ශිල්ප අභිමානි ජනාධිපති හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනයට ශිල්පීන් දැනුවත් කිරීම දිස්ත්‍රික් මට්ටමින් | දිනමිණ

ශිල්ප අභිමානි ජනාධිපති හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනයට ශිල්පීන් දැනුවත් කිරීම දිස්ත්‍රික් මට්ටමින්

අමාත්‍යංශයේත්- ශිල්ප සභාවේත් අරමුණ ශිල්ප අභිමානි ප්‍රදර්ශනයේ ඉලක්කයටත් එහා ගිය දෙයක්
- නි. ඇමැති බුද්ධික පතිරණ

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ පුරෝගාමිත්වයෙන් ජාතික ශිල්ප සභාව එක්ව වාර්ෂිකව සංවිධානය කරන ශිල්ප අභිමානි ජනාධිපති හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය , 2019 වර්ෂයට සමගාමීව හස්ත කර්මාන්ත ශිල්පීන් දිස්ත්‍රික් මට්ටමෙන් දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

පළමුව එය ගාල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු බුද්ධික පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දින ගාල්ල කොටුව පරිශ්‍රයේ පිහිටි හෝල් දි ගෝල් ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි. මෙදිනම ද ජාතික ශිල්ප සභා දකුණු පළාත් කාර්යාලය පිහිටි සිප්නාරා ආයතනයේ එම පළාතේ ශිල්ප සංවර්ධන සමිති සදහා තම අලෙවි කටයුතු කර ගැනීමට හස්ත කර්මාන්ත අලෙවි මධ්‍යස්ථානය ද නියෝජ්‍ය අමාත්‍යතුමා හා ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි සතිස් බෝගොල්ලාගම මහත්මියගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

2019 වර්ෂයේ ශිල්ප අභිමානි ප්‍රදර්ශනය හා තරගයේ තේමාව ‘සම්ප්‍රදායේ අභිමානය යන්න‘ ය . මෙම ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඇති විද්වත් මඩුල්ලකගේ මැදිහත් වීමෙන් මෙම ශිල්පීන් දැනුවත් කිරීම සිදු කෙරේ. මේ සඳහා ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ලක්සල ආයතනය, අපනයන සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතන මගින් ද සම්පත් දායකත්වය ලබා දීම සිදු කරයි. මෙම වැඩසටහන ගිය වර්ෂවලට වඩා නව ආකාරයකින් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා , සභාපතිනි හේෂානි සතිස් බෝගොල්ලාගම මහත්මිය ඇතුළුව විද්වත් මඩුල්ල සමග හස්ත කර්මාන්ත ශිල්පීන්ට මේ සම්බන්ධව පැන නගින ගැටළු පිළිබඳ සංවාදාත්මකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම සිදු කරයි. මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් හා ශිල්පීන් හට පැන නගින ගැටළුවලට අදාල සෘජුවම දායකවන ආයතනවල නිලධාරින් ද ඇතුළුව ජාතික ශිල්ප නිලධාරීන් ද සහභාගී වී තිබිණි.

‘ශිල්පීන් දැනුවත් කිරීමේ උත්සව සභාව අමතමින් හස්ත කර්මාන්ත ශිල්පීන් හැටියට ඔබට යහපත් වූ ආර්ථික ශක්තියක්, ඒ වගේ නව දැනුම ලබා ගන්නටත් සංචාරක ක්ෂේත්‍රය හරහා අලෙවිකරණය ගැන අවබෝධයක් ලබා ගැනීමටත්, ‘ නවමු ලංකා‘ වැඩසටහන මඟින් ඔබට ප්‍රතිලාභ ලබා ගැනීමටත් අවස්ථාව උදාවෙලා තිබෙනවා. ගිය වර්ෂවලටත් වඩා මෙම වැඩසටහන ගැන විශේෂ අවධානයකින් කටයුතු කරනවා. මෙම වැඩසටහන සමඟ ශිල්පීන් ලියාපදිංචිය ද සිදු කිරීමට කටයුතු කරලා තිබෙනවා. මේ අකාරයෙන් අප අමාත්‍යංශයත්, ජාතික ශිල්ප සභාවත් බලාපොරොත්තු වන්නේ ශිල්ප අභිමානි ප්‍රදර්ශනයෙන් ඉලක්ක කරගත් දේටත් වඩා එහා ගිය දෙයක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු බුද්ධික පතිරණ මැතිතුමා පැවසී ය.

දැනුවත් කිරීමේ අවස්ථාවේදී ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි සතිස් බෝගොල්ලාගම මහත්මිය කියා සිටියේ ගිය වර්ෂයටත් වඩා ශිල්ප අභිමානි 2019 ප්‍රදර්ශනය හා තරගය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා මේ සඳහා ඉදිරිපත් වීම අපට විශාල භාග්‍යක් බවත්, ගිය වර්ෂයේදී ශිල්ප නවෝදා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකියාව ලැබුණු බවත්, මේ වසරේදි ද ශිල්ප අභිමානි 2019 ට සමගාමිව ශිල්ප නවෝදා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය පැවැත්වීමට සූදානම් කර ඇති බව ද ඇය තවදුරටත් පැවසීය.

සටහන- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න