වාහන සෝදිසිය! | දිනමිණ

වාහන සෝදිසිය!

අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවුක හමුදාව වෙඩි තබා ඇත. එක රියැදුරකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. අනෙක් රියැදුරා තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටී. එක රථයක කුඩා දරුවකු සිටි බව ද සඳහන් ය. මෙය අවාසනාවන්ත සිදුවීමෙකි. එලෙස ම සංවේදී අවස්ථාවෙකි. අණ නොතකා ධාවනය වන රථයක් නවතාගැනීම සඳහා වෙඩි තැබිය යුත්තේ රියැදුරාට ද නැතහොත් වාහනයේ ටයර්වලටදැ’යි සමහරු ප්‍රශ්න කරති. එය පහසුවෙන් බැහැරකළ නොහැක්කේ නාවුක හමුදාවට වෙඩි තැබීම ගැන විශේෂ පුහුණුවක් ඇති බැවින් ය. වෙඩි තැබීමේ සිද්ධි දෙක සම්බන්ධයෙන්ම යම් මහජන විරෝධයක් ඇති බවද මෙහිලා සඳහන් කළ යුතුය.

වෙඩිතැබීම සිදුවන්නේ පෙරේදා ය. මේ වනවිටත් සිද්ධි දෙක සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද, පොලිස් පරීක්ෂණයක් ද පැවැත්වෙයි. හෙළිදරව් වන කරුණුවලට අනුව එක් රියැදුරකු සාදයකට ගොස් හොඳටම බීමත් ව අධික වේගයෙන් රථය පදවාගෙන ගොස් ඇති බව පෙනෙයි. ඔහු බීමත් ව සිටි බැවින් වාහනය නවත්වන්නට නැතැ’යි සිතන්නට පුළුවන. රියැදුරන් දෙදෙනා ත්‍රස්ත ක්‍රියාවකට හෝ අන්තවාදී ක්‍රියාවකට හෝ සම්බන්ධ බවට තොරතුරු ලැබී නැත. එහෙත් එක් රියැදුරකු නාවුක භටයන් යට කරගෙන වාහනය පැදවීමට උත්සාහ දරා ඇති බවක් සඳහන් ය. ත්‍රස්තවාදියා ලේබලයක් අලවාගෙන ප්‍රහාර සඳහා නොඑන බැවින් මේ පුද්ගලයන් ගැන සැකකරන්නට ඉඩ - ප්‍රස්ථා තිබේ.

වාහනයක සුක්කානම දෑතට ගත් තැනැත්තා වඩාත් හොඳින් භාවිත කළ යුත්තේ තමන්ගේ මස්තිෂ්කය හෙවත් මොළය යැයි කතාවක් තිබේ. මොළය අවුල් නම්; වාහන පදවන්නට එපා යැයි උපදේශනයක් තිබේ. නිදිමත නම්; රිය ධාවනයෙන් ඉවත් වන්නැ’යි තව උපදේශනයක් තිබේ. බීමත් නම්; රථ - වාහන පැදවීම කිසිසේත්ම නොකළ යුතු යැයි තවත් උපදේශනයක් තිබේ. ආරක්ෂාව පිළිබඳ යම් අවදානමක් ඇති අවස්ථාවක ඉහත උපදේශන අකුරටම පිළිපැදීම වැදගත් ය. එහෙත් සමහරු කිසිදු උපදේශනයක් තඹ දොයිතුවකට නොසලකති. ඔවුන් තමන් පිළිබඳ අධි තක්සේරුවකින් වාහන පදවාගෙන යන බව පෙනෙයි. ඉහත රියැදුරන් දෙදෙනා සිදුකර ඇත්තේ ද ඒ ටිකම යැයි කියන්නට පුළුවන.

යුද සමයේ ද, ඊට පෙර පැවැති භීෂණ සමයේ ද මෙවන් සිද්ධි ගණනාවක් වාර්තා වී තිබිණි. දේශපාලකයන්, ප්‍රභූන්, නිලධාරීන් හා කලාකරුවන් ද මෙබඳු සිද්ධිවලට මුහුණ දී ඇත. ජනප්‍රිය විකට නළුවෙක් මාර්ග බාධක නොසලකා, හමුදා අණ ද නොසලකා අධික වේගයෙන් සිය රථය පදවාගෙන ගොස් වෙඩි කා මිය ගියේ ය. වාහන සෝදිසියක දී වාහනය තුළ සිටින පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිකර ගත හැක්කේ පරීක්ෂාවෙන් පසුව ය. පරීක්ෂාව සඳහා වාහනය නැවැත්විය යුතු ය. සෝදිසියකට ඉඩ නොදී රථය ඉදිරියට ධාවනය වන්නේ නම්; වෙඩි තැබීම හැර වෙනත් දෙයක් කළ නොහැකිය. එහෙත් වෙඩි තබන විලාසයේ ද නිත්‍යානුකූලභාවයක් තිබිය යුතු ය.

