දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන අවාසනාව | දිනමිණ

දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන අවාසනාව

ක්‍රිකට් යනු පිත්තත් පන්දුවත් අතර කෙරෙන ක්‍රීඩාවකි. එහෙත් එහි ජය සහ පරාජයට වාසනාවද අනිවාර්යය සාධකයකි. කෙතරම් දක්ෂ කණ්ඩායමක් වුවද එම කණ්ඩායම වාසනාවන්ත නොවන්නේ නම් ලැබෙන ප්‍රතිඵල වේදනාත්මකය. ලෝක කුසලානයට පෙර ලියැවෙන මේ සටහනට පාදක වන්නේද ලෝක කුසලාන තරගාවලියන් හිදී ඉහතින් කී අවාසනාව නිසාම කුසලාන අහිමි වූ කණ්ඩායමක් පිළිබඳවය. ඒ දකුණු අප්‍රිකාවයි.

වර්ණභේදවාදය හේතුවෙන් වසර ගණනාවක් තරග තහනමට ලක්ව සිටි දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දොරගුළු ඇරෙන්නේ 1991 වසරේදීය. නොකඩවා ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑමට නොහැකි වුවද දකුණු අප්‍රිකාව යනු ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමකි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීම් ලෝකයට හඳුන්වා දුන් දවසේ පටන් පළමු ස්ථාන 3 අතර නිරන්තයෙන්ම වැජඹීමට දකුණු අප්‍රිකානු පිල සමත් වී සිටියි.

එසේ ලේසියෙන් පරාජය කළ නොහැකි කණ්ඩායමක් ලෙසින් නමක් දිනා සිටියද දකුණු අප්‍රිකාවට ලෝක කුසලාන තරගාවලිදී නම් පවතින්නේ දරුණු අපලයකි. ලෝක කුසලාන යට ගියාව පිළිබඳව හාරා අවුස්සා බැලීමේදී ඒ පිළිබඳව වූ නිදසුන් ඕනෑ තරම් අපට හමුවනු ඇත.

ඒ දුවද්දී දැවී යෑම නොවන්නට...

ලෝක කුසලාන තරගාවලිය යනු දකුණු අප්‍රිකාවට අබමල් රේණුවක හෝ වාසනාවක් රහිත කණ්ඩායමක් බව ලොවට එත්තු ගිය තරගය බවට පත්වූයේ 1999 වසරේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති අවසන් පූර්ව තරගයයි. එක්දින ක්‍රිකට් පිටියේ තියුණුම තරගයක් ලෙසින් අවිවාදයෙන්ම පිළිගැනෙන මේ තරගය, 1999 වසරේ ජුනි 17 වැනිදා එංගලන්තයේ එජ්බැස්ටන් හිදී පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු පිලේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාවට දකුණු අප්‍රිකානු පන්දු යැවීම හමුවේ පන්දුවාර 49.2කදී සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 213ක් පමණි. ඒ වෙනුවෙන් නායක ස්ටීව් වෝ ලකුණු 56ක් සහ මයිකල් බෙවන් ලකුණු 65ක් රැස් කරද්දී ෂෝන් පොලොක් කඩුලු 5ක් සහ ඇලන් ඩොනල්ඩ් කඩුලු 4ක් බිඳ හෙලුහ.

ලකුණු 214ක ඉලක්කයක් වුවද එය හඹා යෑම දකුණු අප්‍රිකානු පිතිකරුවන්ටද එතරම් පහසු වූයේ නැත. කඩුලු එකින් එක දැවී ගියද අවසන් අවසන් පන්දුවාරයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට රැස් කරගත යුතුව තිබුණේ ලකුණු 09ක් පමණක් වන අතර, එවර තරගාවලියේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූ ලාන්ස් ක්ලූස්නර් ඒ වන විට කඩුල්ලේ රැඳී සිටියේය. වසර එකහමාරක පමණ කාලයක සිට පසු පෙළින් පැමිණ ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළුණු ක්ලූස්නර් නොතිබූ ජයග්‍රහණ කරා දකුණු අප්‍රිකානු පිල රැගෙන ඒමට සමත්වූ පිතිකරුවකු බවට පත්ව සිටීම නිසා පන්දු 6කදී ලකුණු 09ක් යනු දකුණු අප්‍රිකාවට කජු කන තරමේ පහසු විය.

