ආනයනය අඩු වී අපනයනය වැඩි වීමෙන් රට යහපත් මාවතට යමින් තිබෙනවා | දිනමිණ

ආනයනය අඩු වී අපනයනය වැඩි වීමෙන් රට යහපත් මාවතට යමින් තිබෙනවා

වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

ආනයනය අඩු වී අපනයනය වැඩි වීමෙන් රට යහපත් මාවතක ගමන් කරමින් තිබෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවැසුවේය.

විනිමය අනුපාතය ආරක්ෂා කරමින් ගැසට් නිවේදන මඟින් කළ මූල්‍ය කළමනාකරණය සියයට සියයක් සාර්ථක බව ඔප්පු වී ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්විය. දිනට නියමිත යෝජනා, නිවේදන දැනුම්දීමෙන් පසු දිනට නියමිත කටයුතු ආරම්භ විය. මන්ත්‍රීවරුන් අසන ලද වාචික ප්‍රශ්නවලට ඇමැතිවරුන් විසින් පිළිතුරු ලබාදීම සිදු කෙරිණ.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

මුළු ලෝකයටම කොවිඩ් වසංගතය විශාල බලපෑමක් සිදු කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවත් විශාල බලපෑමකට ලක්ව තිබෙනවා. එංගලන්තය, ස්පාඤ්ඤය වගේ රටවල දෙවැනි රැල්ලක් මතුව තිබෙනවා. කොවිඩ් නිසා පසුගිය කාලයේ රට වැසීමට සිදු වුණා. කර්මාන්ත ශාලා සියල්ල ඇණ හිටියා. අපනයන කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වුණා. එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමඟ හුවමාරු වන විටදී ඇති වන අනුපාතය විදේශ විනිමය අනුපාතය ලෙස හඳුන්වනවා. අමෙරිකානු ඩොලර්වලට සාපේක්ෂව තමයි අපේ රටේ විදේශ විනිමය අනුපාතය ප්‍රකාශයට පත්වන්නේ. නිදහස ලැබීමට පෙර ඩොලරයක් සඳහා අපි ගෙව්වේ රුපියල් 4.77 යි. ඩොලරයක් වටිනා භාණ්ඩ අපනයන කිරීමේදී අපට රුපියල් 4.77 ක් ලැබුණා. පාවෙන විනිමය අනුපාතය යටතේ වසර 2005 දි මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගන්නා විට ඩොලරයේ වටිනාකම රුපියල් 105 යි. ඒ කාලය තුළ ආර්ථික අභියෝග රැසක් තිබුණා. උතුරු නැඟෙනහිර යුද්ධය පැවැතුණා. ලෝක ඛනිජ තෙල්, ආහාර, මූල්‍ය අර්බුද තිබුණා. රාජ්‍ය ණය අර්බුදය තිබුණා. මේ සියලු අර්බුද මධ්‍යයේ යුද්ධය අවසන් කර රට වැඩ බිමක් බවට පත් කිරීමට රාජපක්ෂ මහතා කටයුතු කළා. උතුරු වසන්තය, නැඟෙනහිර උදානය සඳහා විශාල විදේශ විනිමයක් දැරීමට එවකට රජයට සිදු වුණා. වසර 2014 රට බාර දෙන විට ඩොලරයකට ගෙව්වේ රුපියල් 131 යි. බාර ගන්නා විට 105 යි. දශකයක් තුළදි ඩොලරයකට වැඩිපුර ගෙව්වේ රුපියල් 26 යි. 2013, 2014 වසරවල මුදල් අවප්‍රමාණ වීම වෙනුවට අධි ප්‍රමාණ වීමක් තිබුණා. යහපාලන ආණ්ඩුව රට බාර ගත් පසුව ආර්ථිකයට බලපාන කිසිදු අර්බුදයක් රට තුළ තිබුණේ නැහැ. එසේ වුවත් අවුරුදු පහකින් රට අපට බාර දෙන විට ඩොලරයක වටිනාකම රුපියල් 182 යි. