අප විලාසිතා වෙළෙඳපොළ වෙනස් කළා | දිනමිණ

අප විලාසිතා වෙළෙඳපොළ වෙනස් කළා

 ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි  දිනේෂ් ඒකනායක

අනූව දශකයෙන් පසු විලාසිතා වෙළෙඳපොළෙහි සිදු වූ වෙනස්කම් කිහිපයකි. ඇඳුම් සාප්පු සංකල්පය ඉක්මවා ඇඟලුම් ප්‍රදර්ශනාගාර සංකල්පය පැමිණියේ මේ වකවානුවේදියි. මේ මඟින් එතෙක් පැවති ඇඳුම් මිල දී ගැනීම මෙන්ම විකිණීම් රටාව ද උඩු යටිකුරු විය. ඒ වෙනසට මුල පිරූ ආයතන අතර ‘ෆැෂන් බග්’ පුරෝගාමී වෙයි. ඒ පිළිබඳ සහ ඇඟලුම් වෙළෙඳපොළෙහි නව ප්‍රවණතා පිළිබඳවත් අප සංවාදයක නිරත වූයේ ‘ෆැෂන් බග්’ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි දිනේෂ් ඒකනායක සමඟයි.

 

 ‘ෆැෂන් බග්’ දැක්ම කුමක් ද?

වැඩි දෙනාගේ තේරීම වන මෝස්තර කඩිනමින් ගෙන ඒම අපගේ මුඛ්‍ය අරමුණයි. එම අරමුණ ජය ගැනීම සඳහා මෝස්තර වෙළෙඳපොළෙහි අප කළ වෙනස්කම් බොහෝයි. ‘ෆැෂන් බග්’ පළමු ශාඛාව 1994 ආරම්භ කළේ බණ්ඩාරවෙල නගර මධ්‍යයේයි. එසේ ආරම්භ කිරීමට ප්‍රථම මෙරට විලාසිතා වෙළෙඳපොළ පිළිබඳ මෙන්ම පාරිභෝගිකයාගේ අවශ්‍යතා පිළිබඳ පූර්ව අධ්‍යයනයක් තිබුණා. සභාපති රිසාල් සුබියන් මහතා සහ නියෝජ්‍ය සභාපති අසාන් සුබියන් යන මහත්වරු මෙන්ම ජ්‍යෙෂ්ට අධ්‍යක්ෂ ඒ. සී. එම්. තාරික් යන මහත්වරුන්ගේ දැක්ම වුණේ මෙරට නිමි ඇඳුම් වෙළෙඳපොළෙහි කැපී පෙනෙන වෙනසක් කිරීමටයි. බණ්ඩාරවෙල ශාඛාව ආරම්භ කිරීමත් සමඟ ඒ සඳහා විශාල පිළිගැනීමක් ඇති වුණා. මෝස්තර මුදල් දීලා ගන්න පුළුවන් කියන අදහස ඇති වුණේ මේ ශාඛාවත් සමඟයි. වැඩි දෙනෙක් පුරුදු වෙලා හිටියේ පොදු සරල මෝස්තරයක් ටේලර් (tailor) කෙනකු ලවා මසා ගැනීමටයි. එහෙත් තමන් කැමැති නවතම මෝස්තරයක් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියි යන සංකල්පය ඇතිවීම ආරම්භ වූයේ මේ වකවානුවේදියි.

 

 සම්ප්‍රදායන් වෙනස් කිරීම දුෂ්කරයි, එවැනි ගැටලු ඇති වුණේ නැද්ද?