ඩේමියන් ෆ්ලෙමින් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකටම හතරේ පහර 2 ක් එල්ල කළ ක්ලූස්නර් තරගය සම තත්ත්වයට ගෙන එන ලද්දේ දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය වෙනුවෙන් හුරේ දැමු ක්‍රීඩා ලෝලීන් සියල්ලම අමන්දානන්දයට පත් කරමිනි. කිසිම වාසියක් ඔස්ට්‍රේලියාවට ඉතිරි නොවූ එම පහර 2 ත් සමඟ දකුණු අප්‍රිකානු ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූවේ එක් ලකුණක් පමණක් වන අතර ඒ සඳහා පන්දු 4 ක්ම ඉතිරිව තිබුණි. යවන ලද තෙවැනි පන්දුවට ලකුණක් ලබා ගැනීමට නොහැකි වුවද පන්දු යැවූ අන්තයේ සිටි ඇලන් ඩොනල්ඩ් දුවද්දී දැවී යෑමකට ගොස් අනූ නවයෙන් බේරුණේ මිඩ් ඕන් කලාපයේ පන්දු රැකී ඩැරන් ලීමන්ගේ ඉලක්කය වැරදී යෑමෙනි.

මේ ගිලිහී යන්නේ තමන්ට පහසුවෙන්ම සුදුසුකම් ලබාගැනීමට තිබූ ලෝක කුසලාන අවසන් මහ තරග වරම නේදැයි හීල්ලීම පමණක් ඔස්ට්‍රේලියානුවන්ගේ හදවත් තුළ මෝදු වද්දී සිවුවැනි පන්දුවට පහරක් එල්ල කළ ක්ලූස්නර් ලකුණක් කරා වේගයන් දිව ආවද අනෙක් අන්තයේ සිටි ඩොනල් ඊට ප්‍රතිචාර නොදැක්වීය. කළින් පන්දුවට දුවද්දී දැවී යෑමකට ලක්වීමට ගොස් බේරීමෙන් චකිතයට පත්ව සිටි ඩොනල්ඩ් වඩාත් සුරක්ෂිත වීමේ අරමුණු කොට සිය අන්තය ආරක්ෂා කර ගැනීමට සැරසුණද ක්ලූස්නර් තම අන්තයද පසුකර තිබීම හේතුවෙන් අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවී යෑමකට ලක්වූවේය. දෙපිළේ ලකුණු සමව අවසන් වුවද සුපර් සික්ස් තරග වටයේදී දෙපිළ මුණ ගැසුණු අවස්ථාවේදී දකුණු අප්‍රිකාව පරදා ඔස්ට්‍රේලියාව ජය වාර්තා කිරීමට සමත්වී සිටීම නිසා දකුණු අප්‍රිකානුවන් හඬවා ඔස්ට්‍රේලියාව අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගත්තේය.

එක් පන්දුවකට ලකුණු 22ක් ලැබුණු හැටි

දෙවැනි වතාවටත් ජාත්‍යන්තරයේ වේදිකාව නිර්මාණය වූ 1992 තරගාවලිය දකුණු අප්‍රිකාවට ආභරණයක් බඳු තරගාවලියක් විය. ලැබුණු අවස්ථාවේදී උපරිම දක්ෂතා දක්වමින් කුසලාන දිනා ගැනීමේ බලාපොරොත්තු ඇතිව පන්දු යැවීම, පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීමේ කෞෂල්‍යා උපරිම විදහා දක්වමින් අපහසුවකින් තොරවම අවසන් පූර්ව තරග අවස්ථාවට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාවට හැකිවිය. එංගලන්තය සමඟ යෙදී තිබූ එම තරගයේදී ජයග්‍රහණය හඹා ගිය දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා එක් අවස්ථාවකදී පන්දු 13කට ලකුණු 22ක් ලබාගත යුතුව තිබිණ. දෙපිළටම තීරණාත්මක අවස්ථාවක් බවට පත්වූ එම අවස්ථාවේදී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තාවකාලිකව නතර කෙරුණු අතර නැවත තරගාරම්භයේදී දකුණු අප්‍රිකානු පිලේ නව ඉලක්කය බවට එක් පන්දුවකට ලකුණු 22ක් ලබාගත යුතු විය. ඔස්ට්‍රේලියානු ගණිතඥයින් දෙපළක් විසින් සකසන ලද ක්‍රමයක් එම තරගාවලියේදී භාවිතයට ගැණුනු අතර ක්‍රමවේදයට අනුව එය නිවැරදි ඉලක්කයක් විය. සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම නිරුත්තරත්වයට පත්වූ සිදුවීමක් බවට පත්වූ එම තීන්දුව බොහෝ දෙනා එය හඳුන්වන ලද්දේ කැකිල්ලේ තීන්දුවක් බවට පත්වූවක් ලෙසිනි. කෙසේ වෙතත් එංගලන්තයට අවසන් මහ තරග අවස්ථාව ලබා දෙමින් අකමැත්තෙන් වුවද සිය රට බලා යෑමට දකුණු අප්‍රිකාවට සිදුවිය. මේ සිදුවීම හරහා ප්‍රායෝගිකව වඩාත් ගැලපෙන, දෙපිළටම එක සේ සාධාරණ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙන්ම සමස්ත ක්‍රිකට් ප්‍රජාවටම දැනිණ. ඩක්වර්ත් ලුවිස් යනුවෙන් දැන් භාවිතායට ගැනෙන ක්‍රමවේදය බිහිවන්නේ ඒ හරහාය.

