රනිල් ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කළ පසු මගේ නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස රනිල් උපදෙස් දී තිබුණා | දිනමිණ

රනිල් ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කළ පසු මගේ නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස රනිල් උපදෙස් දී තිබුණා

හිටපු ජනපති මෛත්‍රී කියයි

සතිපතා සැම අඟහරුවාදාවකම  බුද්ධි සම්බන්ධීකරණ  රැස්වීම පැවැත්වුණා

මේ රටේ සිංහල බෞද්ධ  සංස්කෘතියට ලොකු බලපෑමක්  මේ අය කළා

නොගැළපෙන  ගිවිසුම්, දූෂණ, වංචා බේර­ාගෙන කටයුතු කළා

පාස්කු ඉරු දින  ප්‍රහාරය විමර්ශනය  කරන  ජනපති කොමිසම

 

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කළ පසු යළි ඔවුන් පත් වූවද තමන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොකරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු කොමිසම හමුවේ ඊයේ (12) ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට පරීක්ෂණ සිදුකළේ රාජ්‍ය නොවන සංවිධානවල සහ දේශපාලන බලපෑම් මත බව පැවැසූ ඒ මහතා ද්වීපාර්ශ්වික රජයේ සිදු වූ අවාසානාවන්ත තත්ත්වය යටතේ අන්තවාදය වර්ධනය වූ බවත් කියා සිටියේය.

එමෙන්ම තමන් ආරක්ෂක මණ්ඩලය හමුවේ මෙන්ම විවිධ අවස්ථාවල ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු නිලධාරින් හමු වී සාකච්ඡා කරන බවත් උපදෙස් දී තිබූ බවත් කියා සිටි ම්‍රෛත්‍රිපාල සිරිසේන මහතා මෙම තොරතුර ප්‍රබල බව දැනගෙන ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන අය වගකිව යුතු වන බවද කියා සිටියේය.

බහු ආගමික වාර්ගික රටක් වූ ශ්‍රී ලංකා රජය ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී දේශීය මෙන්ම විදේශීය බලවේග ක්‍රියාත්මක වු බවත් ආගමික අන්තවාදයන් පිටුපස අන්තර්ජාතික සංවිධාන තිබූ බවත් පවසන හිටපු ජනාධිපතිවරයා ළදරු මාතෘ වැඩිහිටි සුභසාධනයන් කියා ලියාපදිංචි වී ජාතිවාදී, අන්තවාදී දේ සිදුකිරීමට එන්ජීඕ කටයුතු කළ බවද කියා සිටි හිටපු ජනාධිපතිවරයා සහරාන් අල්ලන්න වරෙන්තුවක් තිබුණ නම් එයට අදාළව කටයුතු කළ අය අත්අඩංගුවට ගත යුතු බවවන බවත් කියා සිටියේය.

යහපාලන රජයේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් අතරින් මානව හිමිකම් කොමිසමට පත් කළේ මැතිවරණ කොමිසමේ එන්ජීඕ එකේ කෙනෙක් පත් කළා වගේ එල්ටීටීඊ මැරුණු කෙනෙක්ගෙ පවුලෙ කෙනෙක් බව කියා සිටි හිටපු ජනාධිපතිවරයා ඔහු යුදමය සමයක් නොමැතිවත් අපේ රටේ පොලිසියට ත්‍රිවිධ හමුදාවට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ ආකාරයත් ‍කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - 2015 - 2019 දක්වා ජනාධිපති ලේකම්වරු තිදෙනෙක් සහ ආරක්ෂක ලේකම්වරු පස් දෙනෙක් වරින් වර සේවය කිරීමට හේතුව කුමක්ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා-

ජනාධිපති ලේකම්වරු අතර පළවෙනියා අබේකෝන් මහත්තයා. ඔහු විශ්‍රාම ගිහින් ඉන්නකොට තමයි මම ඔහුට මේ වගකීම දුන්නේ. ඊටපස්සෙ ඔහු ආයෙත් කිව්වා විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනේ කියලා. ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. දෙවෙනියා ඔස්ටින් ප්‍රනාන්දු මහත්තයා. ඔහු හොදින් කටයුතු කරමින් ඉන්න අතරේ පුරප්පාඩු වෙලා තිබුණ ඉන්දියාවේ තානාපති ධූරයට යන්න ඔහුට කැමැත්තක් ආවා. එ අනුව ඔහුව ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කළා. ඉන් පසුව තමයි උදය ආර් සෙනෙවිරත්න මහතාව පත් කළේ. මා යටතේ හිටිය ආරක්ෂක ලේකම්වරු පස් දෙනා බී. එම්. යූ. ඩී බස්නායක, කරුණාසේන හෙට්ටිආරච්චි, කපිල වෛද්‍යරත්න, හේමසිරි ප්‍රනාන්දු සහ ශාන්ත කෝට්ටගොඩ. විටින් විට ආරක්ෂක ලේකම්වරු පත්කරන්න හේතු රාශියක් තිබෙනවා.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

