ගින්න හා පිදුරු! | දිනමිණ

ගින්න හා පිදුරු!

රට හමුවේ ප්‍රධාන අභියෝග දෙකක් පවතී. පළමු අභි‍යෝගය වන්නේ ජාතීන් අතර පැතිර යන අසමඟිය හා වෛරය වළක්වා ජාතික සංහිඳියාව හා සාමය තහවුරු කිරීමය. දෙවන අභියෝගය වන්නේ සමාජය අතර ව්‍යාප්ත වන බිය - සැක හා අවිනිශ්චිතභාවය තුරන් කොට ජන ජීවිතය යථාවත් කිරීමය. අභියෝග දෙකම ජයගත හැකි පහසු මාර්ග නැත. ඊයේත් - පෙරේදාත් ප්‍රදේශ කිහිපයක කළබල පැතිර ගියේය. ඒ හේතුවෙන් රට පුරා පොලිස් ඇඳිරිනීතිය පනවන්නට සිදුවිය. කළබලවල උණුසුම තවම පහවී ගොස් නැත. රජයේ පාසල් විවෘත කර ඇතත්; දරුවන්ගේ පැමිණීම ඉතා දුර්වලය. එයින් පෙනී යන්නේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ජනතාව තුළ නැති බවය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතා විශ්වාසයක් ගොඩනැ‍ඟෙන තුරු රට යථා තත්ත්වයට ගැනීම අපහසුය.

කුමන ආකාරයක කළබලයක් වුව ඉ‍බේ ඇතිවන්නේ නැත. ඒ සඳහා පෙළඹවීමක් හා සංවිධානගත වීමක් තිබිය යුතුය. ජාතිවාදී කළබලයක් වුව, ආගම්වාදී කළබලයක් වුව ඇතිවූ සැණින් ඇඟිල්ල දිගුවන්නේ සමාජ මාධ්‍ය වෙතය. එහෙත් සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් හා ඒවා විවේචනය කිරීමෙන් පමණක් ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැත. සමාජ මාධ්‍ය ඉක්මවා ගිය බලවේග හා පෙළඹවීම් ගැන කාගේත් අවධානය යොමුවිය යුතුව තිබේ. ජාතිවාදය හා ආගම්වාදය සිය දේශපාලනය කරගත් සංවිධාන ගණනාවක් රට තුළ ක්‍රියාත්මක වේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනු කරන සංවිධාන ද ඒ අතර පවතී. මේ සංවිධානවල රහස් ක්‍රියාකාරකම් තිබෙන්නට පුළුවන. අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ බෞද්ධ මධ්‍යස්ථාන වෙත ආගම්වාදයට අදාළ ලිපි ලැබෙන්නේ කෙසේද? එය පරීක්ෂාවට ලක්විය යුතු සිද්ධියකි.

ප්‍රදේශ කිහිපයක ඉස්ලාම් භක්තිකයන්ගේ වෙළෙඳ සල්වලට ගල් ගසා තිබේ. ආගමික සිද්ධස්ථාන කිහිපයකටද පහර දී තිබිණි. ආරංචිවල සඳහන් වන අන්දමට උක්ත පහරදීම් සිදුකර ඇත්තේ යතුරුපැදිවලින් ප්‍රදේශවලට කඩාවදින බීමත් කණ්ඩායම්ය. මෙහිලා විමසාබැලිය යුතු කරුණු කිහිපයක් තිබේ. එක; මේ සංවිධාන හා කණ්ඩායම් පසුපස සිටින්නෝ කවරහුද? ඔවුනට සහයෝගය සහ අනුබල දෙන්නෝ කවරහුද? යන්න ය. දෙක; ප්‍රදේශවාසීන් පහරදීම්වලට සම්බන්ධ වූයේද? ඔවුන් පිටස්තරයන් පළවා හරින්නට ක්‍රියා නොක‍ළේ මන්ද? යන්න ය. බොහෝ ප්‍රදේශවල විවිධ ආගමිකයන් හා විවිධ ජාතීන් සිටියද මෙබඳු කළබල ඇතිවූයේ නැත. පාස්කු ප්‍රහාරයෙන් පසුද කතෝලිකයන් හා ඉස්ලාම් ආගමිකයන් අතර ගැටුමක් ඇතිවූයේ නැත. හදිසියේ මෙවැන්නක් ඇතිවීමට ශක්තිමත් සංවිධානයක් තිබිය යුතුය.

