උදේ හවා අපිට ඇසෙන අපි නැති වෙන අපේ ගීත | දිනමිණ

උදේ හවා අපිට ඇසෙන අපි නැති වෙන අපේ ගීත

අපේ අනාගතයට තමයි මේකෙ වඩාත් බරපතළ අර්බුදය මතුවෙන්නෙ. ඒ වෙනකොට ලංකාවේ ස්වර්ණමය ගීත කියලා තාරුණ්‍යය වැලඳ ගන්නේ කිසිම අර්ථයක් නැති මානසික මට්ටම් අවුල් කරලාම දාන මෙන්න මේ වගේ තුට්ටු දෙකේ ගීත.

ලංකාවේ මිනිස්සු ගීතයත් එක්ක මොන තරම් විදියට බද්ධ වෙලා ඉන්නවා ද කියලා තේරෙන්නේ බස් එකට නැග්ගට පස්සේ. තමන්ගේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න සංගීතය ඉවහල් වෙනවා කියන තැන තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. ඔෆිස් ඉවර වෙලා තමන්ගේ ප්‍රශ්න , අනුන්ගේ ප්‍රශ්ණ, රටේ ප්‍රශ්න හැම එකක්ම ඔළුවේ හිර කරගෙන බස් එකට නගින මිනිහට එහෙමත් විදියේ, හරියටම කියනවනම් කනට මීපැණි වක්කරනවා වගේ සින්දු ටිකක් අහන්න ලැබුණොත් ඉතින් ගොඩම තමයි. නැත්තං ඉතින් අබ සරණයි. මොකද එහෙම නැත්තං ගෙදර යන්නේ ඔළුව ගිනි අරගෙන මුළු සමාජයටම වෛර කරන ගමන්. මොකද ඒ තරම් සින්දු සෙට් එකක්නෙ දැන් අහන්න තියෙන්නෙ.

ඔළුව ගිනි අරන් සමාජයට වෛර කරගෙන යන මේ කතන්දරේ ගැන කියන්න ඉස්සරවෙලා තවත් ටිකක් අතීතයට ගියොත් හොඳයි කියලා මට හිතුණා. නිකමට වගේ හිතලා බැලුවොත් කාලෙකට ඉස්සර වෙලා අපිට ඇහුණු සින්දු වල මොනතරම් අර්ථ තියෙනව ද කියලා ඒ සින්දු ආයෙමත් වාර කීපයක්ම අහන්න තරම් ගැම්මක් හිතට එනවා. ආදරය වේවා, දේශාභිමානි වේවා, මව් ගුණ ගී වේවා අවසානෙදි අපට ගන්න දෙයක් තිබ්බා. සරලවම වර්තමාන භාෂාවෙන් කියනවා නම් "කෑල්ලක්" තිබ්බා. ඉතිං අද වෙනකොට මෙන්න මේ අපි අහන සින්දුවලින් ඒ "කෑල්ල" මිස් වෙලා ගිහින් තියෙනවා. පුංචිම කාලෙ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට ගුවන්විදුලියෙන් ඇහෙනවා එකපාරටම මෙන්න මේ වගේ සින්දුවක්

"ස්වර්ණ ප්‍රදීපාය මාන සූරිය විමනයි

මුළු ලොව තිලකාය මාන සමනොළ සිරසයි" කියලා.

ඉන් පස්සෙ දිගටම පටන් ගන්නේ හිත නිවන විදියේ උදෑසන චමත්කාරය දනවන ගීත, තමන්ගේ රට ගැන අභිමානයක් ඇති වෙන විදියේ දේශාභිමාන ගීත, ආගම දහම මෙනෙහි කරන්න පුළුවන් විදියට මවාපාන මැවෙන ආගමික ස්ථාන සම්බන්ධ කරගත්ත ගීත වගේ දේවල්. ඉන් පස්සෙ පිළිවෙළට ක්‍රමිකව දවස අවසානය දක්වා මේ ගීත අපේ මනසේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ අතරින් පැන මඩ කඩිති වැව් තාවුලු කාලේ, බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ, මගේ රටට දළදා හිමි සරණයි, ජය ශ්‍රී මා බෝධි රන්වැලි සෑ ආදී, උදෑසනම පොඩි අපි දිව එනවා, වගේ ගීත අනන්තවත් අහන්න ලැබෙනවා. ඒ වගේම අපට අහන්න ලැබුණු තවත් අර්ථාන්විත ගීතයක් තමයි ..,

“උත්සාහය උක් දඬුවක් වැන්නේ

වැළඳු පසුවයි මිහිර දැනේනේ”

ඉතිං මේ වගේ ගීතයක් ඇහෙනකොට උදේට ඔෆිස් එන්න සෙට්වෙලා ඉන්න මනුස්සයට මොනවගේ ගැම්මක් හිතට එනවද කියලා කාටවත් කියන්න ඕන නෑනේ. ඒ ගීත උදේ පාන්දර එහෙම ඇහෙනකොට හවස් වෙන කොට මෙන්න මේ විදියට හිමින් හිමින් තාලෙකට මේ වගේ ඒවත් ගලාගෙන එනවා කියන්නකො

"තුන් මංසල ළඟ බලා හිඳින්නේ ඔබ එනතුරු ළඳුනේ

අට හෝරාවේ සේවය නිම කර ඔබ එනතුරු ළඳුනේ.."