මුල් කාලයේ විසඳා ගත යුතු වූ ගැටලු කිහිපයක්ම ඇති වුණා. මේ ඇඳුම් හොඳින් මසා තිබෙනවා ද? මැහුම් ගැළවෙයි ද? සායම් යයි ද? මිල සාධාරණ ද? ගැළපෙයි ද? යනුවෙන් ගැටලු රාශියක් පාරිභෝගිකයා තුළ පැවතියා. ඇඳුමක් මිලට ගෙන ඇඳීම මේ කාලයෙත් යම් පමණකින් සිදු වුණා. නමුත් ඒ අවස්ථාව ලැබුණේ එක්තරා පන්තියකට පමණයි. එසේම ඇඳුම් සාප්පුවල තිබුණේ ශෝකේස්, නැති නම් රාක්ක ක්‍රමය. සරල මෝස්තර කිහිපයක ඇඳුම් තිබුණා. මුදලාලි ශෝකේස් එකෙන් අරගෙන පෙන්නන ඇඳුම් කිහිපයක් අතරින් එකක් තෝරා ගත යුතු වුණා. ඒත් බහුතර පිරිසක් පුරුදු වී සිටියේ තමන්ට ගැළපෙන සරල ඇඳුමක් ටේලර් ලවා මසා ගැනීමට. ඇඳුමක් මුදලට ගෙන ඇඳීම පිළිබඳ විශ්වාසයක් තිබුණේ නෑ. අප සතු මුල් අභියෝගය වූයේ විශ්වාසය තහවුරු කර ගැනීමයි. ඒ සඳහා අපිට වෙනස්කම් කිහිපයක්ම හඳුන්වා දීමට සිදු වුණා. ඒ අනුව මුලින්ම හඳුන්වා දුන්නේ Fit on සංකල්පය ඇඳුම් ඇඟලා බලා ගැළපේ නම් පමණක් මිල දී ගැනීමට ඇති හැකියාව. ඒ සමඟම Fixed price concept ඇඳුම සඳහා නිශ්චිත වටිනාකමක් දීම කළා. මේ වකවානුව වන විට පාරිභෝගිකයාගේ පුරුද්ද වු‍ණේ රෙදි සාප්පුවට ගොස් කේවල් කිරීම. ඇඟලුම් මිල දී ගැනීමේදී කේවල් කර මිල දී ගැනීමේ සම්ප්‍රදායක්ව පැවතුණා. ඇතැම් විට වෙළෙඳුන් මිල කියන්නේම මුදලක් අඩු කර දීමේ අපේක්ෂාවෙන්. පාරිභෝගිකයාගේ පුරුද්ද වුණෙත් කෙතරම් සරිලන මිලක් වුණත් කීයක් හෝ අඩු කර මිල දී ගැනීම. මේ තත්ත්වය වෙනස් කළේ සෑම ඇඳුමකම නිශ්චිත මිලක් සඳහන් කිරීමෙන්. මුල් කාලයේ බාකෝඩ් ක්‍රමයක් තිබුණේ නෑ. නමුත් මිල සඳහන් රඳවන (Tag) ක්‍රමයක් හඳුන්වා දුන්නා. මේ හේතුව නිසා ඇති වූ වෙනස විශාලයි. ඉන් පාරිභෝගිකයාට අත් වූ වාසිය ඇඳුමක නිසි වටිනාකමට ගෙවීමට හැකි වීමයි. වෙළෙඳපොළ තරගකාරීත්වයත් සමඟ නොවටිනා මිලකට ඇඳුමක් මිල කිරීමට කිසිවකුට හැකියාවක් ඇත්තේ නෑ. ඇඟලුම් වෙළෙඳපොළෙහි එතෙක් නොපැවති නිශ්චිත මිල සංකල්පය නිසා නිසි වටිනාකම (value for money concept) තත්ත්වය වෙළෙඳපොළෙහි නිර්මාණය වුණා.

 

 මේ වකවානුවේම වගේ නේද exchange policy අවස්ථාව පාරිභෝගිකයා වෙත දුන්නේ?

රුචිය මත ඇඳුම් මාරු කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නේත් මුලින්ම අපේ ආයතනය. පාරිභෝගිකයාගේ පොදු ස්වභාවයක් තමයි ඇඳුමක් ඇඟලා බලා මිල දී ගත්තත් නැවතත් මාරු කිරීමට වුවමනාව ඇති වීම. ප්‍රදර්ශනාගාරයේ දුටු වෙනත් ඇඳුමක් පිළිබඳ කැමැත්තෙන් පසුවීම. මේ අවශ්‍යතාව පිළිබඳවත් අපි සැලකිලිමත් වුණා. ඒ අනුව කොන්දේසි කිහිපයකට යටත්ව ඇඳුම් මාරු කර දීමේ ක්‍රමයක් ඇති කළා. පසුව පාරිභෝගිකයා සතු පොදු පහසුකමක් බවට එය පත් වුණා.

 

 රටේම ඇඟලුම් ප්‍රදර්ශනාගාර මේ අනුව වෙනස් වූ බව ද පවසන්නේ?