රටේ ජාතික ආරක්ෂාව හා නීති - රීති මහජනතාව අතින් හෑල්ලුවට ලක්වන්නේ නම්; එතැන බරපතළ වරදක් තිබේ. එලෙසම ආරක්ෂක නිලධාරීන් ද සිය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙන් වැළකිය යුතු ය. ඕනෑම උත්තුංග පුද්ගලයකුට ඉහළින් නීතිය පැවැතිය යුතු යැයි කතාවක් තිබේ. කෙනකුගේ ශරීර ප්‍රමාණය, බලය, ජනප්‍රියතාව යන කිසිවක් නීතියට විශේෂ නොවන බව එයින් පැහැදිලි වෙයි. මේවා නොසලකා හැරීමට සීමාවක් ලැබෙන්නේ නැත. ඉහත සිද්ධි දෙකම අපේ ජනතාවට පාඩමක් කියා දෙන්නේ යැයි සිතන්නට පුළුවන. ආරක්ෂක අංශවලට වුව එයින් පාඩමක් ගත හැකි ය. ආරක්ෂක කටයුතුවලට මහජනයාගේ සහයෝගය තිබිය යුතු ය. වාහන සෝදිසියකට, ගමන් මලු පරීක්ෂාවකට පමණක් නොව නිවෙසක් - ආයතනයක් සෝදිසියට පවා මහජනතාවගේ සහයෝගය තිබීම වැදගත් ය.

ආරක්ෂාවට සම්බන්ධ විවිධ ආයතන ජනතාව දැනුම්වත් කර තිබේ. රටේ නායකයන් සේම ආගමික නායකයන් ද ඉල්ලීම් සිදුකර තිබේ. ඒ ආරක්ෂක කටයුතුවලට හා මෙහෙයුම්වලට සහයෝගය ලබා දෙන හැටියට ය. පුරවැසි සංවිධානද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇත. මහජනයා අතර පවතින පොදු මතය වන්නේ ද පරීක්ෂාව හා මෙහෙයුම් දිගටම සිදුවිය යුතු බව ය. ඇතැම් ප්‍රදේශයක ජනතාව අසවල් නිවෙස පරීක්ෂා නොකරන්නේ මන්දැ’යි පොලිසියෙන් විමසන තරමට ආරක්ෂාව ගැන උනන්දු ය. මෙහෙයුම් සඳහා ඇතැම් දේශපාලකයන්ගේ බලපෑම් ඇතැ’යි චෝදනා කරන්නේ ද ජනතාව ය. ඒ අතර නීති - රීති උල්ලංඝනය කරන්නේ ද ඒ ජනතාවගෙන් කොටසක් බව පෙන්වා දිය යුතුය.

සියලුදෙනා ම නැතත්; සමාජයෙන් එක්තරා කොටසක් ආරක්ෂක මෙහෙයුම් හෑල්ලුවට ගෙන ඇති බව පෙනෙයි. එය නොසිදුවිය යුත්තක් සේ ම; භයානක ප්‍රතිඵල මතු කළ හැකි දෙයක් ද වෙයි. සැක කටයුතු දේවල් පරීක්ෂා කිරීම දිගටම සිදුවන අතර ආරක්ෂක අංශ නොමඟ යවනසුළු දේවල් ස්ථාන ගණනාවක තබා තිබිණි. එක ස්ථානයක තිබී හමුවූයේ වයර්කෑලි හා තවත් සුන්බුන් සහිත පෙට්ටියකි. තව ස්ථානයක දී හමුවූයේ කොන්ක්‍රීට් ගල් සහිත පෙට්ටියකි. මේවා සැක උපදවන ලෙස තැබීමෙන් කිසිවකු වින්දනයක් ලබනවා විය හැකිය. එහෙත් එයින් සිදුවන්නේ ජාතික ආරක්ෂාව හෑල්ලුවට දැමීමකි.

මේ වනවිට රට පවතින්නේ බැරෑරුම් අවස්ථාවක ය. එය හෑල්ලුවට ගැනීම සේම විහිළුවට ලක් කිරීමද සුදුසු නො වේ. ජාත්‍යන්තර ජාලයකටද සම්බන්ධ දේශීය ත්‍රස්තවාදයකට හා අන්තවාදයකට අපි මුහුණදී සිටිමු. ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති අතර විශ්‍රාමික සෙබළුන් පවා සේවයට කැඳවා ඇත. ආගමික සිද්ධස්ථාන, පාසල්, සංචාරක නිවස්න හා පොදු ස්ථානවලටද විශේෂ ආරක්ෂාවක් සැපයීමට සිදුවී තිබේ. මේ අතර ප්‍රහාර පිළිබඳ අනතුරු හැඟවීම් වරින් - වර නිකුත් වෙයි. සියල්ල මෙසේ සිදුවෙද් දී රට සාමාන්‍ය තත්ත්වයට ගැනීම සඳහා රජය විශේෂ පරිශ්‍රමයක් දරයි. මෙබඳු පරිසරයක් තුළ වගවීමක් ඇති ව සිය ජීවන ක්‍රියාවලිය මෙහෙයවා ගැනීමට කව්රුත් උත්සුක විය යුතුව තිබේ.

 


නව අදහස දක්වන්න