මේ කොමිසමේ සාක්ෂි දුන් සාක්ෂිකරුවන් පැවසුවා එලෙස ආරක්ෂක ලේකම්වරු නිරන්තරයෙන් මාරු කිරීම නිසා ඔවුන් සමඟ කටයුතු කරද්දී, බුද්ධි තොරතුරු දැනුම්දෙන කොට, රටේ ආරක්ෂාව ගැන දැනුම්වත් කරනකොට යළි යළිත් දැනුම්වත් කරන්න වුණ නිසා ප්‍රායෝගික ගැටලු ඇති වුණා කියලා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -

පළවෙනි කාරණේ තමයි ලේකම්වරු වෙනස් වුණාට ඔය කියන විදියේ ප්‍රශ්නයක් මතුවුණේවත් මතුවෙන්නේවත් නැහැ. මං දන්න තරමට සතිපතා සැම අඟහරුවාදවකම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වුණා. එතන ඔය කියන හැම කරුණක්ම කතා කරනවා. එතනට ඔක්කොම එකතුවෙනවානෙ. ආරක්ෂක ලේකම් වෙනස් වුණා කියලා දැනුම්වත් වීමේ ගැටලුවක් වෙන්නේ නැ. ඊළඟට ආරක්ෂක කවුන්සලයේ ආයෙත් ඒවා කතාකරන නිසා ඔවුන් යළි දැනුම්වත් වෙනවා. ආරක්ෂක කවුන්සලයේ පමණක් නෙවෙයි මම ආරක්ෂක ලේකම්ව සති දෙකකට වතාවක් හෝ කැඳවලා රටේ ආරක්ෂාව ගැන කතා කරනවා. ඉතින් එහෙම ලේකම් මාරු වුණා කියලා ගැටලු ඇතිවෙන්නෙ නැහැ මම දන්න විදියට

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඔබතුමා දන්න විදිය ඒක වුණාට මේ කොමිසමේ දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ඊට පරස්පර සාක්ෂි ඉදිරිපත් වුණා. හොදයි ඔබතුමා කියන් විදියට සතිපතා අඟහරුවාදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වුණා කියල ඔබ හිතනවද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

මම දන්න තරමින් රැස්වුණා. මට ආරක්ෂක කවුන්සලයේදී කියනවානේ බුද්ධි රැස්වීම පැවැත්වුවා කියලා.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විසින් මේ වන විට ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත්ව ඇති 2015.07.28 සිට 2019.07.21 දක්වා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වූ දින සටහන් සම්බන්ධයෙන් වාර්තාවක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළා.

එමගින් අනාවරණය වුණේ 2016 අගෝස්තු මාසයේ සති හතර හැර අඛණ්ඩව බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම එම වසරේ පවත්වා නැති බවයි.

එමෙන්ම 2017 වසරේ ද මැයි මාසයේ සති හතර අඛණ්ඩව එම රැස්වීම පවත්වා ඇතුර සෙසු එකඳු මාසයක හෝ අඛණ්ඩව බුද්ධි රැස්වීම් පවත්වා නැති බවද මෙහිදී හෙළිවුණා.

මීට අමරවට 2018 සහ 2019 යන වර්ෂවල අඛණ්ඩව බුද්ධි රැස්වීම පැවැත්වූ එකදු මාසයක් හෝ එම ලේඛනයේ අන්තර්ගත නොවූ අතර 2018 වසරේ පමණක් අප්‍රේල්, ජුනි, අගෝස්තු, සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාසවල එක් දිනක හෝ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පවත්වා නැතැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ජනාධිපති කොමිසමේ අවධානයට යොමුකළාය.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

දැන් පේනවද හිටපු ජනාධිපතිතුමා, එහෙමනම් ආරක්ෂක කවුන්සලයේ ඔබට දැන්වුවට බුද්ධි රැස්වීම පැවත්වෙනවා කියලා ඒක අසත්‍යයක් නේද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

එහෙමයි ස්වාමීනි. මේකෙන් පෙනී යනවා මම ආරක්ෂක ලේකම්වරු අයින් කිරීම නිවැරදියි කියලා. සතිපතා බුද්ධි රැස්වීම නොපැවැත්වීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කළයුතු මූලිකම දෙය පැහැර හැරීමක් ලෙස තමයි හැඟෙන්නෙ. මටත් බොරුව තමයි කරලා තියෙන්නෙ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

හොඳයි ඔබතුමාට කියන්න පුළුවන්ද ඇයි එවකට නීතිය හා සාමය ඇමති ධූරයෙන් සාගල රත්නායක මහත්මයා ඉවත්වෙලා රනිල් වික්‍රමසිංහ මහතා පත්වුණේ කියලා?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

