පටු අරමුණු පසෙකලා සියලු පක්ෂ එකතුවී ප්‍රශ්න විසඳාගත යුතුයි | දිනමිණ

පටු අරමුණු පසෙකලා සියලු පක්ෂ එකතුවී ප්‍රශ්න විසඳාගත යුතුයි

අසේල ලියනගේ

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දිවයින පුරා කලබල ඇති කර ආණ්ඩුව අස්ථාවර කිරීමට කටයුතු නොකර සියලු දේශපාලන පක්ෂ එකට එකතුවී රට වෙනුවෙන් මේ ප්‍රශ්නය විසඳීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය මේ රටේ සාමකාමී වාතාවරණයක් ඇති කර ජනතාවගේ ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වාතාවරණය ඇති කිරීම බව ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (15) කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා,

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් 300කට වැඩි පිරිසක් ඝාතනය වුණා. 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. සතියක් පමණ රජයේ කාර්යාලවල වැඩකටයුතු අඩපණ වුණා. පාසල්වල කටයුතු අඩපණ වුණා. පසුගිය සති ඇතුළත මේ රටේ පාලනය, රාජ්‍ය සේවය, සංවර්ධන කටයුතු සියල්ල යථා තත්ත්වයට පත් වුණා. පාසල් සියල්ල ආරක්ෂිතව විවෘත කළා. 21 දින සිට පොලිසියේ රාජකාරිය, ආරක්ෂක අංශවල රාජකාරීන් නිසි ලෙස සිදු වුණා. සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. සියල්ල සාර්ථකව සිදු වුණා. සමහර ත්‍රස්තවාදීන් ජීවිතය විනාශ කරගෙන මැරුණා. ප්‍රහාරයට සම්බන්ධ අනෙකුත් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනතාවට සහ ආණ්ඩුවට අවශ්‍ය මේ රට සාමකාමී තැනට ගෙන ඒමටයි. පසුගිය 13 දින රටේ යම් යම් සිද්ධි ඇති වුණා. ඒ පිළිබඳව සමහර දේශපාලනඥයන් නොයෙක් ප්‍රකාශ එල්ල කළා. නමුත් එදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වූයේ නෑ. මෙය යම් සංවිධානාත්මක පිරිසක් විසින් ක්‍රියාත්මක කළ එකක්. රටේ ප්‍රදේශ කිහිපයක කුලියාපිටිය, හලාවත, හෙට්ටිපොල, නාරම්මල, නිකවැරටිය, වාරියපොල මේ වගේ සිද්ධීන් කිහිපයක් සිදු වුණා. සමහර තැන්වලට මේ පිරිස් පැමිණිලා තිබෙන්නේ යතුරු පැදිවල, ත්‍රිරෝද රථවල. මෙයින් පෙනී යනවා මෙය සංවිධානාත්මක වැඩක් කියා. සමහර තැන්වල දේශපාලනඥයෝ මේ සම්බන්ධව වැරැදි අදහස් දෙනවා. එක්සත් ජාතික පක්ෂය පිට පටවන්න හදනවා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හා කැබිනට් මණ්ඩලයක් තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය මේ රට සාමකාමී වාතාවරණයක් ඇති කරලා ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමටයි.

සංවිධානය වූ පිරිස උත්සාහ කරන්නේ කලකෝලහල, කඩ ගනි තැබීම්, පහරදීම් කර ආණ්ඩුව අසීරුතාවට පත් කිරීමටයි. රජයට ජාතික ආරක්ෂාව ඇති කරන්න බෑ කියන මතය ගෙන එන්න තමයි මොවුන් කටයුතු කරන්නේ. ඒ නිසා අපිට පැහැදිලිව පෙනෙනවා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව. මේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරනවා. පසුගිය 13 වැනිදා සිදු වූ පහරදීම් නිසා රටට වූ හානිය නිම කරන්න බෑ. මේ පහරදීම් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය කැඳවා තීරණයක් ගත්තා. මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට. පොලිසියට හා ආරක්ෂක අංශවලට පාලනය කිරීමට බලතල ලබා දුන්නා. ඒ නිසා පක්ෂ පාඨ නොබලා කලකෝලහල කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දුන්නා.

