දමිළ ජනතාව සමඟ සන්නිවේදනයට ‘දෙමළ උගනිමු’ | දිනමිණ

දමිළ ජනතාව සමඟ සන්නිවේදනයට ‘දෙමළ උගනිමු’

ලොව පුරා සිටින සියලු ජන කණ්ඩායම් විවිධ භාෂා භාවිතයෙන් සිය අදහස් ප්‍රකාශ කරති. සන්නිවේදනය උදෙසා පරිපූර්ණ භාෂා දැනුම අත්‍යාවශ්‍ය සාධකයකි. එකිනෙකට සමාන වූ හෝ සම්පූර්ණයෙන් වෙනස් වූ භාෂා බොහෝමයක් අතරින් සෑම පුද්ගලයකුටම මවු භාෂාවක් හිමි වී ඇති අතර, බොහෝ දෙනෙක් එයට අමතරව තවත් භාෂාවක් හෝ කිහිපයක් ඉගෙනීමට උත්සාහ දරති.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය භාෂාව සිංහල වනවිට දමිළ භාෂාව භාවිත කරන බහුතර ප්‍රජාවක් ජීවත් වේ. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර වශයෙන් අතිශයින් වැදගත් සහ එහි ඇති වෘත්තීයමය වටිනාකම හේතුවෙන් දෙවැනි භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීමට බො‍හෝ දෙනා සැලකිලිමත් වන නමුත්, දමිළ භාෂාව ඉගෙන ගැනීමට යොමුවන පිරිස අතළොස්සකි. එසේ වුවත් සමාජය තුළ ගොඩනැගෙන බොහෝ ගැටලු සහ අර්බුද සඳහා යහපත් සන්නිවේදනයක් මඟින් පිළියම් සොයා ගත හැකි ය. ජනවාර්ගික ගැටලු ආගමික සහ සංස්කෘතික මතවාද නිවැරැදිව ග්‍රහණය කර ගැනීමට රටෙහි ජනතාව භාවිත කරන විවිධ භාෂා ඉගෙන ගැනීම පිළියමකි.

මේ ගැටලුවලට පිළියම් ලෙස සිංහල භාෂාව භාවිත කරන බහුතර ප්‍රජාව සඳහා ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන ලෙස දෙමළ බස ඉගෙනිය හැකි සරල, පහසු මාර්ගෝපදේශනයක් ලෙස පොත් දෙකක් ලියා පළ කරන්නට, ජාතික ගුවන්විදුලියේ වැඩසටහන් අංශයේ ජ්‍යෙෂ්ඨ සංවිධායිකා, ප්‍රවෘත්ති මාධ්‍යවේදිනී ශාන්ති වීරසිංහ සමත් වී සිටී. සිය උත්සාහය පිළිබඳ ඇය මෙසේ පැවසුවා ය.

"සිංහල අයට, දෙමළ භාෂාව ඉගෙන ගන්න ලැබෙන්නේ බොහෝ විට දෙමළ ගුරුවරුන් හෝ රචකයන් ලියා පළකළ පොත් මඟන්. ඒත්, එම භාෂාව සරලව වගේ ම, ඉගෙන ගත හැකි අයුරින් වටහා දෙන්නට හැකියාව තිබෙන්නේ, සිංහල භාෂාව පිළිබඳ නිවැරැදි දැනුමක් තිබෙන අයකුටයි.

මම දෙමළ භාෂාව ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ විශ්වවිද්‍යාලයෙන්. නූතන භාෂා ඉගෙනීමට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එස්.එස්.යෝගරාජා ආචාර්යතුමා යටතේ මම දමිළ භාෂාව ප්‍රගුණ කළා. ආධ්‍යාත්මික ප්‍රවේශයක් සහිතව ග්‍රහණය කර ගැනීමේ පහසු ක්‍රම සමඟ එතුමන් ඉගැන්වූ කලාව බෙහෙවින් සිත් ඇදගන්නා සුළු නිසා, එම වසර හතරම මම දමිළ භාෂාව හැදෑරුවා. ඉන් පසු පෞද්ගලික අයදුම්කාරියක ලෙස අපොස සා / පෙළ විභාගයේ දෙමළ භාෂා විෂය සමත්වෙලා, රාජ්‍ය භාෂා ප්‍රවීණතා (දෙමළ)ලිඛිත, කථන සහ ශ්‍රවණ යන අංශ තුනම සමත් වුණා.

