ත්‍රස්ත ප්‍රහාර ගැන ජාතික ඔත්තු සේවා දැනුවත්කර තිබියදී වගකීම් පැහැර හැර තිබීම ගැන සොයා බලනවා | දිනමිණ

ත්‍රස්ත ප්‍රහාර ගැන ජාතික ඔත්තු සේවා දැනුවත්කර තිබියදී වගකීම් පැහැර හැර තිබීම ගැන සොයා බලනවා

සුභාෂිණී සේනානායක

ත්‍රස්ත කල්ලියක් විසින් දිවයිනේ ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට ජාතික ඔත්තු සේවා මගින් දැනුවත් කර තිබී ඇති බවත් සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් පිපිරීමට මිනිත්තු 10කට පෙරත් ආරක්ෂක අංශ වෙත දන්වා තිබී ඇති බවත් පවසන සෞඛ්‍ය සහ පෝෂණ ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ආරක්ෂක අංශවල යම් දුර්වතාවක් තිබූ බවත් ඔවුන්ගේ වගකීම් පැහැර හැරීම් පිළිබඳ සොයා බලන බවත් අවධාරණය කරයි.

මොහොමඩ් ෆාරාන් නැමැති ත්‍රස්තවාදියා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට ආරක්ෂක අංශ දැනුවත් වන ලෙසට දැනුම් දී තිබියදීත් රටේ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුවත්

වීමත් සිදු වී නොමැති බවත් ඇමතිවරයා කිය.

රජයක් ලෙස සමස්ත කැබිනට් මණ්ඩලයම විපතට පත් ජනතාවගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන බව පවසන ඇමැතිවරයා රජයක් ලෙස සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විශාල ශෝකයක් ඇති බව ද කියා

සිටී.සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්වූ බවත් එහි දී ගත් තීන්දු තීරණ පිළිබඳ සමූහික වගකීමෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරුන් මෙතනට පැමිණ සිටින බවත් ඇමැතිවරයා කියා සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් සවස කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරන බව පැවසූ ඒ මහතා මේ අවස්ථාවේ ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබිය දී ඒ සම්බන්ධයෙන් නිසියාකාරයෙන් කටයුතු සිදු නොකළ පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කරන බවත් කියා සිටියේය.

මෙවැනි සිදුවීමක් හමුවේ පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු වන්නේ නැද්දැයි මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ මෙවැනි අවස්ථාවක වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවය.

ඊයේ(22) කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටි ඇමැතිවරයා එහිදී මෙසේද කියා සිටියේය.

අපි කැබිනට් මණ්ඩලය රජයක් විදියට ඒකමතිකව තීරණය කළා ආණ්ඩුවේ සියලුම ඇමැතිවරුන් නියෝජනය වෙමින් අද මාධ්‍ය හමුවක් තියලා විපතට පත් ජනතාවට අපගේ ශෝකය ප්‍රකාශ කරන්න. ආණ්ඩුව වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරනවා සිදුවූ මහා විනාශය පිළිබඳ. අප වගකීමෙන් බැහැර වෙන්නේ නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කර නැවතත් මෙවැනි දේ සිදු නොවීමට කටයුතු කිරීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා. සමහර අය කියනවා ඔවුන් සිටියනම් මෙවැනි දේ සිදු වන්නේ නැහැ කියලා. මමත් ඒ අයගේ කැබිනට් මණ්ඩලයේ සිටි කෙනෙක් ලෙස මම දන්නවා අඩියෙන් අඩිය මාර්ග බාධක තිබිය දී ත්‍රස්තවාදීන් මෙවැනි පිපිරීම් විශාල ප්‍රමාණයක් සිදු කළා. පැය 24ක කාලයක් ඇති ඔව්න්ට මෙවැනි දේ සිදු කරන්නට.