ඒ වෙද්දි 19 සංශෝධනය වෙලා අවසන් නිසා අගමැතිට අවශ්‍ය අමාත්‍යාංශ පවරගන්න පුළුවන්. ඒ අනුව කළ ඉල්ලීමක් මත තමයි රනිල් වික්‍රමසිංහ මහත්තය නීතිය හා සාමය අමාත්‍යවරයා වුණේ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඔබතුමා සාගල රත්නායක මහතා ඇමති ධූරය දරන අවස්ථාවේ එතුමාව හා CID නිලධාරින් පිරිසක් කැඳවලා ප්‍රශ්න කළාද ආරක්ෂක අංශවල නිලධාරින් අත්අඩංගුවට ගැනීම් හා ඔවුන්ව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ තැබීම් ගැන?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -

මේ රටේ කවුරුත් දන්නවා 2015 සිට 19 බලතල ලැබීමත් සමඟ ද්වී පාර්ශ්වීය ආණ්ඩුවේ ඇතිවුණ ගැටුම් ගැන. ඒවට හේතු ගණනාවක් බලපෑවා. ඔය සාගල ඇමතිතුමා හා CID නිලධාරින් ගෙන්වලා මම හොදටම දොස් කිව්වා හමුදා නිලධාරින් අත්ඩංගුවට ගැනීම ගැන. එවකට සලේ මහත්තයාව හිරේ දාන්න NGO එක්ක දේශපාලකයො කටයුතු සකස් කරලා තිබුණේ. ඒ නිසා තමයි මමයි හිටපු යුද හමුදාපති කෙනෙකුයි එකතු වෙලා සලේට LTTE බලපෑම් තියෙනවා කියලා මැලේසියාවට යැව්වේ. නැත්නම් දානවා හිරේ. යුද, ගුවන්, නාවික නිලධාරින්ව උසාවි අරන් ගියා. තව නිලධාරින් ගොඩක් රිමාන්ඩ් කළා. මම දැනගෙන හිටියේ නැ හිටපු ආරක්ෂක ලේකම්ව සහ හමුදා නිලධාරින්ගෙන් ප්‍රකාශ ගන්න අරන් ගියා කියල මම දැනුවත් වෙලා හිටියේ නැහැ. පස්සෙ දවසේ මම පදනම් ආයතනයේ තිබුණ රැස්වීමකදී තද ප්‍රකාශයක් කළා ඒ ගැන. එතකොට අර අල්ලස් හෝ දූෂණ එකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ගැන මම කිව්වා එයා දවල්ට අල්ලස් එකේ වැඩ කරනවා හවසට අරලිය ගහ මන්දිරේ දේශපාලනය කරනවා කියලා. දවස් දෙකකට පස්සෙ යන්න ගියා තනතුරෙන්. ඒ වෙලාවෙ රජය පැත්තෙන් යුද නිලධාරින් බේරගන්න හිටියේ මම විතරයි. ඒකයි සාගල රත්නායකවයි CID නිලධාරින් ගෙන්නල මම තදින් ඇහුවේ මොකක්ද මේ කරන්නෙ කියලා. ඕවා දිගින් දිගට ගිහින් මහ බැංකු බැඳුම්කරේ වගේ දේවල් වුණා. ඒ වගේම පන්සලක පෙරහැරක් යන්න බැරි තත්ත්වයක් ඇතිවුණා රජයට ඒ අලින්ව අරගෙන වෙන වෙන දේවල්වලට පාවිච්චි කළා. මහනුවර පෙරහර පවා නවත්තන්න ගියා අලි නැතුව. ඒ වගේ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට ලොකු බලපෑමක් මේ අය කළා. ඒවගේ කාරණා රැසක පිපිරීම තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කළේ. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය ඇතිවුණාම ලොකු ජනමතයක් ඇති වුණා මද්‍රසා, අන්තවාදය, පිටරට දේශකයන් ගැන. ඒ වෙලාවෙ පාර්ලිමේන්තුව තුළ අලුතින් තීති හඳන්න එකඟ වුණා. නමුත් පසුවට ඒවා ක්‍රියාත්මක නොකර ඔක්කොම යට ගියා. මේවා තමයි මේ ඔක්කෝටම බලපෑවේ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඔබ කිව්වනේ සාගල ඇමතිවරයා සහ නිලධාරින් ගෙන්නලා දොස් පැවරුවා කියලා. ඕනෑම කෙනෙක් නීතියට යටත්නෙ. නීතියට පිටින් කාටවත් යන්න බැ. අනික CID එක කළේ යුද අපරාධ සම්බන්ධ නඩු විමර්ශන නෙවෙයි නේද ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

නැ නැ. අපිට යුද අපරාධ චෝදනා තිබුණේ නැහැ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඒ කියන්නේ එම නිලධාරින් සාමාන්‍ය පොලිස් බලතල පාවිච්චි කරලා නේද එම පරීක්ෂණ කරගෙන ගියේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