කොහොමද ඒක?.. මෙන්න මෙතැනට තමයි මට කොහොමත් එන්න ඕන වුණේ. ඉස්සෙල්ලත් මම කිවිවෙ පාන්දරට හරි අපූරු ගීත ටිකක් ඇහුණාය කියලා. ඒත් විශ්වාස කරනවද දැන් බහුතරයක් ගුවන් විදුලි නාලිකාවලින් එළියට එන ගීතවලින් දෙන්නේ මන්ද මොංගල් අර්ථ දෙන ගීත කියලා.

මැරුණට පස්සේ සුදු මල් මිටක් අතින් අරගෙන සොහොන ළඟට එන්න කියන ගොබ්බ අදහස් සමාජයට කාන්දු කරන ගීත හා සමාන තවත් බොහෝ ගීත තමයි මේ වෙන කොට බහුතරයක් ගුවන්විදුලි නාළිකාවලින් අපට අහන්න ලැබෙන්නේ. නිකමට හිතන්නකො මේ සින්දුව කියන හාදයා උදේ පාන්දර සිට මද්දහන පසුකරගෙන ඇවිත් හැන්දෑව කියන්නෙත් මෙන්න මේ මළදානේ ම නම් කූල් එකේ ඔෆිස් එන්න බස් එකට නගින මිනිහා ඔෆිස් එක ඇතුළට යන්නේ මළ මිනියකුත් කරේ තියාගෙන. හොඳම ආතල් එක ඒක නෙමෙයි නේ. හවසටත් මේ මළ මිනිය ම කරේ තියාගෙන ගෙදරට යන්න වුනොත් කොහොමද? එතැන් සිට ඉතින් ප්‍රිය බිරිඳ, ළමා ළපටි අතරේ ගෙවන ජීවිතයට ඔළුව හදාගන්න ඒ මිනිහට ඉඩක් ලැබෙනවා කියන එක නම් ෂුවර් නෑ. මොකද වේලාසනින්ම සංගීත අයියා කෙනෙක් ඒ මනුස්සයාගේ ඔළුවෙන් බාගයක් අරන් විනාශ කරල දාලා ඉවරයි.

තනිකරම මේක මහ දවල් මිනිස්සුන්ගෙන් නිදහස් සිතිවිලි දැනුම ආකල්ප විනාශ කරලා දාන මංකොල්ලයක් හා සමානයි. මේ දේවල් කොහොමද වුණේ? වර්තමාන පරපුරට යම්කිසි විදියකින් හෝ අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේක නෙමෙයි මේකටත් එහා අර්ථාන්විත ලෝකයත් අපට තිබුණාය කියලා, අර්ථාන්විත ගීත අපිට අහන්න ලැබුණාය කියලා. ඒත් අනාගතය?....ඔව් අපේ අනාගතයට තමයි මේකෙ වඩාත් බරපතළ කතන්දරය මතුවෙන්නෙ. ඒ වෙනකොට ලංකාවේ ස්වර්ණමය ගීත කියලා තාරුණ්‍යය වැලඳ ගන්නේ කිසිම අර්ථයක් නැති මෙලෝ රහක් නැති මානසික මට්ටම් අවුල් කරලාම දාන්න මෙන්න මේ වගේ තුට්ටු දෙකේ ගීත.

ඉතිං අපි අර ඉස්සර අහපු ගීතවල තිබුණු කෑල්ල අපෙන් මිස්වෙලා ගිහින් එතනට වෙනත් ආදේශක ආවේ නෑ.

තියෙන්නෙ ම මනස විකෘති කරන කර්කශක ශබ්ද රසයක් මතු කළ ගීත පමණයි.

යහපත් සමාජයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අනෙකුත් සාධක පවා නොමැති වූ කල අඩුම තරමින් කලාව මඟින් අපට සමීපතම අංගයක් වූ ගීතය පවා නොමැත්තේ නම් කට පුරා අපට පැවසිය හැක්කේ ම "අපේ රටට දළදා හිමි සරණයි" යනුවෙන් පමණි.

ඉතින් එහෙම නම් මේ නොයෙක් දේවල් විසුරුණු ලිපිය පුරා ඔබටත් අල්ලගන්න පොඩි කෑල්ලක් ඇති. අන්න ඒ කෑල්ල අල්ලගන්න. ඒ කෑල්ල ඇතුළෙ ඔබත් මමත් අපි හැමෝම යා යුත්තේ කොතනටද ඉදිරි ගමන් මග හදාගන්නේ කොහොමද කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වේවි. ඒත් එක්කම දැන් අපි හැමෝටම යහපත් සමාජයක් ගොඩනගා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන සිතීමේ කාලය එළඹ තියෙනවා කියන කරුණත් හොඳින් ම සිතේ තබාගත යුතුයි.

එහෙමනම් ආයෙමත් හිතන්න දැන් අපි රට වෙනුවෙන් තාරුණ්‍යයේ මහන්සිය යෙදවිය යුතු කාලය අත ළඟයි..

 දිදුල ශාමන්ත

නව අදහස දක්වන්න