ජාතික ඔත්තු සේවා සිද්ධිය සිදුවීමට මිනිත්තු 10කට පෙර අවසන් වරට මේ පිපිරීම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා. මුල් වරට ඔවුන් දැනුවත් කර තිබෙන්නේ සිදුවීමට දින 17කට පෙර එනම් අප්‍රේල් මස 04 වනදායි. සිද්ධිය සම්බන්ධයෙන් පළමු ලිපිය අප්‍රේල් මස 09 වනදා ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලෙක්ම්වරයා වෙනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පතිවරයා වෙත දන්වා යවා තිබෙනවා. ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama'ath - NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී තිබෙනවා. විශේෂ ආරක්‍ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා විසින් ඇමැති ආරක්‍ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්‍ෂක කොට්ඨාසය, විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය සහ තානාපති ආරක්‍ෂක කොට්ඨාසය යන ආරක්‍ෂක කොට්ඨාසවල අධ්‍යක්‍ෂවරුන් වෙත මේ පිළිබඳ ලිපි මගින් දැනුවත් කර තිබෙනවා. අප්‍රේල් මස 11 දින නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ටත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා. නමුත් එම දැනුවත් කිරීම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට සහ අගමැති ආරක්ෂක කොට්ඨාසයට ලබා දී නැහැ. ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන නිසා එවැනි දැනුවත් කිරීමක් නොකරන්න ඇති. මෙම ලිපියෙන් ප්‍රභුවරුන්ගේ ආරක්ෂාව දැඩි කරන ලෙස තහවුරු කර තිබෙනවා. නමුත් මෙය අනුශාංගික වැඩක්. රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග තමයි මෙහි දී වැදගත් වන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට කැඳවීමක් ලැබෙන්නේ නැහැ. මෙම සංවිධානයේ සහරාන් අස්මි, රිල්වාන්, මවුලවි ඇතුළු ත්‍රස්ත පිරිසගේ නම් පවා ඇතුළත් කර ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා. මේ ලිපියෙන් පසුව සියලුම අංශවල ප්‍රභූ ආරක්ෂාව තර කරන ලෙස අදාළ අධ්‍යකවරයා අදාළ අංශ වෙත දැනුවත් කර තිබුණ ද මේ පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂ අංශ දැනුවත් කර නැහැ. එසේ නොකිරීම් විශාල අඩුවක්. ජනාධිපතිවරයා ආරක්ෂාව භාරව සිටින නිසාත් අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වගකීමක් නැති නිසා එතුමාට නොදන්වා සිටියා වන්නට ඇති. එහෙත් සිදු කළ යුතු වන්නේ ප්‍රභූ ආරක්ෂාව සපයන එක නෙවෙයි. එය ආනුශංගිකව සිදු කළ යුතු වැඩක්. මුලින්ම සිදු කළ යුතු වන්නේ රටේ ආරක්ෂාව තර කිරීමයි. මොහොමඩ් ෆාරාන් නමැති ත්‍රස්තවාදියා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට ආරක්ෂක අංශ දැනුවත් වන ලෙසට දැනුම් දී තිබියදීත් රටේ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් සිදු වී නැහැ. ඔක්තෝබර් 26 සිදුවීමෙන් පසුව දෙසැම්බර් 26 රජය පිහිටුවීමෙන් පසුව ආරක්ෂක මණ්ඩලය රැස්වුනත් ඒ රැස්වීමට අග්‍රාමාත්‍යවරයාට කැඳවීමක් සිදු කර නැහැ. 1988න් පසුව එලෙස සිදු වන්නේ පළමු වරටයි. 1988 සිට 2018 ඔක්තෝබර් මස 26 වනදා දක්වා පැවැති සියලුම ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට රටේ සිටි සියලුම අග්‍රාමාත්‍යවරුන් සහභාගී වී තිබෙනවා. ඔවුන්ව ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවනවා. අග්‍රාමාත්‍යවරයා හෝ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් වී නැහැ. සිද්ධිය වූ අවස්ථාවේ ජනාධිපතිවරයා විදේශ සංචාරයක නිරතව සිටිය දී වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කර නැහැ. මෙවැනි චක්‍රලේඛයක් ගැන අමාත්‍යවරුන් ලෙස අපිට අවබෝධයක් නැහැ. සිද්ධිය වූ දින සවස ජනාධිපතිවරයා විදේශ සංචාරයක නිරත වෙලා සිටින බැවින් අග්‍රාමාත්‍යවරයා විසින් සවස හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදෙව්වා. අරලියගහ මන්දිරයේදී. එහෙත් ආරක්ෂක මණ්ඩලය එහි ආවේ නැහැ. අග්‍රාමාත්‍යවරයා නිහතමානි වෙලා ආරක්ෂක මණ්ඩල කවුන්සිලයට ගියා. ඒ තරමට එතුමා නිහතමානි වෙලා එහි ගියත් එතුමාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාමරයේ මිනිත්තු 20ක් පමණ වාඩි වී සිටීමට සිදු වුණා. එහෙත් එතුමා එම කාලය එහි රැඳී සිටිමින් ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වී ගත යුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නා. සාකච්ඡා කළා. 88 සිට අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස අද්දැකීම් තිබෙනවා. මේ රටේ අද එලෙස අද්දැකීම් තිබෙන වෙනත් පුද්ගලයකු නැහැ. අග්‍රාමාත්‍යවරයා සිද්ධිය වූ දිනම සවස කැබිනට් මණ්ඩලය රැස් කළා. ආරක්ෂක අංශ හමු වුණා. ආරක්ෂක මණ්ඩලය අගැමැතිවරයා කැඳෙව්වම ඔවුන් එන්නේ නැති තැනට මේ රට තුප්පහි දේශපාලනය ගෙනවිත් තිබෙනවා. ජනාධිපතිවරයා මෙරටට පැමිණ ආරක්ෂක මණ්ඩලය කැදෙව්වා. ඒ අවස්ථාවට අගමැතිවරයා සහභාගී වුණා. ඉහළ සිට පහළට මේ වැරැද්ද සිදු වූ අයුරු සොයා බලන්න ඕන. කැබිනට් මණ්ඩලය අගමැතිවරයා මේ පිපිරීම් සම්බන්ධයෙන් දැනුවත් වීමක් සිද්ධියට පෙර සිදුවී නැහැ. එහෙම වුණා කියලා අපිට වගකීමෙන් මිදෙන්නට බැහැ. එහෙම කියලා අපිට වගකීමෙන් ඉවත් වෙන්න බැහැ. ආරක්ෂක අංශ වාර්තා දැනගත් අවස්ථාවේ අපි මවිතයට පත් වුණා. පෙරේදා අපි දැනුවත් වූ අවස්ථාවේ සිටම ඇමැතිවරුන් අදාළ අංශ බෙදාගෙන අවශ්‍ය කටයුතු සිදු කළා. මේ සිද්ධිය සුළු පටු සිදුවීමක් නෙවෙයි. දිවයිනේ ත්‍රස්ත කල්ලියක් සිදු කළ වැඩක් කියා මා සිතන්නේ නැහැ. මෙය බැරෑරුම් ත්‍රස්ත කල්ලියක වැඩක්. දිගින් දිගටම ජාත්‍යන්තර ආයතන මේ ගැන දැනුම් දී තිබෙනවා. කතෝලික දේවස්ථාන ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවට කියා තිබෙනවා. අවසන් වරට සිද්ධියට පෙර මිනිත්තු 10කට පෙරත් මේ ගැන දැනුවත් වීමක් ආරක්ෂක අංශ වෙත ලැබී තිබෙනවා. සිද්ධියට පෙර දිනයේත් මේ ගැන දැනුවත් වීමක් ලැබී තිබෙනවා. මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි වුණා සේම තුවාලකරුවන් 500 ඉක්මවා සිද්ධියෙන් තුවාල ලබා තිබෙනවා. දියුණු වෙමින් තිබූ මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා මෙන්ම දියුණු තත්ත්වයේ තිබූ ආගමික සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ල වුණා. මේ සිද්ධියට පෙර මාවනැල්ලේ සිදුවූ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙක් රජයේ ඉහළම දේශපාලකයකුගේ ඉල්ලීම මත අත්අඩංගුවේ සිටිය දී මුදා හැර තිබෙනවා. මේ මුදා හැර ඇති සැකකරුවකු මරාගෙන මැරෙන බෝම්බකරුවක් ලෙස ප්‍රහාරයක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මා ස්තූති කරනවා සිද්ධිය වූ අවස්ථාවේ කැප වී කටයුතු කළ සෙඛ්‍ය කාර්ය මණ්ඩලයට. සිද්ධියෙන් පැය කිහිපයක් තුළ තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රථීකාර ලබා දෙන්නට ‍ජාතික රෝහල ඇතුළු රෝහල් සමත් වුණා. වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය කැප වී කිටයුතු සිදු කළා. ඒ අවස්ථාවේ ඇති වූ ලේ හිඟය දැනගත් මෙරට ජනතාව සියලුම රෝහල් කරා ගොස් ලේ පරිත්‍යාග කළා. මේ වන විට ලේ අතිරික්තයක් පවා තිබෙනවා. එමෙන්ම 1990 ගිලන් රථ සේවය අපිට විශාල ශක්තියක් වුණා. පළමු තුවාලකරුවන් ගෙන ගියේ 170 බස් රථයක් බවට තොරතුරු ලැබුණා ඉන් පසුව සෑම රෝගියෙක්ම අවශ්‍ය ප්‍රථිකාර ලබා දෙමින් රෝහල් කරා ගෙන ගියේ 1990 ගිලන් රථ සේවයයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා-

