බොදුනු කිතුනු ඉස්ලාම් වෙසක් සැමරුම | දිනමිණ

බොදුනු කිතුනු ඉස්ලාම් වෙසක් සැමරුම

අසේල කුරුළුවංශ

වෙසක් උත්සව සැමරුමට සෙසු ආගමිකයින් සම්බන්ධ වූ ආකාරයට සිංහල බෞද්ධ ජනතාවටද අනෙකුත් ආගමිකයන්ගේ ආගමික උත්සව සඳහා සම්බන්ධ වීමට පුළුවන.එම සමඟිය ගොඩ නැගීමේ වැඩි කාර්යභාරයක් ඇත්තේ දේශපාලනඥයන්ට හා ආගමික නායකයන්ටය.මේ සියලු කණ්ඩායම් පටු ලාභ අපේක්ෂාවලින් තොරව ඒ සඳහා යොමු වන්නේ නම් එය රටේ අනාගතයට ඉතා යහපත් වනු ඇත.

පාස්කු ඉරුදින මෙරට කතෝලික දේවස්ථාන හා ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පුපුරා ගිය මිනිස් බෝම්බවලින් සමාජයට ඇතිවූ බලපෑම සිද්ධියෙන් මාසයකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් මුළුමනින් මැකී ගොස් නොමැත.

තිස් වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් දෙමළ ජනතාව දෙස සැකයෙන් බලන්නට පුරුදු වී සිටි සිංහල ජනතාව දැන් එම සැකය මුස්ලිම් ජනතාව වෙත එල්ල කර තිබේ.සිංහල අලුත් අවුරුද්ද නිම වී සතියක පමණ කාලයක් තුළ එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ ගොඩනැගුණු අවිශ්වාසය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරීමද ප්‍රශ්නාර්ථයත් වූයේය.තොරණ හා දන්සල් සීමා කරන ලෙස දැනුම් දුන් රජය මෙවර වෙසක් සමරුම ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය ලබා දී සිදු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.අන්තවාදීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මිය යන්නට ගිය වෙසක් උත්සවය යළි පණ ගන්වා පෙරටත් වඩා ශක්තිමත්ව නඟාසිටුවන්නට මෙරට ජනතාව ක්‍රියා කරනු ලැබූහ.ගමක්,නගරයක් පාසා සිදුකර තිබූ වෙසක් සැරසිලි ඊට කදිම උදාහරණයකි.පෙර අන් කිසිදු වර්ෂයක නොතිබූ ආකාරයේ උද්දීපනයක් මෙවර වෙසක් උත්සවයේදී දක්නට ලැබිණි.

වෙළෙඳ තරගය

බෞද්ධයාගේ පරම පූජනීය දිනය වෙසක් පෝයයි.ආගමික වැදගත්කමට අමතරව මෙරට ඉතිහාසය තුළද වෙසක් උත්සවයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.බෞද්ධාගමට අනුව සෑම පුන් පොහෝ දිනයකටම අදාළ වැදගත් සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් ඇත.අදාළ දිනයේදී බෞද්ධයන් ආගමික වතාවත්වල නිරත වන්නේ මෙම සිදුවීම් මෙනෙහි කරමිනි.වසරක් තුළ ගෙවී යන පුන් පොහෝ දින සියල්ල අතරින් බුදුන්ගේ ඉපදීම,බුදුවීම හා පිරිනිවන් පෑම සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සුවිශේෂ ය. තෙමඟුල සිහි කරමින් බෞද්ධයෝ වෙසක් පුන් පොහෝ දිනය උත්සවාකාරයෙන් සැමරීමට පුරුදුව සිටිති.ශ්‍රී ලංකාව බහුවාර්ගික රටක් වුවද රටේ අන්‍යන්‍යතාව ගොඩ නැගී තිබෙන්නේ බෞද්ධාගමික සන්දර්භය තුළය.