බණ්ඩාරවෙල ප්‍රදර්ශනාගාරය වර්ග අඩි තුන්සියයක් පමණ කුඩා ඉඩක පැවති ප්‍රදර්ශනාගාරයක්. එහි මුලින් සේවය කළේ දොළොස් දෙනයි. ඒත් පාරිභෝගිකයාගේ අදහස් හඳුනාගෙන අප කළ වෙනස්කම් නිසාම දවසින් දවස අප වෙත ඇදෙන පිරිස වැඩි වුණා.ඒ සඳහා විශේෂ ප්‍රචාරණ අවශ්‍ය වුණෙත් නෑ. අප ඉදිරිපත් කළ විලාසිතාවන් හා නිමාව හේතුවෙන් පිරිස අප වෙත ඇඳී ආවා. ඒ අනුව වසර දෙකකට පසු මහනුවර ප්‍රදර්ශනාගාරය ආරම්භ කළා. මහනුවර ප්‍රවේශයට මූලික හේතුව වුණේ ජනතාව⁣ගේ දැඩි ඉල්ලීමයි. එසේම එහි ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඉන් අනතුරුවයි කොළඹ ඩුබ්ලිකේෂන් පාරේ ෆැෂන් බග් ප්‍රදර්ශනාගාරය විවෘත කළේ. මේ වකවානුව වන විට ඒ සමඟ මේ ක්ෂේත්‍රයට තවත් අය ප්‍රවේශ වුණා. අප ඇති කළ වෙනස්කම් ඒ අයත් අනුගමනය කිරීම නිසා වෙළෙඳපො‍ෙළ නිශ්චිත ක්‍රමයක් සකස් වුණා.

 

 මෙරට පාරිභෝගිකයාට සරිලන size chart ක්‍රමවේදයක් සැකසීමටත් ඔබ ආයතනය ප්‍රමුඛ වී තිබුණා ?

නිමි අඳුම් ගැනීමට පැමිණියත් බොහෝ පාරිභෝගිකයන්⁣ට තමන්ට ගැළපෙන ඇඳුමේ ප්‍රමාණය (size) පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබුණේ නෑ. ඊට හේතුව ඒ අයගේ උරහිස් ප්‍රමාණය ඉණ ආදි වශයෙන් නිශ්චිත මිම්මක් පිළිබඳ අවබෝධයක් නොමැතිකම. මේ හේතුව නිසාම අප වෙතට පැමිණෙන පාරිභෝගිකයන් පිළිබඳ මනා අධ්‍යයනයකින් යුතුව ලෝකයේ භාවිත වන ක්‍රම පිළිබඳ මනා අවබෝධයකින් අපේ රටේ පාරිභෝගිකයාගේ ශරීර ප්‍රමාණ පිළිබඳ ජීව විද්‍යාත්මක ⁣ පදනමකින් යුතුව මේ Standard sizes ක්‍රමවේදය සැකසුවා. මේ නිශ්චිත සැලසුමට අනුව මේ වන විට වෙළෙඳපොළෙහි small, medium, large XL, XXL වැනි ප්‍රමාණ අනුව ඕනෑම කෙනකුට තමන්ගේ ශරීරයට ගැළපෙන ලෙස ඇඳුම් මිලදී ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ ක්‍රමය සකස් කෙරුණේ අපගේ මෝස්තර නිර්මාණ කණ්ඩායම සහ නිෂ්පාදන කණ්ඩායමේ දායකත්වයෙන්.

 

 මේ අනුවද ‘ෆැෂන් බග්’ ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නේ?

