ශ්‍රී ලංකාවේ මීටර් 400 පදක්කම ගිලිහී යයි | දිනමිණ

ශ්‍රී ලංකාවේ මීටර් 400 පදක්කම ගිලිහී යයි

ප්‍රින්ස් ගුණසේකර දෝහා කටාර් සිට...

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ මීටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයකදීම පදක්කම් රැසක් දිනා තිබුණද දෝහා කටාර් හීදී එම බලාපොරොත්තු සුන්වී යයි. ශ්‍රී ලංකා නාමය ඉදිරියේ පදක්කම් අපේක්ෂාවක් බවට පත්ව සිටි මීටර් 400 ක්‍රීඩිකා නදීෂා රාමනායක එම ඉසව්වේ අවසන් තරගයේදී පස්වැනි ස්ථානයට පත්වූ අතර පිරිමි මීටර් 400 අවසන් පූර්ව වටයේදී අජිත් ප්‍රේමකුමාර ද ඉවතට ගියේය.

වසර 1995 සිට අවස්ථා කිහිපයකදීම ආසියාවේ කාන්තා හා පිරිමි මීටර් 400 රන් කිරුළ දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න හා ප්‍රසන්න සම්පත් අමරසේකර වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුකරගත් අතර රිදී හා ලෝකඩ පදක්කම් චන්ද්‍රිකා සුභාෂිණී, මේනකා වික්‍රමසිංහ හා රොහාන් ප්‍රදීප් කුමාර දිනා තිබිණි. එයින් පසු මීටර් 400 ආසියානු පදක්කම් අතර ශ්‍රී ලංකා නාමය නොරැදුණි.

එහෙත් නදීෂා රාමනායක කලීෆා ක්‍රීඩාංගණයේ පෙරේදා රාත්‍රියේ පැවැති තරගයට පෙර ශ්‍රී ලංකාවේදී තත්පර 53. 03ක දක්ෂතාවක් පෙන්නුම් කර තිබූ හෙයින් යළිත් මීටර් 400 පදක්කම් බලාපොරොත්තුවක් ඇතිවුණි. ශ්‍රී ලංකාවේදී වාර්තා කළ කාලය ඇය දෝහා හීදී වාර්තා කළේ නම් ශ්‍රී ලංකාවට පදක්කමක් කරා පහසුවෙන් යා හැකිව තිබුණද, පෙරේදා පැවැති අවසන් තරගයේදී ඇය තත්පර 53.98කට සීමා විය. රන් පදක්කම දිනාගත් බහරේනයේ සල්වා නසීර් තත්පර 51.34කින්, රිදී පදක්කම දිනාගත් කසකස්තානයේ එලීනා මිකින්වා තත්පර 53.19කින් හා ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දියාවේ පූවම්මා රාජූ තත්පර 53.21කින් තරගය නිමකර පදක්කම් බෙදා ගත්හ.

නදීෂා මේ තරගයේ අවසන් මීටර් 300 දක්වා ඉදිරියෙන් ධාවනයේ යෙදුණද, නිමාවීමට තත්පර කිහිපයක් තිබියදී ඇය පසුකොට අනෙක් ක්‍රීඩිකාවෝ ඉදිරියට ඇදුනාහ. පෙරේදා පෙරවරුවේ පැවැති මූලික වටයේදී නදීෂා තත්පර 53. 66ක කාලයකින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තද, මේ තරගයට දින දෙකකට පෙර කොළඹ සිට දෝහා වෙත පැමිණීමෙන් අධික වෙහෙසකර තත්ත්වයකින් පසුවූවාය. එය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට බාධාවක්වූ පැවැසේ.

දකුණු පළාතේ වීරකැටිය මධ්‍ය මහා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ දැනට 25 හැවිරිදි නදීෂා රාමනායක ශ්‍රී ලංකාවේදී මීටර් 400 ඉසව්වේ වාර්තා කළ දක්ෂතාව මෙතෙක් මීටර් 400 කාන්තා තරගයකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ හොඳම සිවුවැනි කාලය බැවින් ඇයට පැහැදිලි අනාගතයක් ඇති බව පෙනේ.

මෙයට පෙර දමයන්ති දර්ශා, චන්ද්‍රිකා සුභාෂිණී හා මේනකා වික්‍රමසිංහ මීටර් 400 කාන්තා ඉසව්වේ හොඳම කාලය වාර්තා කර තිබිණි. ඇයට තවත් එක් ඉසව්වක් ඉතිරිව ඇති අතර මේ ශූරතාවලියේ අවසන් දිනයේදී (24දා) මීටර් 400 කාන්තා සහාය දිවීමේ තරගයට එක්වීමේ සූදානමකින් සිටී.

පිරිමි මීටර් 400 ඉසව්වට එක්වූ අජිත් ප්‍රේමකුමාර මූලික වටයේදී තත්පර 47.31ක කාලයක් වාර්තා කොට අවසන් පූර්ව වටයට පිවිසියද එම අවසන් පූර්ව වටයේදී ක්‍රීඩකයන් 16ක් අතුරින් තත්පර 47. 07ක කාලයක් වාර්තා කොට 11වැනි ස්ථානයට පත්ව ඉවතට ගියේය.

මීටර් 800 පිරිමි අවසන් පූර්ව වටයේදී රුසිරු චතුරංග මිනිත්තු 1:51.02කින් 9වැනි ස්ථානයට පත්වූ අතර මූලික වටයේදී ඔහු මිනිත්තු 1:50.55කින් තරගය නිම කළේය. හිමාෂ ඒෂාන් පෙරේදා මීටර් 100 මූලික වටයේදී තත්පර 10.42කින් තරගය නිමකොට අවසන් පූර්ව වටයට පිවිසි අතර මූලික වටයේ තරග 5ක ක්‍රීඩකයන් 40ක් අතුරින් ඔහු 9වැනි ස්ථානයේ පසුවේ. කෙසේ වුවද මේ මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් කොළඹදී පැවැති තේරීම් තරගයේදී මීටර් 100 තරගය තත්පර 10.22කින් නිමකොට ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට හිමාෂ ඒෂාන් සමත්ව සිටී.

ඔහුගේ එම දක්ෂතාව සංසන්දනය කිරීමේදී දෝහා ශූරතාවලියේ මූලික වටයේදී බහරේනයේ ඇන්ඩෘ ෆිෂර් (තත්. 10.15) හා කටාරයේ ජෝෂප් ටොසින් (තත්. 10. 22) පමණක් ඉදිරියෙන් සිටිති. එහෙයින් හිමාෂ මෙයට සති කිහිපයකට පෙර කොළඹදී දැක්වූ දස්කම් ප්‍රදර්ශනය කළහොත් පදක්කමක් දිනා ගැනීමේ හැකියාව හොඳින්ම පවතී. කාගේත් වැඩි අවධානයක් ඇති මීටර් 100 පිරිමි අවසන් පූර්ව තරගය හා අවසන් තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.

නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න සහභාගීවන මීටර් 800 කාන්තා තරගය, ග්‍රේෂන් ධනංජය සහභාගීවන තුම් පිම්ම පිරිමි අවසන් තරගය හා සුමේධ රණසිංහගේ හෙල්ල විසිකිරීමේ අවසන් තරගය පුවත්පත මුද්‍රණයට යද්දී නිමාවී නොතිබිණි.

 


නව අදහස දක්වන්න