පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක මෙහෙයුම් අත්හිටුවයි - UPDATE | දිනමිණ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක මෙහෙයුම් අත්හිටුවයි - UPDATE

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක රුපියල් මිලියන 134ක මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මීට අමතරව සැකකරුවන්ගේ රුපියල් මිලියන 14ක වත්කම් සොයාගත් බව ද ඔහු සදහන් කළේය.

පාස්කු ප්‍රහාර සැකකරුවන්ගේ ගිණුම් 41ක මිලියන 134ක් තහනම්

* තවත් මිලියන 14ක් සීඅයිඩීය යටතට 
* ප්‍රහාරයට සැක පහක් අල්ලා ගනී

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යටතේ සිටින ත්‍රස්තවාදීන්ගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි බැංකු ගිණුම් 41ක ඇති මුදල් රුපියල් මිලියන 134ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, ඊට අමතරව මිලියන 14ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර ගෙන තිබේ.

මරාගෙන මැරුණ බෝම්බකරුවන් සතුව තිබූ මිලියන ගණනක මුදල් සහ සංවිධානය සතුව තිබූ බිලියන හතක මුදල්වලට අමතරව මේ නීති විරෝධී ත්‍රස්ත මුදල් අදාළ පරීක්ෂණ ඔස්සේ සොයාගෙන ඇත.

මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් මේ සංවිධානයට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයත් පරීක්ෂණ සිදු කරගෙන යන අතර, මේ වන විට එම සංවිධානයට මුදල් ලබා දුන් පිරිසක් සම්බන්ධයෙන් සහ විදෙස් රටවලින් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයට ලැබුණු මුදල් සම්බන්ධයෙන් ද පරීක්ෂණ අංශ තොරතුරු රැසක් සොයාගෙන ඇත. මේ සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර, තව දුරටත් මේ ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර හෙළි කර ගත යුතු කරුණු රැසක් පවතින බව ද එම පරීක්ෂණ අංශ සඳහන් කරයි.

මේ අතර පසුගිය 21පාස්කු බෝම්බ පුපුරුවා හැරීමට සම්බන්ධ යැයි සැක කරන පස්දෙනකු හොරොව්පතාන පොලිස් වසමෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත‍.හොරොව්පතාන හිජ්රාපුර කැබතිගොල්ලෑව ප්‍රදේශයේ තිදෙනකු සහ කියුලේකඩ අතුළු ප්‍රදේශවලින් පස්දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිරිස අතරින් එක් අයකු ප්‍රාදේශීය සභාවක සංවර්ධන නිලධාරියකු ලෙස කටයුතු කර ඇත. මේ පිරිස ත්‍රස්ත සංවිධානයට සම්බන්ධවී එම සංවිධානයේ කටයුතුවල යෙදී සිට ඇති බවට මේ වන විටත් තහවුරු වී ඇති අතර, පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ සිදු කරගෙන යයි.

විජයානි එදිරිසිංහ

නව අදහස දක්වන්න