බෝම්බකරු කොච්චිකඩේට ගෙනා වෑන් රියේ හිමිකරු දැලේ | දිනමිණ

බෝම්බකරු කොච්චිකඩේට ගෙනා වෑන් රියේ හිමිකරු දැලේ

විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

කොච්චිකඩේ පල්ලිය අසළ බෝම්බ පිපිරවීමට ත්‍රස්තවාදීන් ප්‍රවාහනය කළ බවට සැක කරන සහ පසුගියදා විශේෂ කාර්ය බළකාය මගින් එම ස්ථානයට ආසන්න ප්‍රදේශයක තිබී සොයාගන්නා ලද වෑන් රථය මිලදි ගත් ත්‍රස්තවාදියා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු නවකාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් ආදම් ලෙබ්බේ නැමැති පුද්ගලයෙකි.ඊට අමතරව සහරාන්ගේ බිරිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරනු ලැබුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් පසුගිය දින කිහිපය තුළ යුද්ධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ මගින් සිදු කරනු ලබන ලද මෙහෙයුම් වලින් ත්‍රස්ත්‍රවාදීන්ට අයත් ඔවුන් සැගවී සිටි ආරක්ෂක කඳවුරු 17ක් සහ පුහුණු කඳවුරු 07ක්ද සොයාගෙන ඇති බවයි.

කටුවාපිටිය මීගමුව, සරික්කමුල්ල පානදුර, ශාන්ත අන්තෝනි පාර කොළඹ 03, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, වනාතවිල්ලුව, එඩේරමුල්ල වත්තල, කොළඹ 06 මයුර පෙදෙස, සයන්දමරුදු, මල්වාන, තිහාරිය කලගෙඩිහේන, කොච්චිකඩේ දළුවකොටුව, වාලච්චේන රිදියතැන්න, කුලියාපිටිය සුභාරතිපුර, හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර් සහ සමන්තුරේ යන ප්‍රදේශවලින් එම ත්‍රස්ත්‍රවාදීන් පාවිචිකළ ආරක්ෂිත ස්ථාන පිහිටා ඇති ස්ථාන සො‍යාගෙන තිබේ.

ත්‍රස්ත්‍රවාදී පුහුණු කඳවුරු සහ නොයෙකුත් කටයුතු සඳහා පාවිච්චිකළ ස්ථාන 07 වන්නේ වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, නුවර අරුප්පොළ, මල්වාන, කාත්තන්කුඩි හා වාලච්චේන යන ප්‍රදේශය.

මීට අමතරව අපරාධ පරික්ෂණදෙපාර්තමේන්තුව ත්‍රස්ත්‍රවාදී කොට්ඨාසය යටතේ ත්‍රස්ත්‍රවාදී 85දෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිති. ඔවුන් අතර 65දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්ත‍මේන්තුව යටතේ සිටිති. ඉන් 08දෙනෙක් කාන්තාවෝය‍. සහරාන්ගේ බිරියද ඔවුන් අතරට ඇතුළත් වෙන අතර ආරක්ෂාව පිණිස සහ කුඩා බිළිඳකු හෙයින් සහාරාන්ගේ දියණියද ඇය සමග සිටීමට ඉඩකඩ සලස්වා ඇති බව පැව‍සේ.

ත්‍රස්ත්‍රවාදී විමර්ශන කොට්ඨාසය යටතේ 20දෙනෙක් රඳවාගෙන සිටින අතර ඉන් දෙදෙනෙකු කාන්තාවෝය.

මීට අමතරව පසුගිය දින දෙක තුළ වයඹ ඇතුලු පළාත් කිහිපයක සිදුවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් 78දෙනෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. කොළඹ සිට යවන ලද පොලිස් කණ්ඩාය‍ම් කිහිපයක් මේ අරගලවලට සම්බන්ධ පිරිසක් තව දුරටත් සී.සී.ටී.වී කැමරා සහ වීඩියෝ දර්ශන ඔස්සේ අත්අඩංගුවට ‍ගනිමින් සිටින බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන් අතර පුද්ගලික සහ රජයේ ආයතන වල සේවය කරන පිරිසක් සිටින බවට හඳුනාගෙන තිබේ. මෙම පිරිස සම්බන්ධයෙන් විනයානූකූල පියවර ගැනීමට අදාළ ආයතන වලට දැනුම්දීමද ඔවුන් ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ‍ හෙයින් විනයානුකූල පියවර තදින්ම ගන්නා ලෙසටත් දැනුම් දෙන බව පැවසේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා පිරිස් සම්බන්ධයෙන් සහ ඉදිරියේදී නොසන්සුන්කාරී ලෙස ගැටුම් ඇතිකරමින් ජාතීන් අතර අරගලකාරී තත්ත්වයන් ඇති කිරීමට කටයුතු කරන පිරිස සම්බන්ධයෙන්ද දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

බලපත්‍ර නොමැතිව ලග තබාගෙන සිටින පුපුරන ද්‍රව්‍ය පොලිසි වෙත භාරදීමේ අවසන් දිනය මේ මස 20 දින දක්වා දීර්ඝ කර තිබේ.

මේ අතර වයඹ පළාත සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට ඊයේ (15) දින රාත්‍රී 7.00 සිට අද (16) අළුයම 4.00 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල, යක්කල යන පොලිස් වසම් අයත්වේ.


නව අදහස දක්වන්න