරි ලොකු සතෙක්නෙ, ඌ අපේ ගෙවල්වල වහල උඩත් ඉන්නවා. මොනරා ඇවිත් වහන කොටයි ආයෙ ඉගිලෙන්න වීරිය ගන්නකොටයි උලුකැට බිමට වැටෙනවා, කැඩෙනවා. වැස්සට මුළු ගේම තෙමෙනවා.’’

263 සියඹලාගොඩ බටහිර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී එන්. ඒ. ගුණවර්ධන මහතා මොනරුන් ගැන කියන්නේ මෙවන් කතාවකි.

‘‘මේ පැත්තේ තේ, වී, කටුපොල්වලට අමතරව කුරුඳු වගාවත් සෑහෙන මට්ටමින් සිදු වෙනවා. මොනරා කුරුඳුවලටත් හානි කරනවා. විශේෂයෙන් කුරුඳු තවාන් බිම්වල ඇවිදීම නිසා කුඩා කුරුඳු පැළ සහිත භාජන පෙරළිලා ඒවාට හානි වෙනවා. ඒ වගේම කුරුඳු කියන්නෙ තනි කෙළින් හැදෙන්න ඕන ගහක්. එතකොට තමයි හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒත් කුරුඳු දල්ල කාපුවාම කුරුඳු ගහ කෙළින් හැදෙන්නෙ නෑ. රිකිලි දානවා. මිනිස්සු මොනරුන්ගෙ ජීවිතවලට හානි කරන්නෙ නෑ. ඒත් මේ පැත්තෙ කරන්ට් වයර්වල වැදිල මොනරු මැරෙනවා. ඒ නිසා අපට නිතර කරන්ට් එක යනවා. ඒ හැරෙන්න මොනරුන්ගෙ බෝ වීම වැළැක්වීමට නිශ්චිත ක්‍රමවේදයක් නෑ.’’

ඒ වගේම ලියුම්කරු හට ප්‍රදේශයේ සංචාරය සඳහා මඟපෙනවූ සහ සමීක්ෂණය සඳහා සහාය දැක් වූ ගොරකවල කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී එම්.පී. නිහාල් ප්‍රියන්ත මහතා පවසන අදහසයි මේ.

මොනරා කියන්නේ ඉතා දැඩි සංවේදී ඉන්ද්‍රියන් සහිත සත්ත්වයෙක්. ගසක පොත්තක් බිමට වැටෙන ශබ්දය පවා ඉතා විශාල වශයෙන් මොනරාට ශ්‍රවණගෝචර වෙනවා. එබැවින් මාර්ග දෙපස තිබෙන කුඹුරුවලට මොනරුන්ගෙන් සිදු වන හානිය ගම්මැද්දේ කුඹුරුවලට සිදු වන හානියට සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. ඒ වගේම කොරටු හෝ වෙනත් වගාබිම් ආශ්‍රිතව පරණ පොහොර උර ආදියෙන් සාදා ඇති ආවරණයත් ඊට ඉහළින් මොනරුන්ට පියාඹා පැමිණිය නොහැකි සේ රෙදිපටි ලණු උපයෝගී කරගෙන සකසා ඇති වියනත් මොනරුන්ගේ තර්ජනයෙන් බේරීමට ප්‍රමාණවත් නොවන බවත් ප්‍රදේශයේ පලා වර්ග ආහාරයට ගැනීමට ඇතැමුන් අක­ැමැතියි. එයට හේතුව මොනරුන්ගේ පිල්කලඹෙහි පවතින කුඩු වැනි ද්‍රව්‍යය ශරීරයට අහිතකර යැයි ඔවුන් විශ්වාස කරන නිසාත් මොනරා විසින් සර්පයන් ආහාරයට ගන්නා නිසාත් ඔවුන්ගේ අසූචි විෂ සහිත යැයි නිශ්චය කරන නිසාත් යැයි පවසනවා.

නව අදහස දක්වන්න