කුලියාපිටිය, හලාවත සිද්ධිවලින් පස්සේ සමාජ මාධ්‍ය ජාලා තුළින් පැතිර ගිය යම් තොරතුරක් සම්බන්ධව ප්‍රශ්නයක් පැන නැඟුනා. කුලියාපිටියේ අත්අඩංගුවට ගත් හතර දෙනකු නිදහස් කළා සාමයෙන් විසඳ ගැනීමට. නමුත් ඒ අය නැවතත් කලකෝලහල කළා. මේ විදිහටම මිනුවන්ගොඩත් වුණා. ජාතිවාදය, ආගම්වාදය වපුරවන් පටු දේශපාලන අරමුණු කර ගත් පිරිසක් තමයි රජය අසීරුතාවට පත් කරන්න මෙය කළේ. මේ මගින් රටේ ආර්ථිකය සම්බන්ධව විශාල පාඩුවක් වුණා. රටක හොඳම ආයෝජනය තමයි අධ්‍යාපනය. අපේ අනාගත පරම්පරාවේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න මේ පිරිස කටයුතු කළා. සමහර අය අසත්‍ය ප්‍රචාර පතුරවා ජනතාව බිය ගැන්වූවා. අපිට අවශ්‍ය අපේ දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා පාසල් ඉක්මනින් ආරක්ෂිතව විවෘත කිරීම. ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා රටේ ජනතාවට පණිවිඩයක් දුන්නා රටේ ආරක්ෂාව තර කර තිබෙනවා, පාසල් අරින්න කියා. එය ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත්, රජයවත් ගත්තු තීන්දුවක් නෙමෙයි ආරක්ෂක අංශවල උපදෙස් පරිදි තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ.

දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කර, එයට අවස්ථාව නොදී තමන්ගේ දේශපාලන බලය වැඩි දියුණු කර ගැනීමට විපක්ෂයේ ඇතැම් පිරිස් කටයුතු කරනවා අපි දැක්කා. මේ වගේ සිදුවීම් සඳහා ඉඩ දිය යුතු නෑ. දැනටමත් සිද්ධීන්වලට සම්බන්ධ පිරිස් සැකපිට අත්අඩංගුවට ගත්තා. පරීක්ෂණ කටයුතු කරන නිලධාරීන්ට බාධාවක් වී තිබෙනවා ඇතැම් පුද්ගලයන්. පොලිසිය, ත්‍රිවිධ හමුදාවට එවැනි බාධා කිරීම් මගින් පරීක්ෂණ කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කරන්න නොහැකි වෙනවා. අපිට අවශ්‍ය අප්‍රේල් 13 වැනිදා මේ සිද්ධිය ඇති කරපු කණ්ඩායම් සඳහා පරීක්ෂණ කර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්න.

දැනටමත් ජනාධිපතිවරයා ජාතිවාදී සංවිධාන තුනක් තහනම් කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ සංවිධාන මඬ පැවැත්වීමට අවශ්‍ය කටයුතු ආරක්ෂක අංශවලට කරන්න තිබෙනවා. දැනටමත් CID ය පරීක්ෂණවලින් 90%ක් පමණ අවසන් කර තිබෙනවා. ඒ සඳහා අපි ආරක්ෂක අංශවලට ස්තූතිවන්ත වෙනවා. දිගන, නුවර සිද්ධියට සම්බන්ධ අයත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අය සම්බන්ධව අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. දින 52 ආණ්ඩුව මගින් මේ රට අස්ථාවර වුණා. අදත් අපිට පේන්නේ මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කරන බවක්. රටක් විදියට අපි කරන්න අවශ්‍ය සියලුම ආගමික නායකයන්, සියලුම දේශපාලන පක්ෂ එකතුවී රට වෙනුවෙන් මේ ප්‍රශ්න විසඳන්න එකතු විය යුතුයි. නමුත් අද පටු දේශපාලන අරමුණු තිබෙන උදවිය මෙය වෙනත් අතකට ගෙනියන්න හදනවා.

අපි මාධ්‍ය මගින් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නයේ දී සමබර තොරතුරු ලබා දෙන්න කියා. අපි දැක්කා ඇතැම් මාධ්‍ය පාක්ෂක්ග්‍රාහී විදියට ඉදිරිපත් කිරීම කරනවා. මාධ්‍යයක වගකීම රටේ ජනතාව දැනුවත් කිරීම, මෙවැනි ව්‍යවසනයකින් රටත් ජාතියත් බේරා ගැනීමට උදව් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා.

ජායාරූපය - ශාන් රඹුක්වැල්ල

 


නව අදහස දක්වන්න