නෞකා සම්බන්ධ පාඨමා‍ලාවක් ත්‍රිකුණාමලයේදී නිමාවට පත් වේ | දිනමිණ

නෞකා සම්බන්ධ පාඨමා‍ලාවක් ත්‍රිකුණාමලයේදී නිමාවට පත් වේ

නෞකා වෙත ප්‍රවිෂ්ට වීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේ දී නිමාවට පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ ආයතනයන්හි පුද්ගලයන් සඳහා නෞකා වෙත ප්‍රවිෂ්ට වීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පාඨමාලාව ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බළගණ මූලස්ථානයේ දී සාර්ථකව නිමාවට පත්වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සාගරික අපරාධ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව පසුගිය සැප්තැම්බර් 28 වන දින සිව්වන වරට ආරම්භ කරන ලද නෞකා වෙත ප්‍රවිෂ්ට වීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ මෙම විශේෂ පාඨමාලාව මඟින් නෞකා වෙත ප්‍රවිෂ්ට වීමේ ක්‍රියාපටිපාටිය මෙන්ම මත්ද්‍රව්‍ය හඳුනාගැනීම්, පරීක්‍ෂා කිරීමේ ක්‍රමෝපායන් සහ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් ද දැනුම ලබාදීමට කටයුතු කර තිබේ.

සති දෙකක් පුරා පැවැති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් තිස් දෙනෙකුගෙන් යුත් පුහුණුවන්නන් කණ්ඩායමක් සහභාගී වූ අතර, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීමේ මෙහෙයුම් සඳහා දායක වන පාර්ශවකරුවන් ලෙස ශ්‍රී ලංකා පොලීසියේ සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

 

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න