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ අපි රට බාර දෙන විට රුපියලේ අගය 131 යි. යහපාලන ආණ්ඩුවෙන් අපි රට බාර ගන්නා විට රුපියලේ අගය 182 යි. එම වසර පහ තුළදී රුපියල් 51 ක මුදලක් වැඩිපුර ගෙවීමට සිද්ධ වෙලා තිබුණා. ලංකා ඉතිහාසයේ දරුණු ලෙසම රුපියල බාල්දු වූයේ ඒ කාලය තුළදි. අපනයන අඩු වෙලා ආනයන වැඩි වුණොත් විනිමය ඉහළ යනවා. වෙ‍ෙළද හිඟය අඩු කරන්න හැකි වෙනවා. ආනයනය සීමා කිරීමෙන් රටේ ආර්ථික තත්ත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට හැකි වුණා. 2020 ජනවාරි මාසයේ අපනයන මිලියන 1004 යි. ආනයනය 1735 යි. වෙ‍ෙළඳ හිඟය 730 යි. විනිමය අනුපාතය 181.58 යි. වෙ‍ෙළඳ හිඟය 730 ක් වන විට ඩොලරයේ අගය රුපියල් 281 කට ගියා. පෙබරවාරි මාසයේ අපනයනය 881 කට අඩු වුණා. ආනයනය 1562 යි. වෙළෙඳ හිඟය 573 යි. විනිමය අනුපාතය 181.80 යි. කොවිඩ් නිසා මාර්තු මාසයේ අපනයනය තවත් අඩු වුණා. අපනයනය 256 යි. ආනයනය 1205 යි. වෙළඳ හිඟය ඍණ. ඩොලරය 188.62 යි. ඉතිහාසයේ පළමු වතාවට අප්‍රේල් මාසයේ අපනයන 282 යි. ආනයනය 1122 යි. වෙළෙඳ හිඟය 840. ඒ නිසා ඩොලරය 192 කට නැංගා. අපනයන අඩු වෙලා ආනයන වැඩි වුණොත් එසැණින් විනිමය අනුපාතය වැඩි වෙනවා. ජූනි මාසයේ අපනයනය 894 යි. ආනයනය 1055 යි. වෙළඳ හිඟය 161 යි. රුපියලේ අගය 185 ක් වුණා. ජූලි මාසයේ අපනයනය 1085 කට වැඩි වුණා. ආනයනය 1294 යි. වෙ‍ෙළඳ හිඟය 209 යි. රුපියලේ අගය 185 මට්ටමටම තිබුණා. විනිමය අනුපාතය ආරක්ෂා කරමින් ගැසට් නිවේදන මඟින් කළ මූල්‍ය කළමනාකරණය සියයට සියයක් සාර්ථක බව ඔප්පු වී තිබෙනවා. අපනයනය වර්ධනය වී තිබෙනවා. ආනයනය අඩු වී තිබෙනවා. රජයේ මූල්‍ය කළමනාකරණය තුළින් යහපත් මාවතක රට ගමන් කරවීමට ආණ්ඩුවට දැන් හැකියාව ලැබී තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (ස.ජ.බ.)

වත්මන් රජයෙන් මූල්‍ය අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. බදු රහිතව රත්රන් නිදහසේ ගේන්න ඉඩ දී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට බදු පනවා තිබෙනවා. මේ ආණ්ඩුව නියෝජනය කරන්නේ කාවද කියලා එමඟින් පේනවා. රත්තරන් බඩු ටික උකස් කරලා ආහාර ලබා ගන්නා ක්‍රමයක් රජය විසින් දැන් නිර්මාණය කර තිබෙනවා. ආණ්ඩුවට මූල්‍ය ප්‍රතිපත්තියක් නැහැ. මේ වන තෙක් රජය අයවැය ඉදිරිපත් කර නැහැ. එසේ වන විට ආයෝජකයින් එන්නේ කොහොමද? රට ගැන පිටරටවලට විශ්වාසයක් ඇති වන්නේ කෙසේද? කොරෝනා ව්‍යසනයට වඩා භයානක වනුයේ ආර්ථික අර්බුදය.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා

ආනයනයන් අඩු කර අපනයනය වැඩි කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. රට තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා. මානව ඝාතන සම්බන්ධයෙන් අනුබල දුන් හා සමරනු ලැබූ දෙමළ ජාතික සන්ධානය භාවිතා කරන දෙමළ මාධ්‍ය කණ්ඩායම් තේරුම් ගත යුතු දෙයක් වන්නේ ජාතීන් අතර ගැටුම් ඇති නොකළ යුතු බව. පසුගියදා යාපනයේ පූජකවරයෙක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය ඒ ගැන විමර්ශන කරනවා. ගව ඝාතනයට හඬ නැඟූ නිසා ඔහු මරණයට පත් කර ඇති බවට දෙමළ මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා. නමුත් පොලිසිය සිදු කළ විමර්ශනවලින් ඝාතනයේ හේතුව එය නොවන බව හෙළිව තිබෙනවා. ප්‍රජාව තුළ ගැටුම් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකළ යුතුයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා (දෙ.ජා.ස.)

මෙරට ධීවර, කෘෂි කර්මාන්තවල බොහෝ ද්‍රවිඩ ජනතාව නියැළෙමින් සිටිනවා. කහ වගේ දේවලට ආනයන තහනමක් ඇති කළ යුතුයි. ධීවර ප්‍රජාවගේ අනාගතය අදටත් ගැටලුවක්. එක් අතකින් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාවල බලපෑම. තවත් පැත්තකින් රජයේ බලපෑම්. මෙරට ආර්ථිකය ඉහළ නැංවීමක් දැකිය හැකි ක්‍රමයක් වනුයේ ධීවර හා කෘෂි කර්මාන්තවලින්. කොරෝනා යළි හිස එසවීම නිසා දෛනිකව හම්බ කරන පුද්ගලයින්ට ගැටලුවක් වී තිබෙනවා.

ඉඩම් ඇමැති එස්. එම් චන්ද්‍රසේන මහතා.

අපේ රජයේ ප්‍රතිපත්තිය වුණේ දේශීය කර්මාන්තය දියුණු කිරීමයි.

කබීර් හෂීම් මහතා

ඇමැතිවරයා කියනවා අපේ කාලයේ සම්පත් විකුණුවා කියලා. එහෙම විකුණපු එකක් කියන්න.

එස්. එම් චන්ද්‍රසේන මහතා

ඇයි හම්බන්තොට වරා විකුණුවේ. දේශීය කෘෂි කර්මාන්තය නැති කළා. රට විනාශ කලා. පසුගිය කාලයේ කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ කරල දැම්මා. අපේ රජය ආව දවසේ ඉඳන් උත්සහ කරන්නේ දේහීය කර්මාන්තය නගා සිටුවන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව පත්වෙලා අවුරුද්දක් යන්න කළින් තමයි මේ හැම පහසුකමක්ම ලබාදෙන්න කටයුතු කළේ.

නියෝජ්‍ය කාරක සභා සාභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජා.ජ.බ)

දේශීය කෘෂිකර්මාන්තය නංවන්න කටයුතු කිරීම හොඳයි. ඒ් සඳහා ඒක සැරේට පිට රටින් ගෙන්වන ඒක නතර කිරීම නිවැරැදි නැහැ. දැන් බලන්න කහ ගේන ඒක නතර කලා. ඒය හොඳයි. නමුත් අද කහ නැහැ. ඒ් නිසා වෙළෙඳ පොළේ තිබෙන්නේ විවිධ දේ කලවම් කරපු කහ වර්ගයි. ආනායනය සීමා කරපු ඒක හොදයි. මම කියන්නේ නැහැ ආනයනය කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් හරි ක්‍රමවේදයක් හැඳුවොත් තමයි මෙහි නිසි ප්‍රයෝජන ලබාගන්න පුළුවන් වෙන්නේ.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා.