ඔව්, මූලික වශයෙන් ඒ ප්‍රමාණ අනුව නිෂ්පාදනය කරනු ලබන මෝස්තර සහ තොග පිළිබඳ තීරණය කෙරෙනවා. අපි ළඟ මනා පුහුණුවකින් යුතු මෝස්තර නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ගෝලීය ප්‍රවණතා පිළිබඳ සැලකිලිමත් වෙමින් ඉදිරි මාස තුන ඇතුළත වෙළෙඳපොළෙහි ජනප්‍රිය වන මෝස්තර ගෙන ඒමට කටයුතු කරනවා. ඒ මෝස්තර නිෂ්පාදනය කරන්නේ අප ආයතනයට සම්බන්ධ නිෂ්පාදන කණ්ඩායම් විසින්. එසේ අප වෙතම නිෂ්පාදනයන් ලබා දෙන කණ්ඩායම් 25ක් 30ක් පමණ ගිවිසුම්ගත වී කටයුතු කරනවා. විලාසිතාව ලබාදෙන්නේ අපි. ඒ අනුව උසස් නිමාවකින් යුතුව ඇඳුම් නිෂ්පාදනය කිරීමයි එම කණ්ඩායමට පැවරෙන වගකීම. නිමාව පිළිබඳ සහතිකය (quality) අපි නිරන්තරයෙන් සැලකිලිමත් වෙනවා. නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය වන රෙදි පිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය අප ආයතනය විසින් ලබා දෙනවා. ඇඳුම් ආනයනය කොට අලෙවි කිරීමට වඩා මේ ක්‍රමයටයි අපි මූලිකත්වය ලබා දෙන්නේ. අවම වශයෙන් මේ එක් කණ්ඩායමක සේවකයන් 10ක් සේවය කරන බවට අනුමාන කළත් 3,000ක් පමණ පිරිසක් ඊට අනුබද්ධව සේවය කරනවා. සෘජුවම ෆැෂන් බග් ප්‍රදර්ශනාගාරවල සේවයේ නිරත පිරිස 800ක් පමණ වෙනවා. ඒ පිරිස ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මනා පුහුණුවකින් යුතු ඒ අය අප ආයතනයේ සාර්ථකත්වයේ පළමු සාධකයයි. මේ අනුව 4,000කට අධික පිරිසක් ආයතය හා බද්ධ වී කටයුතු කරනවා. ඒ පිළිබඳ ආයතනයක් විදිහට අප පවසන්නේ මහත් සතුටින් යුතුවයි.

 

 කොවිඩ් 19 සමඟ ‘ෆැෂන් බග්’ ක්‍රියාකාරීත්වය කෙබඳු ද?

මුල් කොවිඩ් 19 රැල්ල අවස්ථාවේ අප ඉතා හොඳින් මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ අප කඩිනමින් ඊට මුහුණ දීම සඳහා අපිටම ආවේණික විසඳුම් සොයා ගත්තා. මූලික වශයෙන් අපගේ සේවකයන් ආරක්ෂා කරමින් පාරිභෝගිකයාත් ආරක්ෂා කළ යුතුයි. ඒ අතරේ ඔවුන්ට අවශ්‍ය සේවාව සැපයීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද සැකසිය යුතු වුණා. ඔන්ලයින් මාර්කටිං වගේම ඊ මාර්කටින් සංකල්ප අපි නිරන්තරයෙන් සාර්ථකව භාවිත කරන ක්‍රමවේද. ඔන්ලයින් මාර්කටින් සඳහාම විශේෂයෙන් වෙන් වූ කාර්ය මණ්ඩලයක් අප සමඟ කටයුතු කරනවා. අපගේ ප්‍රදර්ශනාගාර නොමැති ප්‍රදේශවල පවා ඒ ක්‍රමයට පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් මේ වන විට අප වෙතට අලුතින් එක් වී තිබෙනවා. ඒ සඳහාම වෙන් වුණු ප්‍රදර්ශනාගාරයක් අප සතුයි. කොවිඩ් 19 සමඟ සටනේදී මෙය සර්වකාලීන පිළියමක්. ඒ සඳහා අප හඳුනාගත් තවත් විසඳුම් රාශියක් තිබෙනවා. වට්ස්ඇප්, ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය භාවිතයෙන් කොවිඩ් මුල් වකවානුවේ අප pick and buy නමින් ක්‍රමයක් සැකසුවා. ඒ ක්‍රමයත් වඩා සාර්ථක ක්‍රමයක් බව හඳුනාගෙන තිබෙනවා. පාරිභෝගිකයාට අවැසි ඇඳුමට අදාළ ඡායාරූප වට්ස්ඇප්, වයිබර් හෝ ෆේස් බුක් ඔස්සේ ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඇණවුම් ලබා දෙනවා. ඒ අනුව අවශ්‍ය ඇඳුම් ඇසුරුම්ගත කොට සූදානම් කරනවා. පාරිභෝගිකයා වෙනත් වැඩකට යන අතරතුර වුණත් අපගේ ආයතනය සමීපයට පැමිණ මුදල් ගෙවා තමා ඇණවුම් කළ ඇඳුම් ලබාගත හැකියි. ඒ මඟින් සමාජ දූරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වෙනවා. එවැනි ක්‍රමයක් මේ ක්ෂේත්‍රයේ මුලින්ම අත්හදා බැලුවේ අපියි. එපමණක් නොවෙයි. පසුගිය සමයේ පාරිභෝගික අවශ්‍යතා සලකා අප මනා සේවයක් සැලසුවා. කිසිදු තැනක සාප්පුවක් විවෘත කර නැති අවස්ථාවක දරුවන් ලැබෙන්නට සිටි මවුවරුන්ට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම වැනි හදිසි අත්‍යවශ්‍ය සාධක ඇඳුම් පිළිබඳ පැන නැඟී තිබුණා.