ඩක්වර්ත් ඇන්ඩ් ලුවිසුත් හරහට හිටියි

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැති 2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ බී කාණ්ඩ යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙපිළටම තීරණාත්මක තරගයක් විය. ඩර්බන්හි පැවැති මෙම තරගයට පෙර ශ්‍රී ලංකා පිල අනපේක්ෂිත අයුරින් කෙන්යාව හමුවේද දකුණු අප්‍රිකානු පිල නවසීලන්තය හමුවේද පරාජයට පත්ව තිබීම නිසා තරගාවලියේ ඉදිරියට යෑමට දෙපිළටම තරගයේ ජයග්‍රහණය තීරණාත්මක විය.

තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 268ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ මාවන් අතපත්තු ලකුණු 126ක් ලබා ගනිද්දී අරවින්ද ද සිල්වා ලකුණු 73ක් ලබා ශ්‍රී ලංකා ඉනිම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ. මේ ඉලක්කය හඹා යෑමේදී ආරම්භක පිතිකරු හර්ෂල් ගිබ්ස් ලකුණු 73ක් ලබා ගනිමින් සත්කාරක දකුණු අප්‍රිකාවට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන්නේය. මාක් බවුචර් සහ නායක ෂෝන් පොලොක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නඟා කඩුලු 6කට ලකුණු 212ක් දක්වා දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමූ නමුත් මුරලිදරන්ගේ දක්ෂ පන්දු රැකීමක් හමුවේ පොලොක් දුවද්දී දැවී යෑමෙන් තරගය කණ පිට හැරිණ.

ඒ වන විට තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන තත්ත්වයක් දිස්වූ බැවින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුල්ලක් බිඳී ගියහොත් එය දකුණු අප්‍රිකාවට දරුණු පාඩුවක් බවට පත්වවීමේ ප්‍රවණතාවක් තිබුණි. එබැවින් පොලොක්ගේ දැවී යෑමෙන් පසු බවුචර්ට එක්වූ ලාන්ස් ක්ලූස්නර් මේ නිසා ලකුණු ලබා ගැනීමට වඩා කඩුලු රැක ගැනීමේ උත්සාහයක නියැළුණහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මුහුණ දුන් පන්දු 8 දී රැස් කරගන්නා ලද්දේ එක් ලකුණක් පමණි.

44 වැනි පන්දුවාරය අවසානවත්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩා ගාරයෙන් පණිවිඩයක් පැමිණියේය. බවුචර් වෙත ආ ඒ පණිවුඩයේ සඳහන් ව තිබුණේ 45 වැනි පන්දුවාරය වන විට ලකුණු 229 ක් ලකුණු පුවරුවේ සටහන් වුවහොත් තරගයේ ජය දකුණු අප්‍රිකානුවන් සතුවනු ඇති බවයි. කෙසේ වෙතත් 44 වැනි පන්දුවාරය යවන ලද රසල් ආනල්ඩ්ට එක් ලකුණක් පමණක් ලබා දෙමින් පන්දු වාරය අවසන් කිරීමට සමත්වීම ඊළඟ පන්දුවාරයට ලකුණු 13 ක් ලබා ගැනීමේ අභියෝගය දකුණු අප්‍රිකාව හමුවේ තිබිණ. එහෙත් මුරලිදරන් විසින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක 45 වැනි පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 13 රැස් කර ගැනීමට මාච් බවුචර් සමත්වූයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීය.

ක්‍රීඩා ගාරයෙන් පැමිණි පණිවිඩයට අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව ඒ වන විටත් ඉක්මවා සිටි බැවින් අවශ්‍ය වන්නේ කඩුල්ල ආරක්ෂා කර ගැනීම නිසා මුරලිදරන් එවන ලද ඉතිරි පන්දුවට ආරක්ෂාකාරී පහරක් එල්ල කළ බවුචර් කඩුල්ල රැක ගත්තේය. එහෙත් සැබැවින්ම 45 වැනි පන්දුවාරය අවසන් වන විට දැවී ගොස් තිබූ කඩුලු 6 ට අනුව දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 230 ක් බවට වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව සිදුකරන ලද ලකුණු ගණනය කිරීමේදී එක් ලකුණක එහා මෙහා වීමක් දකුණු අප්‍රිකානුවන් අතින් සිදුවී තිබීම නිසා එය ලකුණු සමවූ තරගයක් ලෙසින් ලෝක කුසලානය ඉතිහාසයට එක්විය. සමස්ත දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම නිසා සත්කාරකත්වය දරමින් ලෝක කුසලාන පළමු වටයෙන්ම ඉවතට විසිවූ ලොව පළමු රට බවට දකුණු අප්‍රිකානුවන් ඉතිහාසගත විය.

චමිල කරවිට

නව අදහස දක්වන්න