පාසල් රග්බි තරගාවලියට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය | දිනමිණ

පාසල් රග්බි තරගාවලියට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය

ෆවුස් මොහොමඩ්

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවූ අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලිය නැවත ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇතැයි පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.

සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර පළමු වටයේ තරග නිමාවට පත් කළ ද රටෙහි උද්ගත වූ තත්ත්වය මැද දෙවැනි වටයේ තරග නියමිත පරිදි අප්‍රේල් මස අගභාගයේදි ආරම්භ කිරීම කල් දැමිමට පාසල් රග්බි සංගමයට සිදුවී තිබිණි. කුසලානය සහ පළඟ ශූරතා සඳහා වන දෙවැනි වටයේ තරග ආරම්භ කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සමග අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශවල උපදෙස් ලබාගැනීමට ද පාසල් රග්බි සංගමයේ තරගාවලි කමිටුව පසුගියදා තීරණය කර තිබිණි.

අනතුරුව අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශවල උපදෙස් පරිදි තරගාවලිය යළි ආරම්භ කිරීමට පාසල් රග්බි සංගමය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා සිටි අතර ඊට අනුමැතිය ලැබුණු බව පාසල් රග්බි සංගමයේ සභාපතිවරයා ‘දිනමිණ’ කළ විමසුමකදී සඳහන් කළේය.

‘අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශවල අවසරයත්, ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියත් අපට ලැබී තිබෙනවා. ඒ අනුව ජූනි 1දා සිට තරගාවලිය නැවතත් ආරම්භ කිරීමට තීරණය කළා. දැඩි ආරක්ෂාව යටතේ මේ තරගාවලිය නිමා කිරිමටයි බලාපොරොත්තු වන්නේ. මහනුවර පාසල් සහභාගි වන තරග මහනුවරදි බෝගම්බර පිටියේදිත්, කොළඹ පාසල් සහභාගි වන තරග කොළඹ සුගතදාස පිටියේදිත් පැවැත්වීමටයි තීරණය කළේ. කොළඹ රාජකීය විදුහල් පිල සහ මහනුවර ත්‍රිත්ව විදුහල් පිල අතර බ්‍රැඩ්බි තරග ද්විත්වයේ පළමු තරගයත් ජූනි 1දා පැවැත්වෙනවා. එහි දෙවැනි තරගය ජූනි මස 15 වැනිදා පැවැත්විමට නියමිතයි.’ පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා කියා සිටියේය.

පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන සහ පළඟ ශූරතා තරග වට සඳහා කණ්ඩායම් 8 බැගින් සුදුසුකම් ලබා සිටින අතර කුසලාන වටයේ පෙරමුණ ගැනීමට මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල සමත්විය. ඔවුන් පළමු වටයේ පැවැති තරග 5ම ජයගෙන අපරාජිතව පෙරමුණේ පසුවන්නේ සමස්ත ලකුණු 28ක් ලබාගනිමිනි. ඉසිපතන විදුහල් පිල තරග 4ක් ජයගෙන සමස්ත ලකුණු 24ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන අතර තරග 4ක් ජයගත් බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිල සමස්ත ලකුණු 23ක් ලබා තුන්වැනි ස්ථානයේද, රාජකීය විදුහල් පිල තරග 4ක් ජයගෙන සමස්ත ලකුණු 23ක් ලබා සිවුවැනි ස්ථානයේ ද පසුවෙයි. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල සමස්ත ලකුණු 19ක් ලබා පස්වැනි තැන පසුවන්නේ තරග 3ක් ජය ගනිමිනි. ත්‍රිත්ව විදුහල් පිල ද තරග 3ක් ජයගත් අතර සමස්ත ලකුණු 17ක් ලබා සයවැනි ස්ථානයේ පසුවෙයි. තරග 2ක් ජයගත් වෙස්ලි විදුහල් පිල සමස්ත ලකුණු 14ක් ලබා සත් වැනි ස්ථානයේද, තරග 2ක් ජයගත් විද්‍යා විද්‍යාලයීය පිල සමස්ත ලකුණු 12ක් ලබා අටවැනි ස්ථානයේ ද පසුවෙයි.

පළඟ ශූරතා තරග වටයේ පෙරමුණේ පසුවන්නේ කිංග්ස්වුඩ් විදුහල් පිලය. ඩී.එස්.සේනානායක විදුහල් පිල දෙවැනි ස්ථානයේ සහ සාන්ත අන්තෝනි විදුහල් පිල තුන්වැනි ස්ථානයේ පසුවන අතර සිවුවැනි ස්ථානයේ පසුවන්නේ ධර්මරාජ විදුහල් පිලය. විද්‍යාර්ථ, සහිරා, මහනුවර ශ්‍රී සුමංගල සහ කුරුණෑගල මලියදේව පිළිවෙළින් පස්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා ස්ථාන හිමිකරගෙන සිටී.

ලීග් තරග වටය ජූනි මස 30 වැනිදා නිමාවට පත්වීමට නියමිත අතර ජූලි මස 6 වැනිදා ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. එහි අවසන් පූර්ව තරග ජූලි මස 13 වැනිදා සහ අවසන් මහා තරගය ජූලි මස 20 වැනිදා පැවැත්වෙනු ඇත.


නව අදහස දක්වන්න