යාපන ශිෂ්‍ය සංගම් සභාපති - ලේකම්ට ඇප | දිනමිණ

යාපන ශිෂ්‍ය සංගම් සභාපති - ලේකම්ට ඇප

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ ඇතුළු  පිරිසකගේ ඡායාරූප ළඟතබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස යාපනය මහෙස්ත‍්‍රාත් අන්තෝනිසාමි පීටර්පෝල්ඩි අද (16)  නියෝග කළේය.

සැකකාර ශිෂ්‍යයින් දෙදෙනා සෑම ඉරිදාවකම කෝපායි පොලිසියේ පෙනී සිටින ලෙසටද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහැරුණේ යාපනය විශ්ව විද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති නවරත්නම් දිවාකරන්(24)  හා එහි ලේකම් ශිවරාසා බදිල්රාජ්(23) යන සිසුන්ය.

යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මහ ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සහ ඇන්ටන් බාලසිංහම්ගේ රුවසහිත පෝස්ටර කිහිපයක් සමඟ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් පසුගිය(03) වැනිදා  කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවටගනු ලැබීය.

යාපනය යුද හමුදා සෙබලූන්,පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව මෙම සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක කෙරිණි.

තහනම් සංවිධානයක ඡායාරූප ළග තබා ගැනීම යන චෝදනා යටතේ සිසුන් දෙදෙනාට කෝපායි පොලිසිය විසින් චෝදනා ගොනුකොට තිබිණ.

අත්අඩංගුවේ පසුවන සිසුන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් පෙරේදා (15) පැය හතරකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාල ඉදිරිපිට විරෝධතාවකද නිරතවූහ.

නඩු විභාගය සැප්තැම්බර් 09 වැනිදා නැවත කැඳවීමට නියමිතය.


නව අදහස දක්වන්න