පසුගිය කොරෝනා කාලයේදී විදේශ විනිමය රටට නොඒන්න ගත්තම තමයි දේශීය කර්මාන්ත නඟා සිටුවන්න කටයුතු කළේ. ඒ් වගේම අපේ රටෙන් පිට රටට ඇඳී යන මුදල් නතර කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළ පවා සකස් කර තිබෙනවා. ඒ් වගේම මේ වන විට කුඩා කර්මාන්තකරුවා ව්‍යවසායකයෙක් කිරීමයි කටයුතු . අද මේ අය හිනා වෙනවා. පසුගිය ආණ්ඩුවේ හිටිය ආර්ථික විශේෂඥයෝ ගත්ත තීන්දු තීරණ නිසයි ආර්ථිකය කඩා වැටුණේ.

යාපන දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් (දෙමළ ජාතික ජනතා පෙරමුණ)

අපේ ජාතිය වෙනුවෙන් දින 12 ක් උපවාස කළ තීලීපන් අපිට ජාතික වීරයෙක්. ඔහු අපේ ජාතිය වෙනුවෙන් තමයි මිය ගියේ. ඒ වගේම හමුදාව දරුවන් මැරුවා. පසුගිය කාලයේ සංවර්ධන නිලධාරීන් ලෙස යාපනයේ සිට වෙනත් දිස්ත්‍රික්කවල වැඩ කළ අයගේ ඒ් කාලය අවසන් වෙලා තිබෙනවා. ඒ් අයට ඒ මාරුවීම් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (පො.ජ පෙ)

සෘණ ආර්ථිකයක් තමයි පසුගිය ආණ්ඩුව අපිට ආර්ථිකය බාරදුන්නේ. ඊට එහා ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ. අපි අපේ දේශීයත්ව රැකගන්න, පිට රටට යන සල්ලි නතර කරගන්න තීන්දු තීරණ රැසක් අරගෙන තිබෙනවා. එය ඇතැම් අයට දරා ගන්න බැරැව තමයි ඉන්නේ.

සුදර්ශන දෙණිපිටිය මහතා.

සෙල්වරාජා මන්ත්‍රීවරයා මෙතනදි කිව්වා අපේ හමුදාව දරුවන් මැරුවා කියලා. එය බොරෙුවක්. අපි විනයවත් හමුදාවක් විදියට එවැනි දේවල් කරලත් නැහැ කරන්නෙත් නැහැ. එම නිසා මම ඉල්ලා සිටිනවා ඒ කතාව වහාම හැන්සෑඩ්වලින් ඉවත් කරන්න කටයුතු කරන්න කියලා.

කාරක සභා සභාපතිවරයා

ඒ පිළිබඳව කථානායකවරයා සමඟ සාකච්ඡා කරන්නම්

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා (ස.ජ.බ)

එම මන්ත්‍රීවරයා කියපු කතාව සම්පූර්ණ වැරදියි. ඔහු කියනවා අපේ හමුදාව ළමයි ඝාතනය කළා කියලා. ප්‍රභාකරන්ගේ ළමයිද දරුවෝ කිව්වේ. ප්‍රභාකරන්ගේ ලොකු පුතා කොටි හමුදාවේ කර්නල්වරයෙක්, දුව කාන්තා බලකායේ මේජර් කෙනෙක්, බිරිය සැපයුම් අංශයේ ප්‍රධානීයෙක්, මන්ත්‍රීවරයා කියන පොඩි පුතා බේබි හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක්. කේ. පී කියලා තිබුණා ලොකු පුතා සහ ප්‍රභාකරන්න විතරයි මැරුණේ කියලා. බාල පුතා කොටු සරමක් ඇඳන් බංකරයක් තුළ මරුණා කියලා. අපි සරම් අන්දවන්නේ නැහැ. එහෙනම් හොඳ ඇඳුම් අන්දලා තමයි ඔහුට උත්තර දෙන්නේ. ඔහු ළඟ හිටිය පුද්ගලයා ඉන්දිය කැලෑ හමුදාවේ ඇඳුමක් ඇදගෙන හිටියේ. එම නිසා බොරු කතා කියන්න එපා කියලා මන්ත්‍රීවරයගෙන් ඉල්ලා සිටිනවා. අපේ හමුදාවට බොරු චෝදනා එල්ල කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (ස.ජ.බ)

