අන්තවාදය පරාජය කිරීම | දිනමිණ

අන්තවාදය පරාජය කිරීම

“ඔබ නිදහසේ ඔබගේ ආගම අදහන්න. එලෙසම අනෙකාට ඔහුගේ ආගම අදහන්නට ඉඩ දෙන්න” යනුවෙන් නබිනායකතුමා වරක් ප්‍රකාශ කළේ ය. ලොව කිසිදු ආගමක් අනෙකුත් ආගම් හා දර්ශන පහත්කොට සලකන්නේ නැත. කිසිදු ආගමික නායකයකු සෙසු ආගම් හා දර්ශන හෙළා දැක නැත. මේ පාඩම අප සියලු දෙනාට ම ඉතා වැදගත් ය. රටක් හා ජාතියක් දියුණු වීමට නම්; ආගමික සහජීවනය හා ජාතික සමගිය අත්‍යවශ්‍ය වේ. එය දැනගෙන ක්‍රියාකිරීම ඉතා වැදගත් ය. ශෝචනීය අවස්ථාවේ ලෝක නායකයන් අපට ලබාදෙන වැදගත් පණිවිඩය ද එය ම වේ. ඉරිදා ඇති වූ සිද්ධිදාමය ආගමික සහජීවනයට බාධාවක් නොවිය යුතුය.

පාස්කු ඉරිදා ඛේදවාචකය පිළිබඳ පසු විපරමක යෙදෙන විට පෙනී යන්නේ අප කා අතිනුත් අතපසුවීම් සිදු වී ඇති බව ය. යුද්ධය පවතින සමයේ පැවැති පරීක්ෂාව හා සෙවිල්ල දැන් නැත. මිනිස්සු පරීක්ෂාව හා සෙවිල්ල කරදරයක් සේ සලකති. එලෙස ම පරීක්ෂාවට හා සෙවිල්ලට එරෙහි ව ක්‍රියා කරන අය ද සිටිති. දේවස්ථානයකට විශාල බෑගයක් ද රැගෙන හදිසියේ කඩා වදින පුද්ගලයකුට බාධා කරන්නට කෙනකු නැත. ඔහු නවතන්නට කෙනකු ද නැත. මිනිසුන් බහුල ව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන ත්‍රස්තවාදියකුට හොඳ ගොදුරු බිමකි. එබඳු ස්ථාන තවම නිදහස් ලෙස පවතී නම් ආරක්ෂාව දැඩි කළ යුතුව තිබේ.

ප්‍රහාරය අන්තවාදී කොටසක් විසින් සිදුකරන ලදැ’යි දැනට නිගමනය කර තිබේ. එසේ නම්; අප සොයා බැලිය යුත්තේ මෙබඳු සංවිධාන බිහිවන්නේ කෙසේ ද? ඒවා පසුපස සිටින්නෝ කවරහු ද? ආදිය යි. අන්තවාදයට අදාළ සිද්ධි හා තොරතුරු ගණනාවක් මීට පෙර වාර්තා වී තිබිණි. වරක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනිණි. බුද්ධි අංශවල තොරතුරුවලට අනුව ප්‍රහාරයක් පිළිබඳ පූර්ව සාධක ද සොයාගෙන තිබිණි. එහෙත් අදාළ අංශ වෙත ඒවා වාර්තා වී තිබුණේ ද යන්න සැකයකි. ප්‍රහාරයක් වැළැක්වීමට අවශ්‍ය පෙර සූදානම තිබුණේ නැති බව පමණක් අපට පෙනෙයි. එය අතපසුවීමක් ද? නැතහොත් නොසැලකිල්ල නිසා සිදු වූවක් ද යන්න සොයා බැලිය යුතුව තිබේ.

වඩාත් වැදගත් වන්නේ මතුවට සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම ය. ජනාධිපතිවරයාගේ නියමය පරිදි විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත. එම පරීක්ෂණ මණ්ඩලය ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් හා සංවිධාන හෙළිදරව් කරගත යුතු සේ ම ප්‍රහාරයට හේතු - සාධක ද සොයා බලා වාර්තා කළ යුතුය. මේ පරීක්ෂණ මණ්ඩලය සති දෙකක් ඇතුළත තම නිර්දේශ ලබාදිය යුතු බව ද ප්‍රකාශ වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දේවල් ද කටකතා ඔස්සේ ප්‍රචාරය වන දේවල් ද විශ්වාස නොකොට පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ එනතුරු බලා සිටීම වැදගත්ය. ජනතාව නීතිය අතටගැනීම සේම හැඟුම්බර ලෙස ක්‍රියා කිරීම ද වැරැදිය. විශේෂයෙන් ත්‍රස්තවාදය ආගමකට හෝ ජාතියකට හෝ නැඹුරු කිරීම භයානක ය. එසේ කිරීම ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක ජයගැනීමට ලබාදෙන සහයෝගයක් ලෙස සැලැකිය හැකි ය.