එවැනි අය සඳහා අවශ්‍ය ඇඳුම් ආයිත්තම් රෝහල් වෙතටම යැවීම සිදු කළා. එසේ හදිසියේ ඇඳුම් අත්‍යවශ්‍ය වූ අවස්ථා තවත් කොතෙකුත් උදා වී තිබුණා. අලුත ඉපදුණු දරුවන්ට මාස තුනක් පමණ ගත වන විට මුලින්ම ඇන්දවූ ඇඳුම් ඇදීමේ හැකියාවක් නෑ. එවැනි අවශ්‍යතා වෙනුවෙන් අප වෙතින් ඇඳුම් සපයන ලෙසට ඉල්ලීම් කොතෙකුත් තිබුණා. එවැනි අය වෙත අප ඔවුන් සමීපයටම ගොස් ඇඳුම් ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක කළා. වත්මන් තත්ත්වය රටේ සෑම අංශයකටම බලපෑම් කරන තත්ත්වයක්. ඊට හොඳින් මුහුණ දිය හැක්කේ තාක්ෂණික විකල්ප කෙරෙහි හා මානුෂික කරුණු පිළිබඳ සැලකිලිමත් වීමෙන් පමණයි. අභියෝග නැති නම් සාර්ථකත්වයකුත් නෑ. ඒවාට මුහුණ දීමෙන් පමණයි පරිණත බව අත්වෙන්නේ. තරගකාරීත්වය මෙන්ම ස්වාභාවික අභියෝගත් සාර්ථකත්වයට අවැසියි.

 

 

 ජාතික මෙන්ම අන්තර්ජාතික ඇගයීම් කිහිපයක්ම ඔබ ආයතනය වෙත ලැබී තිබුණා?

අන්තර්ජාතිකව මෙන්ම දේශීයව ⁣ඉහළම ඇගයීම් හා සම්මාන රාශියක් අප හිමි කරගෙන තිබෙනවා. හොඳම බෙදාහරින්නා මෙන්ම සන්නාම ප්‍රවර්ධකයා ලෙසත් අවස්ථා කිහිපයකදීම නම් කර තිබෙනවා. ආයතනයක් ලෙස ලත් ඇගයීම් මෙන්ම ඉහළ කළමනාකරණය ලත් සම්මාන මේ අතර වෙන්ව හඳුනාගත හැකියි. ආසියා රිටේල් කොංග්‍රසය වසරේ තරුණ ව්‍යවසායකයා සම්මානය අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ශබියර් සුබියන් මහතා වෙත පිරිනැමීම. මීට අමතරව 2016 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අප⁣⁣ගේ අයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතිය ජාතික කර්තව්‍යයක් ලෙස පිළිගැනීම අප ලත් සම්මානයක් ලෙසයි සලකන්නේ.

මෙපමණක් නොවේ 2018, 2019, 2020 සේවය කිරීම සඳහා සුදුසුම ස්ථාන ලෙස අඛණ්ඩව වසර තුනක් නම් කර තිබීම. 2020 වසරේ කාන්තාවන්ට සේවය කිරීමට සුදුසුම ස්ථානය. 2020 ආසියාවේ හොඳම සේවා ස්ථානය පමණක් නොවේ 2019 ස්ලිම් නැස්කෝ හොඳම සිල්ලර කළමනාකරු (Best retail Manager ) මොහොමඩ් අස්ලම් (වැල්ලවත්ත ප්‍රදර්ශනාගර කළමනාකරු) නම් කිරීම. 2019 ස්ලිම් නැස්කෝ හොඳම විකුණුම් විධායක (Best sale executive) ලෙස මොහොමඩ් සලීම් (වත්තල ප්‍රදර්ශනාගාරය) නම් කිරීම සේම ගෝල්ඩන් ග්ලෝබල් ටයිගර් සම්මානය අප වෙත හිමි වූයේ විලාසිතා හා ජීවන රටා ඛාණ්ඩයේ සන්නාම විශිෂ්ටත්වය සඳහායි. මෙවන් සම්මාන අප යන ගමන පිළිබඳ විශ්වාසය තහවුරු කරන දිරිගැන්වීම් ලෙසයි අප සලකන්නේ.

 

සටහන - බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න