මාවනැල්ල සිද්ධිය වූ අවස්ථාවේ අත්අඩංගුවට ගත් අයකු රජයේ ප්‍රබල දේශපාලකයකුගේ ඉල්ලීම මත මුදා හැර තිබෙනවා.අත්අඩංගුවේ සිටිය දී මුදා හැර ඇති එම සැකකරුවා මේ ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ ගැන දැන් සොය බලමින් තිබෙනවා. අපි මාවනැල්ල සිද්ධිය අවස්ථාවේ අවශ්‍ය සියලුම සහාය ලබා දුන්නා. සාමකාමීව සිටීමට රටක් ලෙස අපි බැදී සිටිනවා. මගේ ලේකම්වරයකු මාවනැල්ල සිද්ධියේ තොරතුරු ලබා දීම නිසා ඔහුට නාදුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. ඔහු තවමත් රෝහලේ ප්‍රථිකාර ලබනවා.‍ මා මේ සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන් සිටින බවට ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවක ප්‍රකාශ කළා. විධිමත් පරීක්ෂණයක් කරන බවට එතුමා මට දැනුම් දුන්නා. වනාතවිල්ලුව කඳවුරක් තිබෙන බවට පොලිස්පතිවරයා දැනුම් දුන්නටම අපි ඒ සඳහා සියලු සහාය ලබා දුන්නා. ඒ නිසයි මගේ ලේකම්වරයාට ප්‍රහාරයක් එල්ල වූයේත්. ප්‍රබල දේශපාලනඥයකුගේ ඉල්ලීමක් මත මේ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් සැකරුවෙක් මුදා හැර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි සොයා බලමින් සිටිනවා. ඒ තොරතුරු අපි ඉදිරියේ දී හෙලි කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා-