2013 වසරේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දමිල භාෂා ඩිප්ලෝමාව හදාරමින්, එම භාෂාව තුළ ඇති සාහිත්‍යමය වටිනාකම අධ්‍යයනය කළා. මෙසේ භාෂාව ප්‍රගුණ කිරීම මඟින්, ද්‍රවිඩ ප්‍රජාව දෙස සමානාත්මතාවයකින් බලන්නට, ඔවුන් වටහා ගන්නට සහ ඔවුන් සමඟ යහපත් සම්බන්ධතාවක් ගොඩනගා ගන්නට මට හැකි වුණා. ඒ විතරක් නොමෙයි, රැකියාවක් ලබා ගැනීමේදී පවා ද්‍රවිඩ භාෂාව දැනගෙන සිටීම හොඳ සුදුසුකමක්. ඒ නිසා ම මා ලබාගත් දැනුම සියලු දෙනා අතරේ බෙදාදීම මගේ අභිප්‍රාය බවට පත් වුණා.

මේ පොත් දෙකම ආරම්භ වන්නේ බොහොම සරලව. දෙමළ භාෂාවේ ඇතැම් අකුරු ටිකක් සංකීර්ණයි. ඒත්, අඩු ඉරි සහ රේඛා භාවිත වෙන සරල අකුරුවලින් අරඹලා, ඉදිරියට යන විට එම සංකීර්ණ භාවය ගැටලුවක් වෙන්නේ නැහැ. මේ පොත් දෙක තුළ වචන සහ කුඩා වාක්‍ය ඛණ්ඩ ගොඩනගමින් අභාස සමඟ ක්‍රියාපද නිර්මාණය කරමින්, උක්ත ආඛ්‍යාත සම්බන්ධය සහ උච්ඡාරණ විලාසය සමඟ කථන අභාස ද ඇතුළත් කර තිබෙන නිසා අධ්‍යයනය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තව දුරටත් පහසු කර තිබෙනවා. එසේ ම, ඉලක්කම් භාවිතය සහ ගණිතමය සංකල්පත් මේ තුළ අන්තර්ගතයි."

සිංහල අයට දෙමළ භාෂාව ඉගෙන ගන්නට මෙන්ම දෙමළ අයට සිංහල ඉගෙන ගන්නත් මේ පොත් දෙක තුළින් හැකියාව ලැබෙනවා.

දෙමළ භාෂාව පිළිබඳ ස්වකීය දැනුම් සම්භාරය උපයෝගී කර ගනිමින් ශාන්ති වීරසිංහ තවත් වැඩසටහන් කිහිපයකට සිය දායකත්වය සපයා තිබේ.

“මනෝ ගනේෂන් අමාත්‍යතුමාගේ උපදෙස් මත ගුවන්විදුලි නාලිකා 9ක විකාශනය වන (දෙමළ සහ සිංහල) මාධ්‍ය දෙකෙහිම සාමාන්‍ය පෙළ දරුවන් උදෙසා සැකසූ “දන්නවනම් උගන්වන්න - දන්නෙ නැතිනම් ඉගෙන ගන්න“ වැඩසටහන වගේ ම, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රාජ්‍ය සේවකයන් සඳහා වන රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයේ ශ්‍රවණ සහ කථන විභාග සමත් වීමට අත්වැලක් ලෙස, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව දියත් කරන බස “වඩමු හද දිනමු“ වැඩසටහනෙත් නිෂ්පාදිකාව සහ නිවේදිකාව මමයි."

ජාතික සමගිය වර්ධනය කිරීම සහ සහජීවනය ආරක්ෂා කර ගන්නට භාෂා දෙකම ඉගෙනීම මඟින් ලැබෙන පිටිවහල හේතුවෙන් , හෙට දින රට සුන්දර වීම ඇගේ අභිප්‍රායයි.

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න