CID එක ස්වාධීනව නෙවෙයි පරීක්ෂණ කළේ. මට තොරතුරු ලැබුණා ඒ පරීක්ෂණවලට NGO හා ඇතැම් දේශපාලන කණ්ඩායම් බලපෑම් කරනවා කියලා. මම ඒකයි මැදිහත් වුණේ ඒ අයට හසුරවන්න නොදී. මං මේ දේවල් ගැන කතාකරපු ගමන් NGO ප්‍රවෘත්ති සාකච්ඡා තියල නිවේදන දානවා නැත්නම් උද්ඝෝෂණ තියෙනවා.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඔබ දොස් පැවරුවාට එම CID විමර්ශකයන් තමන් කරණ කටයුතු ගැන නිරන්තරයෙන් ගරු මහේස්ත්‍රාත්තුමාට කරුණු දක්වන බව ඔබ දන්නවාද ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

මම් ඒ ගැන නම් දැනගෙන හිටියේ නැහැ. මම දොස් කිව්වෙ නම් NGO කාරයෝ මේකට සම්බන්ධ වුණ නිසා මිසක් මේ අපක්ෂපාත පරීක්ෂණවලට නෙවෙයි

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඔබතුමා මීට පෙර දවසේ කිව්වා රටේම ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කැඳවලා මාසිකව රැස්වීමක් පැවැත්වුවා කියලා. මේකෙදී මේ අන්තවාදය ගැන කතා වුණේ නැත්ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

ඔය කාලය වෙද්දි මුස්ලිම් අන්තවාදය විතරක් නෙවෙයි, සිංහල බෞද්ධ අන්තවාදය වගේම හින්දු අන්තවාදය ගැනත් කතා වුණා. ඒවට අවශ්‍ය පියවර ගන්න මං හැමවිටම උපදෙස් දුන්නා.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඉස්ලාම් අන්තවාදය ගැන ඔබට මොනවාද දැනුම්වත් කළේ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මෙන්ම යුද හමුදා බුද්ධි අංශයත් හමුදාපතිත් ඒ ගැන දැනුම්වත් කළා. මේකට හමුදාව යෙදීමට වඩා ප්‍රදේශීයව පොලිස් මට්ටමෙන් අන්තවාදය හිස ඔසවන්න දෙන්නෙ නැතුව අවශ්‍ය පියවර ගන්න උපදෙස් දුන්නා. ආරක්ෂක මණ්ඩලයට මේ ලැබෙන තොරතුරු මම කැබිනට් එකෙත් කතා කළා.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඔබ රටේ ප්‍රධානියා විදියට ආගමික අන්තවාදය ගැන හොයන්න විවිධ පාර්ශ්වවලට උපදෙස් දීලා තිබුණානම් හිටපු ජනාධිපතිතුමා. 2019 අප්‍රේල් 21 එක ස්ථානයක නෙවෙයින් ලංකාවෙ තැන් අටක බෝම්බ පුපුරලා අහිංසක ජීවිත සිය ගාණක් නැතිවුණෙ කොහොමද ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

මං ඒ දුන්න උපදෙස් පිළිපදින ඇතැම් නිලධාරින් හිටියා. ද්වීපාර්ශ්වික ආණ්ඩුවක් වුණ නිසා මං ඇමතිවරයෙක්ට ලියුමක් දීලා තිබුණත් මගේ උපදෙස් පිළිපදින්න එපා කියලා අනිත් පාර්ශ්වයේ ප්‍රධානියා කියලා තිබුණේ. 2018 ඔක්තෝබරයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අරන් ඇවිත් අගමැති වුණාට පස්සේ මම කියන දෙයක් කරන මට්ටමක ඇමතිවරු හිටියේ නැහැ. ඇත්තටම ඒකයි වුණේ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

' කවුද ඒ අනිත් නායකයා ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

වෙන කවුද ඉතින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ කාලේ එතුමා ආර්ථික කමිටුවක් ක්‍රියාත්මක කළා. මගේ යටතේ තමයි ජාතික ආර්ථික සභාව තිබුණේ. ජාතික ආර්ථික සභාවෙන් එන කිසිම නිර්දේශයක් පිළිපදින්න එපා කියල රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුවටයි මුදල් අමාත්‍යාංශයටයි උපදෙස් දීලා තිබුණේ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

ඒ කියන්නේ ඔතන තිබුණේ වාමාංශික හා දක්ෂිණාංශික දේශපාලන අර්බුදය ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා -

ඊටත් වඩා දූෂිත දේශපාලන ක්‍රමය තමයි ගැටලු ඇතිකළේ..