දෙවන පෑතිස් රජ දවස මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට බුදුදහම ගෙන ඒමත් සමඟ ශ්‍රී ලාංකීය ජනගහණයෙන් අති බහුතරය සිංහල බෞද්ධයන් බවට පත්වූහ.බුදු දහම මේ රටේ සමාජ ව්‍යුහය තුළ අන් සියලු ආගම්වලට වඩා තදින් මුල්බැස තිබෙන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.මේ නිසාම අපේ ජාතික සම්ප්‍රදාය,ජාතික චින්තනය ආදි සියල්ල පදනම්ව පවතින්නේ බුදු දහමට අනුගතවය.ඒ තුළ සෙසු ආගමිකයින්ට නිදහසේ වැඩෙන්නට ඉඩ ප්‍රස්තාව පවතී.කරුණාව,දයාව,මෛත්‍රිය වැනි ගුණාංගවලින් පෝෂිත බුදු දහම තුළින්ම එම නිදහස් පරිසරය සමාජය තුළ නිර්මාණය කර දී තිබෙන්නේය.මෙම පසුබිම තුළ අපේ අන්‍යන්‍යතාව මූර්තිමත් කරන්නා වූ ජාතික උත්සවය ලෙස වෙසක් හඳුනා ගැනීම වරදක් නැත.ආගමික අර්ථයෙන් පමණක් ඒ දෙස නොබලා ජාතික උත්සවයක් ලෙස සලකා ඒ දෙස බැලීමට අප උනන්දු විය යුතුය.එම හැඟීම මෙවර වෙසක් උත්සවයේදී තරමක් දක්නට ලැබිණි.එහෙත් සිංහල බෞද්ධ ජනතාව එය කළේ ඒ පිළිබඳ අවබෝධයකින් නොවේ.මුස්ලිම් ජනතාවට පෙනෙන්නට හා ඔවුන්ට රිදවීමට වෙසක් මහ ඉහළින් සමරන්නට බෞද්ධ ජනතාව අතරින් පිරිසක් පියවර ගත් බව ද අකමැත්තෙන් වුවද කිව යුතුව තිබේ.

පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ අති වූ තත්ත්වය හේතුවෙන් වැඩිම හානියක් සිදු වූයේ මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට ය.මුස්ලිම් ජනතාව ව්‍යාපාර අංශයට දක්ෂය. ඒ බව ඔවුන් මෙරටදී පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින්ද ඔප්පු කර පෙන්වා තිබේ.මෙරට මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ආයතනවලින් වැඩිම මිලදී ගැනීම් සිදු කරන්නේ සිංහල ජනතාව ය.සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වන රටක එම පිරිස අමතක කර ලාභ ලබන ආකාරයෙන් ව්‍යාපාර පවත්වාගෙන යන්නට සුළු ජාතිකයින්ට කිසිදු අවස්ථාවක් නැත. මෙරට මුස්ලිම් ජනතාව මෙය හොඳින් තේරුම්ගෙන කටයුතු කරන ස්වරූපයක් දක්නට ලැබෙන අතර අටපිරිකර සකස් කිරීම වැනි මුළුමනින්ම බෞද්ධාගම හා සම්බන්ධ ව්‍යාපාරවලට පවා ඔවුන් යොමු වීම තුළින් එය පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන.සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය,ඇසළ පෙරහර,නත්තල ආදි ඕනෑම උත්සව අවස්ථාවකදී පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව තේරුම්ගෙන ඉල්ලුමට සරිලන සැපයුම කරන්නට මුස්ලිම් ව්‍යාපාරිකයන් දක්ෂය.

වෙසක් උත්සව සමයේ විවිධ සැරසිලි කරමින් වෙසක් අසිරිය වර්ණවත් කරන්නට බෞද්ධ ජනතාව දක්වන්නේ මහත් උනන්දුවකි.එම අවශ්‍යතා සපුරාලීම පිණිස අවශ්‍ය භාණ්ඩ බොහොමයක් ආනයනය කරනු ලබන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ය.තොග වශයෙන් ඔවුන් මෙරටට ආනයනය කරන වෙසක් සැරසිලි භාණ්ඩ මහ පාරේ හෝ කුඩා ව්‍යාපාරික ස්ථානයක සිට අළෙවි කරනු ලබන්නේ සිංහල ජාතික‍යකු වීමට පුළුවන.ඔහුගෙන් භාණ්ඩ මිලට ගන්නා සිංහල බෞද්ධයා මේ වෙළෙදාමේ මුල්ම පුරුක මුස්ලිම් ජාතිකයකු බව දැන සිටින අවස්ථා ඉතා විරලය. පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයට පෙර හලාල් ප්‍රශ්නය,දිගන ගැටුම,මාවැනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම වැනි සිදුවීම් සමඟ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන්නට කිසියම් පිරිසක් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.එසේ වුවත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ සිංහල අන්තවාදී කොටස් අපේක්ෂා කළ දේ යම් ආකාරයකට ඉෂ්ඨ සිද්ධ වෙන බවක් පෙනෙන්නට තිබිණි.එකම භාණ්ඩය එක් අවස්ථාවකදී මුස්ලිම් ජාතිකයකුත් තවත් අවස්ථාවකදී සිංහල ජාතිකයකුත් අළෙවි කරන අවස්ථා තිබේ.මේ අනුව පැහැදිලි වන එක් ප්‍රධාන කරුණක් වන්නේ ව්‍යාපාරික ස්ථානවලට නොගොස් මුස්ලිම් ජනතාවට රිදවන්නට සිංහල ජනතාව උත්සාහය කරන්නේ නම්, එමගින් ඔවුන්ට නොදැනිම ඔවුනටම රිදෙන අවස්ථා නිර්මාණය වන බවයි.