රට දේශීය වශයෙන් ස්වයංපෝෂිත කරන්න කර්මාන්ත නඟා සිටුවන්න තමයි උත්සහ කරද්දි මේ ජනතාව හිංසාවට පත් නොවන ලෙසයි එය කළ යුත්තේ. එහෙම නැතුව ජනතාව විනාශ කරලා මේ දේවල් කරලා පලක් නැහැ. උගත් කියන පිරිස පැත්තකින් තියලා දේශපාලනයෙන් හෙම්බත් වුණ පිරිස් කරන දෙයින් 69 ලක්ෂ බලාපොරොත්තු විනාශ වෙලා යනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා (පො.ජ.පෙ)

හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ආණ්ඩුවේ බංකොළොත්කම ගැන කතා කරන්නේ කොහෝමද කියලා එතුමන්ගෙන් අහන්න ගිහින් මගේ කාලය අපරාදේ කරගන්න කැමැති නැහැ. නැවත වතාවත් කොරෝනා වසංගතය උද්ගත වෙමින් තිබෙනවා. මගේ කුරුණෑගල ප්‍රදේශයෙත් එය ප්‍රශ්නයක් වෙලා. මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා.

ලංකාවේ මේ වෙන කොටත් ආනයනයන් සීමා කරමින් ඉන්නවා. අද වන විට යළිත් කොරෝනා ඇවිත් තිබෙනවා. අපිට ඉහළින් ඉන්නේ ඉන්දියාව. ඉන්දියාවෙන් එය ආනයනය වෙලා තිබෙනවා. අපේ රට දෙවැනි රැල්ලකට සූදානම් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට නැවත කොරෝනා ඇවිත් තිබෙනවා.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා (පො.ජ.පෙ)

අපි රාජ්‍ය අංශය දුර්වල කරන්නේ නැහැ. පෞද්ගලික අංශය විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. අපේ රජයට වැඩපිළිවෙළක් තිබෙනවා. බැංකු පොලී අනුපාතය තනි අංකයකට ඇවිත් තිබෙනවා. ඉදිරි කාලයේදී මේ රට නැවත වැඩ බිමක් බවට පත්වෙනවා. අපේ සම්ප්‍රදායික කර්මාන්තයට වටිනාකමක් ලැබිලා තිබෙනවා. අලුත් ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. රට තුළ නිෂ්පාදන කාර්යයන් වැඩි වෙලා තිබෙනවා. අපි මෙය ඉදිරි දශකයේ සංවර්ධන ලෙසයි අප දැකිය යුත්තේ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (ස.ජ.බ)

මම ජනාධිපතිවරයගෙන්, මුදල් ඇමැතිගෙන් ඉල්ලා සිටිනවා සහල් මොල් හිමියන්ට ඔවුන්ගේ කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය සහය ලබා දෙන්න එහෙම වුණොත් ආනයනය අඩු කරලා අපනයනව නගා සිටුවන්න පුළුවන්කම ලැබෙනවා. අපේ රට කෘෂිකර්මාන්ත රටක් කියනවා. ඒ වුණාට කෘෂිකර්මාන්ත නැහැ. කර්මාන්ත නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ලැජ්ජ වෙන්න ඕන ඇල් පෙනෙත්තක් හදාගන්න අපිට බැරි නිසා. යහපාලන ආණ්ඩුව කංකුන් මැල්ලුම පවා පිට රටින් ගෙනාවා.

ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය ඇමැති රෝෂාන් රණසිංහ මහතා.

සිරිමාවෝ මැතිනිය දේශීය කර්මාන්තය නගා සිටුවන්න කටයුතු කළා. එහෙත් 77 එක්සත් ජාතික පක්ෂය ගෙනආව විවෘත ආර්ථිකය නිසා ඒ සියල්ල නැති වෙලා ගියා. මම හිතන්නේ මේ වෙලාවේ කෘෂිකර්මාන්ත දෙපාර්තුමේන්තුව මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි. ඒ අය ඔවුන්ගේ කාර්ය භාර්යය නිසි අයුරින් සිදුකරනවද කියලා හිතන්න ඕන. මොකද කාටවත් දොස් නගනවා නෙවෙයි. අපිට අවශ්‍ය අපේ දේශීය කර්මාන්ත දියුණු කර ගැනීමයි.