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - රටේ නායකයා නිලධාරීන් ගෙන්වා අන්තවාදය ගැන උපදෙස් දුන්නා නම් කොහොමද අප්‍රේල් 21 ස්ථාන 8ක බෝම්බ පිපිරවීම් සිදුවී අහිංසක ජීවිත විනාශ වෙන්නේ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා - පැහැදිලිවම මම උපදෙස් දුන්නත් ඇතැම් අය වගකීම ඉෂ්ඨ කළේ නැහැ. ද්විපාර්ශ්වික රජයක් තිබුණේ. මම සාමාන්‍ය ඇමැතිවරයෙකුට ලිපියක් ලිව්වත් අනෙක් නායකයා උපදෙස් දී තිබුණේ මගේ ලිපිවලට කටයුතු කරන්න එපා කියලා. 2018 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නැවත රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය කියන දේ ක්‍රියාත්මක කරන තත්ත්වයක තිබ්බේ නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - කවුද ඒ උපදෙස් දුන්න නායකයා.

මෛත්‍රීපාල සිරිසේන මහතා - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - ඔය කියන කරුණු දැනගත්තෙ කොයි කාලෙද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - රටේ ආර්ථිකය පිළිබඳ ආර්ථික කළමනාකරණ කමිටුව වගේ මම ජාතික ආර්ථික සභාවක් ඇති කළා. මම විද්වත් මණ්ඩලයක් පත් කළා. ඒ අය යවන නිර්දේශ ක්‍රියාත්මක නොකළ යුතුයි කියා රනිල් වික්‍රමසිංහ මහතා මුදල් මණ්ඩලයට මහ බැංකුවට උපදෙස් දී තිබුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කළ ප්‍රකාශයක් නිසා මුස්ලිම් ජනතාව කැලඹිලි වූ බව බුද්ධි වාර්තා දැනුම් දී තිබුණද? ත්‍රිවිධ රත්නය කියන්නේ ගල් තුනක් කියා කියා තිබුණා නේද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - මතකයක් තියෙනවා. කවුද කියා මතක නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - ඒ ප්‍රකාශය කර තිබුණේ අබ්දුල් රාසික් 2016-11-20 අත්අඩංගුවට ගත්ත මතකද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - හරියට මතක නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හඳුනනවද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - දේශපාලන කටයුතු වලදී හඳුනනවා. පෞද්ගලික සම්බන්ධතාවයක් තිබුණේ නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - වනාතවිල්ලුව ලැට්ටෝස් වත්තේ තිබී පුපුරන ද්‍රව්‍ය සමඟ මොහොමඩ් නෆීස්, මොහොමඩ් නෆ්රිත් අත්අඩංගුවට ගත්තද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - මතකයක් නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - සිංහල මුස්ලිම් අන්තවාදී සංවිධාන පාලනය කළ යුතු බව හලාල් ෂරියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයෙන් උපදෙස් දුන්නද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - සිංහල මුස්ලිම් අන්තවාදී සංවිධාන කටයුතු කිරීමේදී විදේශ තානාපති කාර්යාල‍, ජාත්‍යන්තර සංවිධාන මුස්ලිම් නීතිඥ සංවිධාන ප්‍රකාශ නිකුත් කරනවා. එන්ජීඕ ඒ වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කළ ආකාරයන් රාශියක් තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න කොට එන්ජීඕ මුදල් දෙනවා. රජයක් ලෙස බරපතළ අසීරු සංකීර්ණ තත්ත්වයකට අපි මුහුණ දුන්නා. ආගමික අන්තවාදයන් පිටුපස අන්තර්ජාතික සංවිධාන තිබුණා. ළදරු මාතෘ වැඩිහිටි සුබසාධනයන් කියා ලියාපදිංචි වී ජාතිවාදී, අන්තවාදී දේ සිදු කිරීමට එන්ජීඕ කටයුතු කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - බෞද්ධ අන්තවාදී තීරණ ගැනීමේදී එවැනි බලපෑම් සිදුවුණාද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - යම් පාලනයක් ඇති කරගන්න අපට හැකි වුණා. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා මඟින් සහ කෑ ගසන විරෝධතා කරන භික්ෂූන් වහන්සේලා හමුවී කතා කළා. මට බැරිනම් ඒ අය සමඟ සමීප අය හරහා කතා කළා. සිංහල බෞද්ධ අන්තවාදය පාලනය කර ගන්න හැකි වුණා. මුස්ලිම් අන්තවාදය පාලනය කරන්න නොහැකි වුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - ඇයි ඒ?

