අල්ලන සියල්ල පෙන්විය යුතුද? | දිනමිණ

අල්ලන සියල්ල පෙන්විය යුතුද?

දිනපතා රටේ විවිධ ප්‍රදේශවලින් අල්ලාගනු ලබන කඩු, කිණිසි හා කෙටේරි දකින කෙනකු දුටුගැමුණු එළාර වැනි මහා යුද්ධයක් ගැන උපකල්පන ඇති කරගන්නට පුළුවන. එය යහපත් දෙයක් නොවේ. එක අතෙකින් ජාතිවාදය හා ආගම්වාදය නැගී සිටින්නට පුළුවන. තව අතකින් බිය, සැකය හා අවිනිශ්චිතභාවය ව්‍යාප්ත වන්නට පුළුවන. මෙයින් අර්ථවත් වන්නේ ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම් නැවැත්විය යුතු බව නොවේ. අවි ආයුධ පෙන්වා මිනිසුන්ගේ හා දරුවන්ගේ සිත් දූෂ්‍ය නොකළ යුතු බව එහි යටි අදහසය. අල්ලා ගනු ලබන සියලු අවි ආයුධ ප්‍රදර්ශනය කළ යුතුද? නැත! අල්ලා ගත් ආයුධවල ප්‍රමාණය කීමෙන් පමණක් සෑහීමකට පත්වීම වඩා යහපත්ය.

කලකට පෙර අමෙරිකාවේ සිදුවන අපරාධ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. විශේෂයෙන් දරුවන් අතර පවා අපරාධ ප්‍රචලිත විය. දරුවෝ ද අපරාධ සිදු කරන්නට පටන් ගත්හ. මීට හේතු සාධක සෙවූ එරට සමාජ විද්‍යාඥයෝ රූපවාහිනියේ ප්‍රදර්ශනය කරන ක්‍රියාදාම චිත්‍රපටවලින් ද, මිනිමැරීම් පිළිබඳ ප්‍රවෘත්තිවලින්ද මිනිසුන්ගේ හා දරුවන්ගේ සිත් දූෂ්‍ය වී ඇතැයි පෙන්වා දුන්හ. අපරාධ පිළිබඳ කතා රඟදැක්වීමෙන්ද, ඒවා උත්කර්ෂයට නැංවීමෙන්ද අපරාධ සඳහා පෙළඹවීමක් ඇතිවන බව පිළිගත් කාරණයකි. දැන් අප සිදු කරමින් සිටින්නේ ද පුරවැසියන් එම තත්ත්වයට තල්ලු කිරීමකි. ඒ ගැන අපේ ජනමාධ්‍යයවල අවධානය යොමු විය යුතුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය රටේ ප්‍රධාන ජනමාධ්‍යවලින් ඉල්ලීමක් සිදුකර තිබේ. එම ඉල්ලීමේ සඳහන් වන්නේ ආරක්ෂක අංශ සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ සජීවී දර්ශන ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසය. මේ අවස්ථාවලදී සාමාන්‍ය මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්වන බවද, සාමාන්‍ය පුද්ගලයන් පවා සැකකරුවන් ලෙස පෙනී යන බවද අවධාරණය වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද ජනමාධ්‍ය වෙතින් ඉල්ලීමක් කර ඇත. එහි සඳහන් වන්නේ මෙහෙයුම්වලින් ආරක්ෂක අංශ භාරයට ගනු ලබන අවි ආයුධ ප්‍රදර්ශනයෙන් වළකින ලෙසය. මෙබඳු අවි ආයුධ දැකීමෙන් දරුවන්ගේ සිත් දූෂ්‍ය විය හැකිය. අනවශ්‍ය බියක් හා සැකයක් ද ව්‍යාප්ත විය හැකිය.

ජනමාධ්‍ය වාර්තාකරණයට බාධාවක් හැටියට ද, ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් හැටියට ද කෙනකු මෙය අර්ථ දක්වන්නට පුළුවන. ඒත් ඕනෑම රාජ්‍යයක් මෙබඳු සංවේදී අවස්ථාවකදී යම් සීමා මායිම් ලකුණු කරගෙන වාර්තාකරණයෙහි යෙදෙන බව පෙනී යයි. ඇතැම් විට රජයේ සීමා මායිම් ලකුණු කරන අතර ඇතැම් විට ජනමාධ්‍ය සීමා මායිම් ලකුණු කරගන්නා බවක් දකින්නට තිබේ. අපේ රටේ පවත්නා වාර්තාකරණ තරගය නිසා ඇතැම් ජනමාධ්‍ය සීමා මායිම් ඉක්මවා යන බවක් පෙනෙයි. සමාජ මාධ්‍යවලට සීමා මායිම් නැති බැවින් ද, ආචාරධර්ම නොපිළිගන්නා බැවින් ද ඔවුහු සියල්ල වාර්තා කරති. එහෙත් ඊට තිත තැබීම අපහසුය. රටේ පිළිගත් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ඒ තත්ත්වයට පත්විය යුතු නැත. මේ ආයතනවලට බරපතළ සමාජ වගකීමක් ඇති බව පෙන්වා දිය යුතුය.