1983 කළු ජූලිය පැතිර ගියේද මේ ආකාරයෙන්ය. ජාතිවාදය හා ආගම්වාදය පතුරුවා හරින ශක්තිමත් සංවිධාන එදත් පැවතිණි. ඒවා පසුපස සිටි පුද්ගලයෝ දේශපාලකයෝය. 1983 සිද්ධියෙන් පසු සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට පත්වූහ. ඒ අතර කොල්ලකාරයෝ සිටියෝය. ස්ත්‍රී දූෂකයෝ ද සිටියෝය. සුනාමි ව්‍යසනයේදී පවා වින්දිතයන්ගේ කනකර අතගා‍ගෙන ගිය අය සිටියහ. ඊයේත් පෙරේදාත් වූ සිද්ධීන් පසුපස ද එවැනි පුද්ගලයන් නැතැයි කියන්නට සාධක නැත. කළු ජූලියේ සිදුවීම්වලට අදාළව සිරබත් කෑ අය සිටි බව ද රහසක් නොවේ. එහෙත් කළුජූලියේ සැබෑ අයිතිකරුවන් පොලිසියට කොටු වූයේ නැත. එය බලවත් අඩුවකි. මෙවර නම් එබඳු අයට කිසිදු සමාවක් නොදිය යුතුය. ඉහත සිද්ධිය මර්දනය කිරීම වැදගත් වන්නා සේම ඉදිරියට එවැන්නක් සිදු නොවීමට වගබලා ගැනීම ඊටත් වඩා වැදගත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රකාශයක් නිකුත්කොට ඇත. එයින් කියැවෙන්නේ ජාතීන් අතර අසමගිය හා වෛරය වපුරන අයටද, ඇඳිරිනීතිය උල්ලංඝනය කරන අයටද දැඩි දඬුවම් ලබාදීමට උපදෙස් ලබාදුන් බවය. යුද හමුදාපතිවරයාද ප්‍රකාශයක් නිකුත්කොට තිබේ. එයින් කියැවෙන්නේ කළබල ඇතිකරන අයට කිසිදු සමාවක් නොලැබෙන බවය. වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශයක් කරමින් පොලිසිය දුර්වල යැයි සිතන්නට එපායැයි කියයි. නීතිය හොඳින්ම ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇතැයි මේ අනුව සිතන්නට පුළුවන. ජාතිය, ආගම, තරාතිරම නොබලා අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතුය. ඒ සඳහා කුමන නීතියක් අදාළ කර ගත්තද වරදක් නැත.

තිස් අවුරුදු යුද්ධයක් ගැනද, ත්‍රස්තවාදය පරාජය කිරීමක් ගැනද කයිවාරුගහන සමාජය එම සිදුවීම්වලින් ඉගෙනගත් පාඩමක් නැතැයි කියන්නට පුළුවන. ඇතැම් දේශපාලකයන්ගේ කතා හා හැසිරීම් දෙස බලනවිට මේ තත්ත්වය හොඳින් පැහැදිලි වේ. කිසිකෙනකු වගකීමකින් ක්‍රියාකරන බවක් පෙනෙන්නට නැත. සමහර ධනවත් ව්‍යාපාරිකයෝ ආරක්ෂක අංශ වෙත බොරු තොරතුරු ලබාදෙති. මාළිගාවත්ත ප්‍රදේශයෙන් ද එබඳු ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. හමුදාවේ කපිතාන්වරයකු ද බොරු ආරංචි පැතිරවීම මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙබඳු අය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා ඇත. එය ඉතා වැදගත් තීරණයක් බව කිව යුතුය. අකුරුවලට ලොකු බලයක් නොතිබෙන්නට පුළුවන. එහෙත් අකුරු පෙළගස්වා නිර්මාණය කරන වචනවලට බරක් හා බලයක් තිබේ. වචන පෙළගස්වා ගොඩනඟන ප්‍රබන්ධවලට ඊටත් වඩා බලයක් තිබේ. එක ප්‍රබන්ධයකින් රටක් ගිනිතැබීමට වුව පුළුවන.

මේ මොහොතේ අපගේ අවධානය යොමුවිය යුත්තේ ආගම කෙරෙහියැයි සිතන්නට පුළුවන. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ආගම් හතරක් පවතී. ඒ බෞද්ධ, කතෝලික, හින්දු හා ඉස්ලාම් වශයෙන් ය. මේ කිසිදු ආගමක දර්ශනයෙන් ප්‍රචණ්ඩත්වයට ඉඩක් ලබා දී නැත. මිනිස් සංහාරයෙන් ස්වර්ගයට යා හැකියැයි කිසිදු ආගමක පෙන්වා දී නැත. සියලු ආගම්වල ඉගැන්වීම වන්නේ සහෝදරත්වයෙන් ජීවත් වීමය. සහෝදරත්වයේ දෑත දිගුකිරීම සඳහා කඩු, පොලු අවශ්‍ය නැත. ගල්, මුල්ද අවශ්‍ය නැත.


නව අදහස දක්වන්න