මෛත්‍රීපාල සිරිසේන - ආරක්ෂක තත්ත්වය, නායකයන් ගෙන්වා කරුණු පැහැදිලි කළා. නමුත් ඒ සංවිධානවල අය හමුවෙන්න හැකියාවක් තිබුණේ නැහැ. මම හමුවුණා නම් ඒ අය මාව විවිධ දේවල් වලට භාවිත කරාවි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - ඔබේ කාලයේ මුස්ලිම් අන්තවාදය පාලනය කරන්න අසමත් වුණා නේද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - ඔව් මුස්ලිම් නායකයන් රජය නියෝජනය කිරීමත් ලබාදුන් උපදෙස් මුස්ලිම් නායකයන් ඔවුන්ට ලබා නොදීමත් ඊට හේතු වුණා. ඒ නිසා තමයි එවකට සිටි අය ඉවත් කර එවකට සිටි විපක්ෂ නායකවරයා පත් කර නව රජයක් හැදුවේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - බලයට එන විට නිර්පාක්ෂික වන බවට එකඟතාවක් තිබුණද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - සම්පූර්ණ බොරු. දේශපාලන වේදිකාවක කරන කථාවක් මෙතන කරල තියෙන්නේ. ඊට වඩා විග්‍රහයක් මටත් කරන්න පුළුවන්. කොමිසමේ කාලය වැය වෙනවා. මම පිරිසුදු දේශපාලනයක් කළේ. අවුරුදු 47ක දේශපාලන ජීවිතයේ මට නිවැරැදි නායකත්වයක් ජනතාව ලබා දුන්නා. මහ බැංකු මංකොල්ලය ඇතිවූ තත්ත්වයක් මත තමයි දේශපාලන යක්ෂයකු සමඟ නොගැළපෙන විවාහයක් කරගෙන අමාරුවේ වැටුණ කියල. අමාරුවෙන් රටත් ජනතාවත් බේරගන්න ජීවිතය කැප කරල නොගැළපෙන ගිවිසුම් දූෂණ වංචා බේරගෙන කටයුතු කළා. අන්තවාදය වර්ධනය වුණේ ඒ පසුබිමක.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - 2015 ජනපතිවරණයට අබ්දුල් රහුමාන්ට අයත් යහපාලනය සඳහා වූ ජාතික පක්ෂය මඟින් සහරාන්ගේ සහය ලැබුණා නේද?

මෛත්‍රීපාල සිරිසේන - හැටදෙලක්ෂයක් ඡන්දය ලැබුණා. ඒ වෙලාවෙ මම පොදු අපේක්ෂකයා. එජාපය සමඟ සංවිධාන 49ක් ගිවිසුම් අත්සන් කළා. යට උඩ ඉන්නේ කවුද කියල මම දන්නේ නැහැ. දින 42යි මැතිවරණයට තිබුණේ. ඔය කියන සහරාන් මම දන්නෙ නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - 2018 මොනවද වුණේ?

මෛත්‍රීපාල සිරිසේන මහතා - 2015 පළමු අර්බුදය සතියක්වත් නැතිව මතු වුණා. මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම. ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. කොහොමද පත් කරන්නේ කියල ඇහුවා. ගැටුමක් හදා ගන්නේ කියල රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමට ඔහු පත් කළා. ඊළඟට කැබිනට් මණ්ඩලයක් පත් කරන්න මහාචාර්ය හෙට්ටිගේ මහතාගේ නිර්දේශවලට අනුව භාරදුන්නම ජලසම්පාදන හා උසස් අධ්‍යාපන එක අමාත්‍යාංශයකට පැවරුවා. විද්‍යාත්මක දැනුම එතනින්ම නැතිවුණා ස්වාමීණී. මුල් සතියේම මට සිත්වේදනා ඇති වුණා. මුල් මාස දෙක තුනේ මහබැංකු පළමු සොරකම, ඊළඟට දෙවන සොරකම ඒකට කොමිසමක් දැම්මම මා සමඟ තරහ වුණා. හම්බන්තොට වරාය චීන ගිවිසුම, ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම ගැටුම් ඇති වුණා. මානව හිමිකම් කොමිසමට මම නොදැන අපේ හමුදාවලට විරුද්ධව වාර්තා ඉදිරිපත් කළා.

19 ව්‍යවස්ථාවෙන් හදපු මානව හිමිකම් කොමිසම අපේ ත්‍රිවිධ හමුදාවට පොලීසියට විරුද්ධව යුද්ධයක් නැතිවත් පැමිණිලි ඉදිරිපත් කළා. ඒ නිසා එක්සත් ජාතික සාම සාධක හමුදාවට නිලධාරීන් යවන්න නොහැකි වුණා. අපිට ආර්ථික අවාසි ඇති වුණා. 2017 ජිනීවා වල මානව හිමිකම් කොමිසමට කියනවා අපේ පොලිස් නිලධාරීන් බරපතළ හිරිහැර කරන බවට පැමිණිලි 300කට වඩා තියෙනවා කියල. ඒවා විභාග කරල අවසන් තීන්දුව වත් අරගෙන නොවෙයි මේව ඉදිරිපත් කරන්නේ.

විශාල ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. මානව හිමිකම් කොමිසමට පත් කළේ මැතිවරණ කොමිසමේ එන්ජීඕ එකේ කෙනෙක් පත් කළා වගේ එල්ටීටීඊ මැරුණු කෙනෙක්ගෙ පවුලෙ කෙනෙක්. ප්‍රබල සංකීර්ණ තත්ත්වයක් මහ විශාල ව්‍යාකූල තත්ත්වයක් ඒ අවුරුදු කිහිපයෙත් තිබුණා. රට අස්ථාවර කරන්න එන්ජීඕ ප්‍රබලව කටයුතු කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - බලයේ සිටින රජයේ ගැටුම් ජාතික ආරක්ෂාවට බලපෑව නේද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - බලපෑමක් ඇති වෙනව. ඒ ඇතිවූ ගැටුම් දේශපාලන ගැටුම්. ඒවා ත්‍රිවිධ හමුදාවට පොලිසියට බුද්ධි අංශයට බලපෑමක් ඇති කළේ නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - විශ්වාසය එහෙම වුණාට රාජ්‍ය නිලධාරීන් සාක්ෂි දීල කිව්වා ගැටුම් නිසා නිදහස් අදහස් ප්‍රකාශ කරන්න නොහැකි වුණා කියල.

