‍බොරුව සිනාසෙයි | දිනමිණ

‍බොරුව සිනාසෙයි

සමාජය වගකීම් විරහිත ලෙස හැසිරෙනතාක් රට යථා තත්ත්වයට ගැනීම අපහසුය. රට පුරා පැතිර යන භීතිය හා ස්ථාන කිහිපයකින් වාර්තා වූ සිද්ධීන් ද ඒ බව තහවුරු කරයි. හලාවත නගරයේ‍ පෙරේදා ඇති වූ කලබැගෑනියට හේතුව ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ පෞද්ගලික සංවාදයකි. එහිලා එක් ව්‍යාපාරිකයෙක් කියා ඇත්තේ “වැඩිය හිනා වෙන්න එපා අඬන්න සිදුවේවි” යන්න ය. සංවාදය සිදු වන්නේ මුහුණු පොත ඔස්සේ ය. පසුව ඉහත පාඨය සමාජගත වී කලබැගෑනියකට පාර කපා ඇත. එකිනෙක පුද්ගලයන් හා ආයතන කෙරෙහි සමාජයේ පවතින සැකය, බිය හා අවිනිශ්චිත භාවය මෙයින් පැහැදිලි වේ. සංවේදී අවස්ථාවකදී වගකීමකින් හැසිරෙන්නට කවුරුත් වගබලා ගත යුතුය.

රජයේ පාසල්වල ප්‍රාථමික අංශ ඊයේ විවෘත කෙරිණි. එහෙත් බොහෝ පාසල්වල දක්නට ලැබුණේ ගුරු මණ්ඩලය පමණි. ආරක්ෂක අංශ ගේට්ටුවෙන් පිටත මුර කරනු දක්නට ලැබිණි. මාපියන් රටේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්වී නැති බව පෙනේ. ඇතැම් මාපියන් තම ජංගම දුරකථනයේ තිරය විවෘතකොට එහි ඇති අනතුරු ඇඟවීම් විදුහල්පතිවරයාට පෙන්වා ඇත. එකිනෙක පුද්ගලයන‍්ගේ ජංගම දුරකථනවල විවිධාකාර සටහන් තිබේ. එක ජංගම දුරකථනයක සටහන්ව තිබුණේ දහතුන්වැනිදා 60 දහසක් මාපියන් හඬවන බවය. තව ජංගම දුරකථනයක සටහන්ව තිබුණේ කොටුව දුම්රිය ස්ථානයට හා පාසල්වලට ප්‍රහාරයක් එල්ල කරන බව ය. මේවා දකින හා කියවන අය භීතියට පත්වන බව පුදුමයක් ද නොවේ.

මෙලෙස සැරිසරන කිසිදු ආරංචියක් හෝ තොරතුරක් හෝ ආරක්ෂක අංශ තහවුරු කර නැත. රටේ බුද්ධි අංශ නොදන්නා ආරංචි හා තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මහත් අවුලකට හේතුවකි. එක්කෝ සමාජ මාධ්‍ය බුද්ධි අංශවලට ඉදිරියෙන් සිටිය යුතුය. නැතහොත් සමාජ මාධ්‍ය ආරංචි හා තොරතුරු නිර්මාණය කරනවා විය යුතුය. සමාජ මාධ්‍යයට වාරණයක් කිරීම අපහසුය. යම් තාක්ෂණික අවහිර කිරීමක් කළ හැකි වුව එය මුළුමණින්ම වාරණයට ලක් කිරීම කළ නොහැක්කකි. ඒ හැරත් කටකතා මාර්ගයෙන් ඕනෑම බොරුවක් සමාජගත කළ හැකිය. දැන් එබඳු බොරු තොග පිටින් හුවමාරුවන බව පෙනෙන්නට තිබේ.

සමාජයේ වගකිවයුතු පුද්ගලයන් ද අසත්‍ය දේවල් ප්‍රචාරය කිරීමට හා සමාජය බිය ගැන්වීමට ඉදිරිපත්වීම අතිශය භයානකය. හමුදා කඳවුරකට හා රෝහලකට ප්‍රහාරයක් එල්ල කරන බවට දුරකථන ඇමතුම් ලබාදුන් යුද හමුදාවේ කපිතාන්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ හමුදා නිලධාරියා වෙනත් පුද්ගලයකුගේ හැඳුනුම්පතක් ඉදිරිපත්කොට සිම්පත් ලබාගෙන එය භාවිත කරමින් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදී ඇත. ඔහු සමාජය භීතියට පත් කිරීමෙන් වින්දනයක් ලබන මානසික රෝගියකු විය යුතුය. මෙබඳු පුද්ගලයන් ආරක්ෂක අංශ තුළ සේවය කිරීම අතිශය භයානක විය හැකිය. ඔහු යුද හමුදාවේ නීති අංශයට භාර දී ඇති බවත් සඳහන් වෙයි.

දේශපාලකයන් මේ මොහොතේ ඉතා සංයමයකින් යුතුව තමන්ගේ වචන හැසිරවිය යුතු යැයි උපදේශන තිබුණ ද එය සිදුවන බවක් පෙනෙන්නට නැත. සමහරු ජාතිවාදය අවුළුවනසුළු කතා කියති. තව සමහරු ආගම්වාදය පැතිරවීමට මාන බලති. තවත් සමහරු තමන්ගේ ඡන්ද ප්‍රමාණය හා ඡන්ද දායකයන්ගේ ස්වභාවය සැලකිල්ලට ගෙන කතා පවත්වති. වැඩිදෙනකු සත්‍යයට මුහුණදෙන්නේ නැති බවද තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කටයුතු පවත්වාගෙන යන බව ද පෙනෙන්නට තිබේ. මෙයින් සිදු වන්නේ පවතින අර්බුදය තවදුරටත් තීව්‍ර වීම මිස විසඳුමක් ලැබීම නොවේ. පූජක පක්ෂවල ඇතැම් කොටස් ද ආරවුල් වැඩි කරන සේ හැඟීම්බරව කතා කරන බව දකින්නට පුළුවන.