එස් එම් මරික්කාර් මහතා (ස.ජ.බ)

කොරෝනා වසංගත තත්ත්වය නිසා අපේ ආදායම් අඩුවුණා. අපේ රටට ආදායම් ගලාඑන ආකාරයේ ආර්ථික වැඩපිලිවෙලක් සකස්කළ යුතුයි.ණය ගෙවීම වෙනුවෙන් තවත් ණය මුදල් ලබාගැනීමෙන් සිදුවන්නේ අපේ ආර්ථිකය තවත් කුඩු පට්ටම් වීම පමණයි. සංචාරක කර්මාන්තයටත් විශාල බලපෑමක් කොරෝනා වලින් සිදුවුණා.නමුත් ඒ වෙනුවෙන් අපට වැඩපිළිවෙළක් නැහැ.

මේ ආණ්ඩුව බලයට පත්වූ වෙලාවේ කිව්වා ජාතික පාසල් 123 ක් ස්ථාපිත කරනවා කියලා. කෝ හැදුවද. ඒ නිසා මාධ්‍ය සන්දර්ශන සිදු නොකර රටට වැඩපිලළිවෙළක් හදන්න.ආනයනය අපනයනය කියන දෙකම සිදුකරන්නට වෙනවා.

(පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණියේය)

දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ මහතා

විපක්ෂය එල්ල කරන චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. 2015-2019 ආණ්ඩුව මේ රටේ ආර්ථිකය දියුණු කළාද. ඒ වගේම පාස්කු ප්‍රහාරයත් අපගේ ආර්ථිකයට බලපෑමක් එල්ල කළා.නමුත් වත්මන් රජය යටතේ ආර්ථිකය නව දිශාවකට ගමන් කරමින් තිබෙනවා. අපනයන ආදායම ඉහළ නැංවීම මෙන්ම අපනයන විවිධාංගීකරණයක් සිදුකිරීමත් සිදුවිය යුතුයි. ආනයන වියදම අපි අඩුකළ යුතුයි. අපි විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කැරනවා. නමුත් අපනයනය කරන්නේ අඩුවෙන්. ඒ නිසා අපි ආනයන වියදම් අඩුකර අපනයන වැඩකළ යුතුයි. අපේ රටේ ඕන තරම් පලතුරු වැවෙනවා. රටවටේටම මුහුද. ඒ නිසා අපි විදේශ විනිමය ඉතිරි කරන්නට නම් අපට නිෂ්පාදනය කළ හැකි සියල්ල අපි නිෂ්පාදනය කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා (ස.ජ.බ)

දැන් කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල ආරම්භ වොල තිබෙනවා. මේ සඳහා සූදානම් වෙන්න රජයට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදියට කර්මානත් ශාලා, රැකියා අහිමි වෙමින් යනවා. මේ පිළිබඳ කිසිම සංඛ්‍යා ලේඛණයක් ඉදිරිපත් කරලා නැහැ. මේ දේවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව මේ දේවල් හංගගෙන ගමනක් යන්න බැහැ.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (පො.ජ.පෙ)

1977 වසරෙන් පස්සේ අපේ රටේ සල්ලි විශාල වශයෙන් පිට රටට ඇඳිලා ගියා. අපේ සම්පත් තියෙද්දි පිට රට දේවල් ගෙනත් විශාල මුදලක් ඒ රටවලට දුන්නා. දවසකට අපේ රටෙන් දාහකට වැඩිය පිරිසක් දඹදිව යනවා. තේ දළු නෙළලා ගන්න සල්ලි ටික අරන් ඒ සල්ලි අරන් යනවා. එයින් අපිට විශාල මුදලක් නැතිව යනවා. හැබැයි කොවිඩ් තත්ත්වයත් එක්ක ඒ දේ නතර වෙලා තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා.(පො.ජ.පෙ)