මෛත්‍රීපාල සිරිසේන මහතා- මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ආරක්ෂක මණ්ඩලයට අදහස් ප්‍රකාශ කරන්න කිසිම බාධාවක් තිබුණෙ නැහැ. නිලධාරීන් නිදහසේ කරුණු ඉදිරිපත් කළා. මගේ උපදෙස් නියෝග දුන්නා.

කොමිසම - මීට පෙර සාක්ෂිවලත් හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරක්ෂක මණ්ඩලයේ යම් කරුණු දක්වන විට යම් අයකු අකැමැත්තක් දැක්වූවාද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - ඔව් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අන්තවාදය කථා කරනවාට කැමති වුණේ නැහැ. මුස්ලිම් ජනතාව නොසන්සුන් වෙයි කියල. ඔහුව මාරු කරන්න කියල හිටපු අගමැතිවරයා සහ තවත් ඇමැතිවරයෙක් කිව්වා.

කොමිසම - ආරක්ෂක මණ්ඩලයට සමහරුන්ට තහනම් කළා නේද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - සමහර අයගේ හැසිරීම් නිසා එන්න එපා කිව්වා. පොලිස්පති පූජිත්ගේ හැසිරීම හේතුවෙන් එන්න එපා කිව්වා. ආරක්ෂක මණ්ඩලයට ඇවිත් ෆෝන් දෙක තියාගෙන ඔබ ඔබ ඉන්නවා. තීන්දු ගන්නෙ මොනවද කියල දන්නෙ නැහැ. මහනුවර පෙරහැරේ නැටුවා. වේදිකාවල සින්දු කිව්වා. පැය දෙක තුන කථා කළා. අර්බුද රැසකට ගැටලු රැසක් පොලිස්පතිවරයා මැවුවා. ඒ නිසා ඩී.අයි.ජී. රවී සෙනෙවිරත්න ගෙන්වා ගත්තා. එයාට පුළුවන් පොලිස්පතිවරයා දැනුවත් කරන්න. මට කෝල් දෙන්න එපා හමුවෙන්න එපා කියල මම කිව්වා කියල පූජිත කියල තිබුණෙ සම්පූර්ණ බොරුවක්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නාලක සිල්වා සහ පොලිස්පතිවරයා හමුවුණාම සහරාන් ගැන විවෘත විමර්ශන කරන්න එපා කියල ඔබ කිව්වද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - ඉස්ලාම් රාජ්‍යයක් (කිලාෆයක්) වීමට ඉඩ නොදී මුදාගන්නට නොහැකි වීම කොහොමද පැහැදිලි කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා - මම මගේ උත්සහය ගත්තා. පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු, නිලධාරීන්, දේශපාලන නායකයන් මුස්ලිම් අන්තවාදය අයිඑස් මතවාද මර්දනය කරන්න ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. නමුත් දේශීය ප්‍රාදේශීය තත්ත්වයන් පාලනය කිරීමට ප්‍රාදේශීය නිලධාරීන් සමත් වුණේ නැහැ. පොලිස් බුද්ධි අංශ වලට මේ කාරණය පැවරෙනවා. සහරාන් අල්ලන්න වරෙන්තුවක් තිබුණ නම් ඒ අය අත්අඩංගුවට ගන්න ඕන. ජනාධිපතිවරයාට අයිති දෙයක් නොවේ. මට පොලීසිය භාර වෙලා මාස 4යි. අනෙක් බලවේග උපදෙස් නොපිළිපැදීම දේශපාලනය මුරණ්ඩු ලෙස කටයුතු කිරීම අන්තවාදය සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම නිසයි ආණ්ඩු වෙනසකට මුල් වුණේ. ආණ්ඩුව විසුරුවන්න ව්‍යවස්ථාවෙන් බලයක් තිබුණෙ නැහැ. නීතිය හා සාමය මගේ ළඟ නොවෙයි තිබුණෙ අවුරුදු 4කට ආසන්නව. මම දෙන උපදෙස් ඒ අය ඒ කාලෙ ඇහුවෙත් නැහැ. මම කාදිනල් තුමා හින්දු ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ඇමැතිවරුන් මුස්ලිම් නායකයින් සමඟ සාකච්ඡා කළා. මුස්ලිම් ඇමැතිවරු හිටියෙ මගෙ පැත්තෙ නොවේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - 2018 ආණ්ඩු වෙනස මේ තත්ත්වය තීව්‍රර කළාද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - සහරාන්ට වරෙන්තු නිකුත් කළේ 2018 මුල. ඇයි මේව ක්‍රියාත්මක නොකළේ කියන ප්‍රශ්නය තියෙනවා. ඒක කළා නම් මේ මහා විනාශය නවත්වන්න තිබුණා. මාසික රැස්වීමේදී ඩීඅයිජී ලට මට කියන්න තිබුණ ප්‍රශ්න තිබුණ කියල. සහරාන් සම්බන්ධයෙන් විවෘත පරීක්ෂණ කරන්න එපා කියල මම උපදෙස් දුන්න නම් ඒ බව ඩීඅයිජී ල දැනගන්න ඕන. පොලිස්පති එහෙම දැනුම් දීල නැහැ. ඇයි සහරාන්ව අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ? මම දුන්න උපදෙස් ක්‍රියාත්මක කළේ නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - උපදෙස් දුන්න නම් වැරදුණේ කොතනද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - ප්‍රහාරයෙන් සති 4කට පසු සහරාන් ජාලය විනාශ කරන්න හැකි වුණා. මේ සංවිධාන නැඟෙනහිර පළාතේ ගොඩනැඟිල තියෙනවා. ඒ පළාත භාර පොලිසියේ නිලධාරීන් ප්‍රධාන ලෙස වගකියන්න ඕන. බුද්ධි අංශ හමුදා අංශ ආරක්ෂක ලේකම් පොලිස්පති සියලු නිලධාරීන් මෙයට වගකියන්න ඕන. අප්‍රේල් 21 ප්‍රහාරය ගැන තොරතුරු ලැබිල අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණෙ නැහැ. රටේ නීතිය අනුව ආරක්ෂක ලේකම් පොලිස්පති ක්‍රියාත්මක විය යුතුයි. ජනාධිපති ලේකම් ආරක්ෂක ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට දැනුම් දෙන්න ඕන. පහසුකම් නැත්නම් ඉල්ලන්න ඕන. මේ අය අත්දැකීම් දැනුම් සම්භාරයක් තිබෙන පරිණත අය. මේ අය වගකීම් පැහැර හැර තිබෙනවා.