එක්තරා කාලයක ප්‍රධාන විද්‍යුත් මාධ්‍යයක් අපරාධ කතා පෙළක් නාට්‍යානුසාරයෙන් රඟදක්වා විකාශය ‍කළේය. මේ වැඩසටහන බෙහෙවින් ජනප්‍රිය විය. උක්ත කතාවස්තුවලට මූලික වශයෙන් විෂය වූයේ පොලිසිය අපරාධකරුවන් අල්ලාගනු ලබන උපාය මාර්ග රඟදැක්වීමටය. එහෙත් ඒ වැඩසටහන අපරාධ පිළිබඳ විද්‍යාඥයන්ගේ විවේචනයට ලක්විය. ඔවුහු ප්‍රධාන තර්ක දෙකක් ඉදිරිපත් කළහ. පළමුවන්න වූයේ මේ මඟින් ආරක්ෂක අංශවල උපායමාර්ග අපරාධකරුවන් අතර ප්‍රචලිත වීමය. එය භයානකය. දෙවන්න වූයේ මේ මඟින් දරුවන් පවා අපරාධවලට පෙළඹවිය හැකි බව ය. වැඩිකල් නොයාම උක්ත වැඩසටහන නවතා දැමීමට සිදු විය. වැඩසටහන් සම්පාදනය මෙන්ම වාර්තාකරණය ද පරෙස්සමෙන් කළ යුතුය.

පවතින තත්ත්වයට අනුව රට ප්‍රධාන අභියෝග කිහිපයකට මුහුණ දෙයි. සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟීම එක අභියෝගයකි. පුරවැසියන්ගේ බිය, සැකය හා අවිනිශ්චිතතාව දුරුකිරීම තව අභියෝගයකි. ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම තවත් අභියෝගයකි. ජනතාව කඩු කිණිසි දෙස බලමින් අනාගත යුද්ධයක් ගැන උපකල්පනය කරන්නට වූ කල ඉහත සදහන් කිසි දෙයක් සිදුවන්නේ නැත. ආරක්ෂක අංශ ඔවුන්ගේ රාජකාරිය ඉතා හොඳින් කරගෙන යන බව පෙනෙයි. ඊට ඉඩහසර ලබා දී ජනතාව සාමාන්‍ය පරිදි කල් යැවීම ඉතා කාලෝචිත ක්‍රියාවකි. ජනතාවගේ හැඟීම් ඇවිස්සීම ආරක්ෂක අංශවල මෙහෙයුම්වලට බාධාවක් බව සිහි තබා ගැනීම වැදගත්ය.

පාසල්වලට ලබා දෙන ආරක්ෂාව තහවුරුකොට පාසල් විවෘත කළද ශිෂ්‍ය ප්‍රජාවගේ පැමිණීම යහපත් වූයේ නැත. සතියේ මුල් දවස් තුනේම සිසුන්ගේ පැමිණීම ඉතා දුර්වල විය. මේ අතර පෞද්ගලික පංතිවලට පැමිණීම පිළිබඳ ප්‍රශ්නයක් නොතිබූ බව පෙනෙයි. සෑම පෞද්ගලික පංතියකම පාහේ පැමිණීම සුපුරුදු තත්ත්වයක තිබූ බව වාර්තා වී ඇත. පාසලට නැති ආරක්ෂාවක් පෞද්ගලික පංතිවලට ලැබෙන්නට හේතුවක් නැත. මෙයින් පෙනී යන්නේ දරුවන්ගේ හා මාපියන්ගේ ආකල්පය යැයි සිතන්නට පුළුවන. බොහෝ දෙනා රජයෙන් සියයට සියයක ආරක්ෂාවක් අපේක්ෂා කරති. එහිලා සිදුවිය යුතු තමන්ගේ දායකත්වය ගැන වැඩි දෙනෙක් කල්පනා නොකරති. ආරක්ෂාව අප සියල්ලන්ගේම වගවීමක් බව සිහිපත් කළ යුතුය.

යුරෝපා සංගමයේ ආරක්ෂක විශ්ලේෂකයෙක් මෑතකදී කියා ඇත්තේ අයි. එස්. අයි. එස්. සංවිධානයට අයත් දරුවන් හතළිස්පන්දහසක් සිටින බව හා ඔවුන් අතිශය අනතුරුදායක බවය. මේ දරුවන්ගේත් කොටසක් අත්අඩංගුවට ගත් සැකකාරියන්ට හිරගෙවල්වලදී ලැබුණු දරුවෝ වෙති. තව කොටසක් අයි. එස්. පුහුණුව ලබද්දී අත්අඩංගුවට ගත් දරුවෝ වෙති. සියලු දෙනාගේම මනස අන්තවාදයෙන් පුරවා ඇතැයි ඉහත විශ්ලේෂකයා පෙන්වා දෙයි. දරුවන්ගේ ඔළුගෙඩි තුළට අන්තවාදය ඇතුළත් කිරීම අතිශය භයානකය. ඉරාකයේ ද, සිරියාවේ ද, අයි. එස්. බලය දුර්වල වී ඇති බැවින් ආසියාවේ සෙසු රටවල් කරා එහි බලපෑම යොමු වෙයි. මෙබඳු අවස්ථාවක ඉතා පරිස්සමෙන් ක්‍රියා කිරීම කාටත් පැවරෙන වගකීමකි.

 


අදහස් 1ක් ඇත

Great

නව අදහස දක්වන්න