1977 පෙර තිබුණ සංවෘත්ත ආර්ථිකයත්, 1977 පස්සේ ආව විවෘත ආර්ථිකය ගැන අපි හොඳින් අවබෝධ කරගෙනයි මේ විවාදයේදි කතා කළ යුත්තේ. කාලයක් තිබුණා භාණ්ඩාගාරයට අපේ දේශීය ආර්ථිකයෙන් සියයට අසූ දෙකක් ලැබුණා. ඒ සියල්ල නැති වුණේ විවෘත ආර්ථිකය නිසයි. අද සමහරු බබාලා වගේ කතා කරනවා ඒ විවෘත ආර්ථිකය ගෙනත් රට විනාශ කරලා. දැන් නිර්මාණය වෙලා තිබෙන අර්බුද නිකන් ආව දේවල් නෙවෙයි. බටහිර රටවලට ඕන විදියට නටලා එක්සත් ජාතික පක්ෂය ගෙනා අර්බුදයි මේ තිබෙන්නේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මොහොමඩ් මුසාරෆ් මහතා.(ස.ජ.බ)

ජනාධිපතිවරයා ආනයනයට සීමා පනවා තිබෙනවා. මෙය ආර්ථික අවපාතය නිසා ගත්ත තීන්දුවක් ද කියලා අපිට සිතා ගන්න බැහැ. එහෙම නැත්නම් කොවිඩ් නිසා ගත්ත තීරණයක්ද කියලා සිතා ගන්න බැහැ.ඒ වගේම අපිට විවෘත ආර්ථිකයෙන් නිසි ප්‍රයෝජන ලබාගන්න බැරි වුණා. එම නිසා මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා (පො.ජ.පෙ)

කොවිඩ්වලට කලින් පවා අප විදේශ විනිමයෙන් ලොකු ගැටලුවකට මුහුණපාල සිටියේ. දවසින් දවස අපේ රටේ ආනයන වියදම වැඩි වෙලා අප නයන වියදම පහළ ගියා. එයින් ඇති වුණ ණය ගෙවන්න විශාල ණය ප්‍රමාණයක් ගන්න සිදුවෙලා තිබෙනවා. පසුගිය රජය කාලයේ තව තවත් ණය ප්‍රමාණය වැඩි වුණා. මේ දේවල් ගෙවන්න නම් අපි සියලු දෙනා කැප කිරීම් සිදුකරන්නන වෙනවා. ඒ වගේම මේ වෙනකොට ඇති වී තිබෙන කොරෝනා වසංගතය වලක්වා ගන්න සියලුදෙනාගෙම සහය දෙන්නත් කියා ඉල්ලා සිටිනවා.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා

පසුගිය කාලය තුළ විදේශයන්ගෙන් ආනයනය කරන ලද භෝග බොහෝ ප්‍රමාණයක් නතර කිරිමට වත්මන් රජය තීරණය කළා. මෙවර මහ කන්නයේදී බඩ ඉරිඟු වලින් අපි ස්වයංපෝෂිත කරනවා.අපගේ ඉලක්කය අපනයන ආදායම වැඩකිරීමයි. රුපියල් බිලියන සියය දක්වා අපගේ ආදායම වැඩිකිරිමයි අපගේ ඉලක්කය. පසුගිය කාලයේදී කරුන්කා ගෙඩිය පවා ආනයනය කළා. අපි ඒ සියල්ල නතර කරලා අපේ දේවල් රට යවනවා. මේ තත්ත්වය නිසා අපගේ ආදායම වැඩිකරනවා. එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් හැමදාම සිදුකළේ ගොඩක් දේවල් පිටරටින් ගෙනඒමයි. නමුත් අපගේ ප්‍රතිපත්තිය ඒක නෙවෙයි. කෘෂිකර්මාන්තයට අදාළ සියළු දේවල් වෙනුවෙන් අගය එකතු කිරිමට අපි අපේක්ෂා කරනවා. මෙතෙක් කාලයක් ගම්මිරිස් නිකම්ම රට යැව්වා. අපි අගය එකතු කරලා යවනවා. එක්සත් ජාතික පක්ෂ රජයන් සිදුකළ දේවල් කරන්න නෙවෙයි වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ.

