ඕමල්කගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල 26දා චීන තායිපේ යයි | දිනමිණ

ඕමල්කගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල 26දා චීන තායිපේ යයි

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි පිටියේ ළාබාලතම නායකයා බවට වාර්තා වන සී.ආර්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජයේ ඕමල්ක ගුණරත්න ආසියානු රග්බි පළමු කොටසේ ශුරතාවලියට සහභාගිවීමට සිය කණ්ඩායම සමග මේ මස 26දා චීන තායිපේ බලා පිටත්වෙයි. මීට පෙර ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කරමින් සිට පසුව පෞද්ගලික හේතුමත කණ්ඩායමෙන් ඉවත්වූ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩක රොෂාන් වීරරත්න ද යළි කණ්ඩායමට එක්වී සිටී.

මේ මස 31 සහ ජූනි මස 1 වැනිදා චීන තායිපේ නුවර පැවැත්වෙන ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව සමග චීන තායිපේ, සිංගප්පුරුව සහ පිලිපීනය තරග වදී. අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන රොෂාන් වීරරත්න නැවත කණ්ඩායමට එක්වීම මේ තරගාවලියට විශාල වාසියක් වනු ඇතැයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ උපසභාපති නසීම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

‘ඔහු සිය කැමැත්තෙන්ම නැවත කණ්ඩායමට එක්වීමට ඉදිරිපත්වුණා. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි ඔහුගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ. ඒ වගේම නැවත නායකත්වය ලබාගැනීම ගැන ඔහුගේ අදහසක් නෑ. ඕමල්කගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට ඔහු කැමැත්ත පළ කළා.’ නසීම් මොහොමඩ් සඳහන් කළේය.

චීන තායිපේ බලා පිටත්වන ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායම මේ වනවිට සුගතදාස ක්‍රීඩාංගණයේදී සිවුදින පුහුණු සැසියකට සහභාගි වෙමින් සිටී. පසුගිය සති කිහිපය පුරා කැපවීමෙන් යුතුව පුහුණුවීම්වල නිරතවූ ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ උපසභාපතිවරයාගේ විශ්වාසය වී තිබේ.

මේ අතර ප්‍රබල ක්‍රීඩකයකු වන කෙවින් ඩික්සන් ආබාධයක් හේතුවෙන් සංචාරයෙන් ඉවත්වීමට සිදුවී ඇත. ඒ හැරුණු විට සෙසු ක්‍රීඩකයන් ඉහළ ශාරිරික යෝග්‍යතාවයෙන් පසුවන අතර මැලේසියාවේ පුහුණු තරග සඳහා එක්වූ ක්‍රීඩකයන් 31ක් අතරින් අවසන් ක්‍රීඩකයන් 26 ඊයේ රාත්‍රී නම් කිරීමට නියමිතව තිබිණ.

ඉසිපතන විදුහලෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන 23හැවිරිදි වියෙහි පසුවන ඕමල්ක ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ළාබාලතම ක්‍රීඩකයා වන අතර පසුගියදා මැලේසියානු පුහුණු සංචාරයේදි ද කණ්ඩායමේ නායකත්වය දැරුවේය.

ඉසිපතන විදුහල් පළමුපිලට නායකත්වය ලබාදීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයට එක්වූ ඕමල්ක මේ වනවිට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටී. ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ මහනුවර ක්‍රීඩා සමාජයේ රොෂාන් වීරරත්න නායකත්වයෙන් සහ කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසුව එම තනතුරට පත්වූ ඕමල්ක පසුගියදා මැලේසියාවේ පැවැති පුහුණු තරගවලදී කැපී පෙනෙන දස්කම් පෑවේය.

ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය මැයි මස 31 වැනිදා පිලිපීනය සමග පැවැත්වෙන අතර අනෙක් තරගය සිංගප්පූරුව සහ චීන තායිපේ පිල අතර පැවැත්වෙයි. අවසන් මහා තරගය ජූනි මස 1 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙවර සංචාරයේදී ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් ලෙස නවසීලන්ත ජාතික මැට් ලී සහ විරාජ් ප්‍රසන්න කටයුතු කරන අතර ජාතික පිලේ හිටපු නායක ෆාසිල් මරිජා පසුපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

නව අදහස දක්වන්න