මේ වන විට රටේ ආරක්ෂාව තර කර තිබෙනවා. මේ තත්ත්වය ඇති වූ අවස්ථාවේ සිට ගත යුතු සියලු තීරණ ගැනීමට රජය කටයුතු කළා. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට රජය පියවර ගන්නා බව කිව යුතුයි. එමෙන්ම සියලුම ජාතීන් ත්‍රස්තවාදීන් නෙවෙයි. සමහර අය අනත්වාදීන් ලෙස මේ අවස්ථාවේ බොර දියේ මාලු බානවා. ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුම ජාතීන් මේ තත්ත්වයට මුහුණ දෙමු.

ජලසම්පාදන හා ජලාපවාහන ඇමැති රවුෆ් හකීම් මහතා-

මා සිද්ධියෙන් විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් මුස්ලිම්වරුන්ගේ ශෝකය ප්‍රකාශ කරනවා. මේ වන විට පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට අසත්‍ය පුවත් පළ වනවා. එය ජනතාව අතර යොමු කිරීමට ගොතා ඇති අසත්‍ය ප්‍රචාරයක්. ජලය ඉතාමත් ආරක්ෂාකාරිව බෙදා හරින බව මේ රටේ ජනතාවට මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වන ලෙස සියලු මුස්ලිම්වරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

කර්මාන්ත හා වානිජ කටුයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා-

ආරක්ෂක අංශ තොරුතරු ලැබීම සම්බන්ධයෙන් වූ අඩුවක් නිසා මේ සිදුවීම සිදුවුණා. මේ සිදුවීම ලැජ්ජාසහගත සිදුවීමක්. එය හෙලා දකිනවා. ඉස්ලාම් ආගම‍ෙ මේවාට ඉඩ නැහැ. මවුලවිතුමාගේ නායකයා වන මක්ක්ම පියතුමා හමු වී මේ සම්බන්ධයෙන් ගත යුතු තීරණ ගන්නවා සේම මේ කණ්ඩායම් සම්පූර්ණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. වසර 30ක යුද්ධයකට අපි මුහුණු දුන්නා. මේ ත්‍රස්ත සංවිධානය ලියාපදිංචි සංවිධානයක් නෙවෙයි.

ජාතික සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා-

මා සිද්ධිය සම්බන්ධයෙන් එම විපතට පත් ජනතාවට ශෝකය පුද කර සිටිනවා. මේ සිද්ධියට පෙර දිනයේ මගේ ආරක්ෂකයා ආරක්ෂාව වැඩි කළ යුතු බවට මට දැනුම් දුන්නා. මින් පෙර අවස්ථාවල මෙවැනි දේ සම්බන්ධයෙන් මා දැනුවත් කරනවා. එහෙත් මෙවැනි විපතක් සම්බන්ධයෙන් දැනුවත් වීමක් සිදු වුනේ නැහැ. ප්‍රභූ ආරක්ෂාව වැඩි කළ යුතු වන බවටයි ඔහු මට දැනුම් දුන්නේ. ආරක්ෂාව සම්බන්ධයෙන් වූ අඩු-පාඩුවක් නිසා මේ විපත සිදු වී තිබෙනවා. රජයක් ලෙස අපි එක්ව මේ තත්ත්වය පාලනය කළා සේම මේ ත්‍රස්ත කල්ලිය මුලිඅනුපුටා දැමීමට පියවර ගන්නවා.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එජාප උපනායක සජිත් ‍ප්‍රේමදාස, නියෝජ්‍ය නායක රවී කරුණානායක, පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, රන්ජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රාණි බණ්ඩාර, වජිර අබේවර්ධන, හර්ෂ ද සිල්වා, මනෝ ගනේෂන්, ජෝන් අමරතුංග, මලික් සමරවික්‍රම, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, නවීන් දිසානායක, පලනි දිගම්බරන්, දයා ගමගේ, නිලන් බණ්ඩාර, අජිත් පී පෙරේරා සහ මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, ආශු මාරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න