මේ සියළු කරුණු තිබියදීම වෙසක් උත්සව සැමරුමට සිංහල බෞද්ධ ජනතාව සමඟ ඉස්ලාම්,හින්දු හා කතෝලික ජනතාවද අත්වැල් බැඳගත් අවස්ථා මෙවර වෙනදාට වඩා අපි දුටුවෙමු.ඇත්තවශයෙන්ම එය ඉතා සුබදායක තත්ත්වයකි.මෙම තත්ත්වය ඉදිරි වසර වලදීත් මේ ආකාරයෙන් පවත්වා ගෙන යෑම ඉතා වැදගත්ය.ඒ සඳහා සිංහල බෞද්ධ ජනතාවගේ පැත්තෙන් ඉටුවිය යුතු දේ ද තිබේ.සිංහල බෞද්ධ ජනතාව මෙන්ම කතෝලික,හින්දු හා ඉස්ලාම් භක්තිකයින්ද ඔවුන්ගේ ආගමික හෝ වෙනත් උත්සව සමරති.වෙසක් උත්සව සැමරුමට සෙසු ආගමිකයින් සම්බන්ධ වූ ආකාරයට සිංහල බෞද්ධ ජනතාවටද අනෙකුත් ආගමිකයන්ගේ ආගමික උත්සව සඳහා සම්බන්ධ වීමට පුළුවන.එම සමඟිය ගොඩ නැගීමේ වැඩි කාර්යභාරයක් ඇත්තේ දේශපාලනඥයන්ට හා ආගමික නායකයන්ටය.මේ සියළු කණ්ඩායම් පටු ලාභ අපේක්ෂාවලින් තොරව ඒ සඳහා යොමු වන්නේ නම් එය රටේ අනාගතයට ඉතා යහපත් වනු ඇත.අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයත් සමඟ රටේ බොහෝ ක්ෂේත්‍රවල කඩා වැටීමක් දක්නට ලැබිණි.ඒ සියල්ල මැද සිදු වූ යහපත් දේද තිබේ.ඉන් ප්‍රධාන වන්නේ ආගමික නායකයින් අතර එකමුතුවක් ගොඩ නැගීමය.සැබෑ හතුරා කවුද ? ඔහු පරාජය කළ හැක්කේ කෙසේද? යන කාරණා සම්බන්ධයෙන් ආගමික නායකයෝ අවස්ථා ගණනාවකදී ප්‍රකාශ හා නිවේදන නිකුත් කළහ.මහ නාහිමිවරු ප්‍රමුඛ මහසංඝරත්නය,කාදිනල්තුමා,හින්දු ආගමික නායකයින් මෙන්ම මවුලවිවරුන්ද එක මතයක පිහිටා කටයුතු කිරීම තුළ සිදුවන්නට ගිය මහ ව්‍යසනයක් වැළකී ගියේය.මෙම ආගමික සමඟිය අඛණ්ඩව පවත්වා ගෙන යෑම ට වග බලා ගැනීම සියල්ලන්ගේ දවසේ වගකීම බව මතක් කළ යුතුය.

ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය විසින් මෙම සිදුවීම් පෙළ දේශපාලන වාසි සඳහා යොදා ගැනීම සිදු කරනු ලැබීය.මෙරට ජාතික ප්‍රශ්නයක් මතුව තිබෙන මොහොතක එය උපයෝගි කර ගනිමින් දේශපාලනය කිරීම පිළිබඳ ඉතිහාසය ඉංග්‍රීසි පාලනයෙන් මිදුණු මුල් යුගය දක්වාම දිවයයි.ජාතියක් ලෙස අපට තාමත් එම තත්ත්වයෙන් ගොඩඒමට නොහැකි වීම අවාසනාවකි.අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් අති දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර මහා විනාශයක් සිදු කර තිබියදීත් ඉදිරියේ පැමිණීමට නියමිත මැතිවරණ පිළිබඳ සිතා දේශපාලන නායකයින් හා පක්ෂ තීන්දු තීරණ ගැනීමට උත්සාහ කරන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල අන්තවාදය අවුස්සා දේශපාලන වාසි ගන්නට උත්සාහ කරන පිරිසක් මෙන්ම ඉස්ලාම් අන්තවාදය පරාජය කළ හැක්කේ සිංහල අන්තවාදය අවුස්සා යැයි සිතන පිරිසක්ද සිටිති.පාස්කු දින ප්‍රහාරයෙන් සති තුනකට පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිදුවීම් පසුපස සිටින්නේ මෙම බලවේගයන්ය.මොවුන්ගේ ක්‍රියාහේතුවෙන් සිදු වන්නේ ජාත්‍යන්තර වශයෙන් අප කෙරහි එල්ල වී තිබෙන අනුකම්පාව අහෝසිවී ගොස් ඔවුන්ගෙන් ලබාගත හැකි සහයෝගයද අහිමි වීමය.මෙය දැන මෙන්ම නොදැන කරන පිරිසක්ද සිටින අතර දැන කරන පිරිස පාලනය කිරීමත් නොදැන කරන පිරිස දැනුවත් කිරීමත් රජයේ වගකීමය.

සැබෑ සමගිය

තිස් වසරක ත්‍රස්තවාදී සටන පරාජය කිරීමෙන් පසු ජාතික සමඟිය ගොඩනැගීම පිණිස නොයෙක් ආකාරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක විණි.මේවා සඳහා රජය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන විසින් ද අති විශාල මුදලක් වැය කර තිබුණද යහ පාලනය,සිංහිඳියාව වැනි වචන ඇසෙන විටත් ජනතාවගේ මුවඟට සිනහවක් එන තත්ත්වයකට අද රට පත්ව තිබේ.එයට ප්‍රධාන හේතුව අදාළ වැඩසටහන්වලින් අපේක්ෂා කළ අරමුණු ඉටු වී නොමැති වීමය.වෙසක් උත්සවය ඉස්ලාම් බැතිමතුන් දන්සල් දීමෙන් හෝ රාමසාන් උපවාස සමයේ ඉස්ලාම් බැතිමතුන් උපවාස කාලය අත් හැරීම විහාරස්ථානයක් තුළ සිදු කිරීමෙන් ජාතික සමඟිය ගොඩ නැගේ යැයි සිත්න්නේ නම් එය ද මුළාවකි.

ජාතීන් වශයෙන් මිනිසුන් මතු පිටින් ලෝකයට පෙනෙන්නට එකතු වීමට වඩා වැදගත් වන්නේ ඔවුන් හදවතින් එකට බැඳීමය.ඒ සඳහා වන පසුබිම සංහිඳියා වැඩසටහන් තුළින් සකස් වුණේද යන්න ප්‍රශ්නයකි.එසේ සිතන්නට අපට සිදුව තිබෙන්නේ ජාතීන් අතර ගැටුමක් නිර්මාණය කරන්නට අවශ්‍ය නම් ඕනෑම අයකුට එය පහසුවෙන් කළ හැකි තත්ත්වයක් සමාජය තුළ දක්නට ලැබෙන බැවිනි.අද වනවිට සිංහල ජනතාව මුස්ලිම් ජනතාව දෙසද මුස්ලිම් ජනතාව සිංහල ජනතාව දෙසද බලන්නේ සැකයෙනි.

රැවුල වවා සිටි ඇතැම් සිංහල තරුණයෝ පසුගිය දිනවල රැවුල් කපා දැමුවේ රැවුලට තිබූ ආසාව පහව යාම නිසා නොව රැවුල්කාරයන් ආරක්ෂක අංශවල වැඩි පරීක්ෂාවට ලක් වූ නිසාය.එවැනි තත්ත්වයක් රටේ තිබියදී ඇතැම් දේශපාලනඥයින් රැවුල ගිනි අරන් තිබියදී ඉන් සුරුට්ටු පත්තු කිරීමට යන බව දක්නට ලැබීම කනගාටුවට කරුණකි.

නව අදහස දක්වන්න