නුවරඑළිය දිස්ත්‍රීක් මන්ත්‍රී එම් උදයකුමාර් මහතා (සජබ)

විදේශ ආයෝජන වැඩකිළ යුතුයි. ඒ වගේම ආයෝජන අවස්ථා පුළුල්කිරිම සඳහා සහන ලබාදිය යුතුයි. අපගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් නැහැ. දේශිය ආර්ථිකය ක්‍රමානුකූලව දියුණු කළ යුතුයි. අපනයන ක්ෂේත්‍රය දියුණු කිරිමෙන් තමයි අපගේ ආර්ථිකය දියුණු කළ හැක්කේ. ආනයනය කරන භාණ්ඩ කිහිපයකට වත්මන් රජය සීමාවන් පනවා තිබෙනවා. මේ නිසා තත්ත්වයෙන් බාල දේවල් අලෙවි වෙනවා. අදවනවිට ආර්ථික අර්බුද නිර්මාණය වී තිබෙනවා. ලෝක වෙළෙදපොල තුළ ඉන්ධන මිල අඩුවී තිබෙනවා. නමුත් අපගේ රටේ එම සහනය ජනතාවට ලබාදි නැහැ.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා

නිෂ්පාදන කටයුතු කිසියම් කෙනෙකු සිදු කරන්නේ නම් ඔවුන්ට අවශ්‍ය සියලු සහන මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙනවා. රටේ නිෂ්පාදන වැඩි කර විදේශ විනිමය මෙරටම ඉතිරි කර ගැනීමට තමයි අපි කටයුතු කරන්නේ. නිෂ්පාදන හෝ ආයෝජන කටයුතු සිදු කිරීමට කිසියම් පාර්ශ්වයක් අපේක්ෂා කරන්නේ නම් අදාළ පාර්ශ්ව විසින් ලිඛිත ඉල්ලීමක් මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කරන්න. වර්ෂ ගණනාවකට දේශීයත්වයට පණ දෙන යුගයක් නැවත නිර්මාණය වෙලා තිබෙනවා. නිෂ්පාදන සීමා කර පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරන්නට අපි කිසිවිටෙකත් කටයුතු කරන්නේ නැහැ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

රාජ්‍ය ඇමැති සේමසිංහ මහතා

මෙරට ගොවියාට, නිෂ්පාදකයාට, ව්‍යවසායකයාට ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා. කිසිවෙකුත් අපහසුතාවට පත් නොවන ආකාරයේ ප්‍රතිපත්ති නිර්මාණය කරමින් ඔවුන් සාර්ථකත්වයට ගෙනයාම අපේ උත්සාහය වෙනවා. මහින්ද මහතා රට පාලනය කරන අවස්ථාවේ ලෝකයේ තෙල්, ආහාර, මුදල් අර්බුදවලට මැදි වෙන්න සිදු වුණා. යුද්ධයක් කරද්දිත් කඩා නොවැටී රට ඒ කාලයේ ඉදිරියට ගෙන ගියේ රටට හිතැති ආර්ථික ප්‍රතිපත්ති නිසයි. වැරදි පූර්වාදර්ශ කිහිපයක් සභාව තුළ නිර්මාණය කිරීමට විපක්ෂය කටයුතු කරනවා. ලෝකයේ කුමන අර්බුදයක් පැවැතියත් මේ වසර අවසන් වන විට සියයට 1.5 ක ආර්ථික වර්ධන වේගයක් අපි සාක්ෂාත් කර ගන්නවා. සංවර්ධන ව්‍යාපෘති නැවතත් ශක්තිමත් කරනවා. ආර්ථිකමය ලෙස අර්බුදයක් නොමැති බව ඉතාම වගකීමෙන් කියනවා. මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමක තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (07) උදෑසන 10.00ට නැවත රැස් වේ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න