කොමිසම - තොරතුරු ලැබුණෙ නිලන්ත ජයවර්ධනට. ඇයි ඔහුගේ නම නොකියන්නේ?

මෛත්‍රීපාල සිරිසේන - ආරක්ෂක ලේකම් යටතේ තමයි නිලන්ත ජයවර්ධන ජාතික බුද්ධි ප්‍රධානීන් ඉන්නේ.

කොමිසම -ප්‍රධාන වගකීම තිබෙන්නේ කාටද?

මෛත්‍රීපාල සිරිසේන මහතා - නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, හේමසිරි ප්‍රනාන්දු, පූජිත ජයසුන්දර යන අය වගකීම ගත යුතුයි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය -රාජ්‍ය නිලධාරින් සාක්ෂී දී තිබෙන්නේ නිශ්චිත පරිදි ආරක්ෂක මණ්ඩලය රැස්නොවූ නිසා සහ අන්තවාදිය සම්බන්ධයෙන් තොරතුරු ඉඩදිරිපත් කළත් සාධනීය පියවරයන් නොගත් බවටත්?

මෛත්‍රිපාල සිරිසේන මහතා - පිළීගන්න අමාරුයි. කවුරු හරි එහම කියනවානම් මම පුදුමයට පත් වෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය - ප්‍රහාරය ගැන දැන්වූවා නම් ගන්න පියවර මොකක්ද

මෛත්‍රිපාල සිරිසේන මහතා - ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවලා අවශ්‍ය පියවර ගන්නවා හදිසි නීතිය අවශ්‍ය නම් ගැසට් නිවේදනය නිකුත් කරනවාත සහරාන් කණ්ඩායම අත්අංඩංගුවට ගන්න බුද්ධි අංශ කණ්ඩායම් යොමු කරනවා. කාදිනල් තුමාට පල්ලි වලට හොටල්වලට දැනුම් දී අවශ්‍ය ආරක්ෂාව යොදවනවා.ගත යුතු සියලු ක්‍රියාමර්ග ගන්නවා.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට ආරක්ෂක අමාත්‍ය ධූරය හෙබවූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමට අද පැමිණියේ දෙවන දිනටයි.

සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඊයේ පැමිණියේ පෙරවරු 9.45ට පමණ පැමිණි අතර ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එම සාක්ෂියට සවන් දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනෙකු ජනාධිපති කොමිසමට පැමිණ සිටියේය.

හිටපු ජනාධිපතිවරයා නැවත අද (13) පස්වරු 4.00 කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අවවාද කරමින් කොමිසම ඒ මහතාට පිටව යෑමට අවසර දුන්නේය.

 

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න