ඇත්තෙත් නැත්තෙත් නැති වෙසක් | දිනමිණ

ඇත්තෙත් නැත්තෙත් නැති වෙසක්

ලෝක වාසී බොදු බැතිමතුන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉපිලෙමින් ආගමානුකූලව සහ උත්සවශ්‍රීයෙන් සමරනු ලබන වෛශාඛ්‍ය මංගල්‍යයට තව ඇත්තේ එක්දිනකි. ආමිසයට සහ ප්‍රතිපත්තියට සම තැන්දෙමින් දාන, සීල, භාවනා සමග පහන් කූඩු, තොරණ් සහ සැරසිලි සමග මහත් හරසරින් වෙසක් සැමරීම ශ්‍රී ලාංකික බොදුනුවන් ප්‍රමුඛ සමස්ත ජනතාව සෑම වසරක් පාසාම සිදු කරමින් පැමිණි අතර වෙසක් සඳහාම නිර්මාණය වන වෙළෙඳපොළක් ද ඒ ආශ්‍රිතව ගොඩනැඟුනි. වෙසක් පොහොයට සති කිහිපයකට පෙර සිටම රට පුරා සෑම ගමක් නගරයක් පාසාම වෙසක් සැරසිලි සඳහා උපයෝගී කරගන්නා පහන් කූඩු, බකට්, විදුලි පහන්, වෙසක් කාඩ් ආදී නොයෙක් භාණ්ඩ අලෙවි කිරීම සුලබ දසුනකි. ලංකාවේ සතර දිසාවටම මෙම භාණ්ඩ තොග වශයෙන් රැගෙන යන්නට බොහෝ පිරිස් පැමිණියේ පිටකොටුව පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණය වෙතටය. වසරේ සෑම සංස්කෘතික උත්සවයක් සඳහාම ඊට ආවේණික භාණ්ඩවලින් පිරී සැරසෙන පීපල්ස් පාක් මෙවරද වෙසක් සිරිය ගෙන තිබේ. හදිසියේ රටේ ඇති වූ අයහපත් වාතාවරණය මෙම වෙළඳපොළ කෙරෙහි කෙබඳු බලපෑමක් එල්ලකර තිබේදැයි සියලු ජාතීන් සහ ආගම් නියෝජනය කරමින් එහි වෙළෙඳාම් කටයුතු සිදු කරන වෙළෙඳ මහත්වරුන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළෙමු.

මොහොමඩ් බෂීර් මහතා,

“පසුගිය වසරවලට වඩා යම්කිසි අඩුවක් තිබුණත් එය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ගෙවී ගිය දවස් කිහිපයට වඩා දැන් වෙළෙඳාම හොඳයි. වෙසක් සැරසිලි සඳහා අවශ්‍ය බඩු අරගන්න බොහෝ පිරිසක් පැමිණියා. ලොකු පාඩුවක් සිදුවෙලා කියලා දැනෙන්නේ නැහැ.”

දේශප්‍රිය බුක් පබ්ලිෂර් හි බුද්ධික දේශප්‍රිය මහතා,

“පවතින තත්ත්වය මත වෙළඳාමෙහි ලොකු අඩුවක් තිබෙනවා. පාරිභෝගිකයන්ගේ කොළඹට පැමිණීමේ අඩුවක් පවතින නිසා විකුණාගන්න බැරිවෙයි කියන බියෙන් අපි මෙවර වෙසක් සැරසිලි භාණ්ඩ අඩුවෙනුයි ගත්තේ. වෙළෙඳ සංකීර්ණයේ ඉදිරිපස වෙළෙඳසල්වලට තරම් වෙළෙඳාමක් ඇතුලේ ඉන්න අපට කොහෙත්ම නැහැ. වෙන අවුරුදුවල මේ කාලෙට වෙසක් සැරසිලි ගන්න අතුරු සිදුරු නැතුව සෙනග. ඒත් මේ වසරේ එය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අපට ලොකු පාඩුවක් සිදු වුණා.”

පේදුරු නිකලස් මහතා,

“වෙසක් උත්සවයට අලෙවි කරගැනීම ඉලක්ක කර අපි භාණ්ඩ මිලදී ගන්නේ මාසයකට දෙකකට පෙර. මේ පාරත් අපි තොරණ, පහන් කූඩු සහ අනෙක් සැරසිලි සඳහා අවශ්‍ය භාණ්ඩ විශාල තොගයක් සූදානම්කර තිබුණා. නමුත් වෙළෙඳාම සම්පූර්ණයෙන්ම පාහේ අඩාළ වී ගිහින් තොරණ සහ විශාල ප්‍රමාණයේ පහන් කූඩු ඉදිකිරීමට අවශ්‍ය විදුලි පහන් ඇතුළු අමුද්‍රව්‍ය විකිණෙන්නේම නැහැ. මේ දේවල් දිගටම ගබඩා කර තියාගන්න ගබඩා ගාස්තු සමග අමතර වියදමකුත් දරන්නට සිදුවෙලා. රට ඉක්මනට යථා තත්ත්වයට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.”

පත්මදාසන් මහතා,

“වෙන අවුරුදුවලට වඩා බාගයකටත් වඩා අඩු වෙළෙඳාමක් තමයි තියෙන්නේ. මේ වසරේ වෙසක් සමරන්න තිබෙන දින ගණනත් වැඩි නිසා අපි වැඩි බඩු ප්‍රමාණයක් සූදානම් කළා. දැන් ඒවා තවදුරටත් ගබඩාකර තියාගන්න වෙලා. සවු කඩදාසි වගේ සමහර දේවල් දිගු කාලයක් තියාගන්න බෑ. දිරා යනවා සහ නැවුම් බව නැතිවී යනවා. ඉදිරියට එන දින දෙක තුනේ වත් වැඩි වෙළෙඳාමක් කර ගන්න ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. ”

පීපල්ස් පාක් හි වෙළෙඳ ප්‍රජාව සියලු ආගම් සහ ජාතීන් අතර සම්මිශ්‍රණයකි. වර්ගවාදයකින් තොරව සියලු දෙනා එකම ගැටලුවකට මුහුණ දී සිටිති. එය සමස්ත රටටම බලපාන කරුණක් බැවින් කඩිනමින් රට යථා තත්ත්වයට පත්විය යුතුය. එය සියලු දෙනාගේ ඒකායන අභිප්‍රායයි.

දිල්රූ ජයසේකර
පමුදිනී සමරසේකර
ඡායාරූප-චමින්ද නිරෝෂන්


නව අදහස දක්වන්න