නීතිය මඟින් මේවා යම් දුරකට පාලනය කරගත හැකි බව කිව හැකිය. හලාවත සිද්ධියට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ISIS ත්‍රස්ත ක්‍රියා අනුමත කළ මවුලවිවරයකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පූජකතුමා ISIS සංවිධානයේ ක්‍රියාකාරකම් අගයමින් සමාජ මතයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇත. මේ පුද්ගලයන් ගැන තොරතුරු සොයා ගැනීම ද ඔවුන් අත්අඩංගුවට ගැනීම ද ඉතා වැදගත් ය. රජය සම්මත කිරීමට යන ප්‍රති ත්‍රස්ත්‍ර පනත ද මේ කාරණයේදී වැදගත් බව කිව යුතුය. එහෙත් එම පනත නොපිළිගන්නා අය මෙන්ම එයට විරෝධය දක්වන අයද සිටිති. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සමාජය පොදු එකඟතාවයකට පැමිණිය යුතු බව මෙයින් පෙනී යයි.

ලැබෙන ආරංචිවලට අනුව පෙනී යන්නේ පොදු සමාජය නීතිය අතට ගන්නා තත්ත්වයකට ද පත්වී ඇති බවය. අසවල් තැනැත්තා අත්අඩංගුවට ගන්න යැයි ද අසවල් ස්ථානය පරීක්ෂා කරන්නැයි ද ආරක්ෂක අංශවලට බලපෑම් කරන තැනකට ද සමාජය ගොස් තිබේ. හලාවත සිද්ධිය තුළ ද එවැන්නක් වාර්තා වී තිබිණි. සමාජ මාධ්‍ය හා කටකතා ඔස්සේ සමාජය හැඟීම්බර වීම ඊට එක් හේතුවක් ලෙස දැක්විය හැකි ය. හලාවත කලබැගෑනියට සම්බන්ධ ඇතැමකු සත්‍යලෙසම සිදු වූයේ කුමක්දැයි දැන සිටියේ නැති බව වාර්තා වී ඇත. මෙවන් අර්බුදකාරී අවස්ථාවක සමාජය ගිනි තැබීම ඉතා පහසුය. එහෙත් ගින්න නිවා දැමීම අපහසුය. අසත්‍ය කට කතා පතුරුවන අයද මිථ්‍යා මත ගොඩනඟන අයද ඒ ගැන නොසලකති.

තරුණ කැරලි දෙකකට හා දීර්ඝ යුද සමයකට ද මුහුණ දී ඇතත් අප ඒවායින් ලබාගත් පාඩම් මේ මොහොතේ දී ආදර්ශයට නොගන්නා බවක් පෙනෙන්නට තිබේ. එය ත්‍රස්ත ක්‍රියා සිදු කරන අයගේ වාසියට හේතුවකි. රටක් නොසන්සුන් වන තරමට ත්‍රස්තවාදයේ අරමුණු ඉටුකර ගැනීම පහසුවකි. එල්. ටී. ටි. ඊ. ත්‍රස්තවාදීන් මහබැංකුවට ප්‍රහාරයක් එල්ල කළේ රටේ ආර්ථිකය දුර්වල කොට ‍ඒ මඟින් සමාජය නන්නත්තාර කිරීමටය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ඉලක්කයක් වී ඇත්තේ ජාතික ආර්ථිකය දුර්වල කිරීමය. අනෙක් ඉලක්කය වන්නේ රට නොසන්සුන් කිරීමය. ප්‍රහාරයෙන් පසු සති කිහිපයක් ගෙවී ගොස් තිබුණ ද රට යථා තත්ත්වයට පත්වී නැත. මේ අනුව පළමුව සිදුවිය යුත්තේ රට යථා තත්ත්වයට ගැනීමය.

සමාජ මාධ්‍ය සඳහා යම් තාක්ෂණික අවහිර කිරීමක් සිදු කර තිබේ. එය තාවකාලික බව සඳහන්ය. මේ අවහිර කිරීම නිසා සමාජ මාධ්‍යවල අදහස් හුවමාරුව මුළුමනින්ම අවහිර වන්නේදැයි ගැටලුවකි. එහෙත් මේ අවස්ථාවට අනුව එය බුද්ධිමත් තීරණයකි. කෙසේ වුව සමාජ මාධ්‍ය රටේ යහපත් පරිවර්තනයක් සඳහා යොදා ගත හැකි ක්‍රමවේද තිබේ. ඒ සඳහා පුහුණුව, දැනුම හා නියාමනය යොදාගත යුතු ය. පුරවැසියන් ඇත්ත හා බොරුව හඳුනාගත හැකි තැනකට යොමුකළ හැකි නම් එය ද ගැටලුවට විසඳුමකි. සමාජ චින්තනයේ බරපතළ වෙනසක් සිදුවිය යුතු තැනකට සමාජය තල්ලු වෙමින් පවතී.


අදහස් 1ක් ඇත

Excellent

නව අදහස දක්වන්න