මෑත කාලය තුළ ලෝකයේ රටවල් ගණනාවක ම ත්‍රස්ත ක්‍රියා සිදුවිය. ඉන් බොහෝමයක් අන්තවාදී කල්ලි විසින් සිදුකරනු ලැබ තිබේ. එබඳු සංවිධානවලට විදේශීය සංවිධානවල ආධාර හා උපදේශන ලැබෙන අවස්ථා ද තිබේ. අන්තවාදීන් ත්‍රස්ත ක්‍රියා සඳහා පුහුණු කරන මධ්‍යස්ථාන ඇතැම් රටවල තිබේ. මෙරට අන්තවාදීන් ද එසේ පුහුණුව ලැබුවා විය හැකි ය. බෝම්බ නිෂ්පාදනයට මෙන්ම මරාගෙන - මැරෙන ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට ද සාර්ථක පුහුණුවක් තිබිය යුතුය. ශ්‍රී ලංකාවෙන් විදේශගතවන අය කුමන රාජ්‍යයක කුමන කටයුත්තක නිරතවන්නේ ද යන්න සොයා බැලීම වැදගත් ය. ප්‍රහාරයේ සැකකරුවන්ට ජාත්‍යන්තර සබඳතා තිබේ ද යන්න විශේෂයෙන් සොයා බැලිය යුතුව තිබේ.

මේ ප්‍රහාරය දේශපාලන වාසි ලබාගැනීම සඳහා යොදාගන්නා ‍බවද ආගම්වාදය හා ජාතිවාදය උත්සන්න කිරීම සඳහා යොදාගන්නා බව ද පෙනෙන්නට තිබේ. එය වහාම වළක්වාගත යුතුව තිබේ. දේශපාලකයන් සේම ආගමික නායකයන් ද වගවීමකින් යුතුව හැසිරිය යුතුව ඇත. මේ අයගේ එක වචනයකින් සමාජය නොමඟ යන්නට පුළුවන. වගවීමකින් යුතුව වචන හැසිරවීමට නායකයන් වගබලාගත යුතුය. තුන්සියයකට ආසන්න මරණ සංඛ්‍යාවක් යනු බරපතළ ඛේදවාචකයකි. මෙවන් අවස්ථාවකට මුහුණ දෙන ජනතාව පසුවන්නේ බලවත් වේදනාවකිනි. එම වේදනාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නට කෙනකු ඉදිරිපත් වෙතොත්; එය තිරිසන් ක්‍රියාවක් ලෙස සැලැකිය හැකි ය.

මීටත් වඩා බරපතළ ඛේදවාචකවලට අපි මුහුණ දී ඇත්තෙමු. සුනාමි ව්‍යසනය හොඳම නිදසුනකි. එම අවස්ථාවේ ජාතියක් ලෙස සහයෝගයෙන් - එකමුතුව ක්‍රියා කිරීමට අපට හැකි විය. ජාතිවාද, ආගම්වාද, කුලවාද කිසිවක් එදා පැවැතියේ නැත. විනාශ වූ සියල්ල ගොඩනැඟීමට අපට හැකි විය. යළි ගොඩනඟන්නට නොහැකි වූයේ විනාශ වූ ජීවිත පමණි. සුනාමි ආදර්ශය අදටත් යොදාගැනීම වැදගත් ය. විනාශ වූ ආගමික මධ්‍යස්ථාන යළි ගොඩනැඟිය යුතුය. විපතට පත් පුද්ගලයන්ට හා එම පවුල්වලට උරිම සහන සැලැසිය යුතුය.රජය පමණක් නො ව; පොදු ජනතාව ද එම කාර්යයට අතගැසිය යුතුව තිබේ. ඊළඟට වඩාත් වැදගත්වන්නේ ආරක්ෂාව පිළිබඳ දැඩි ලෙස උනන්දු වීමය.

අප සියල්ලන්ගේම අධිෂ්ඨානය විය යුත්තේ නැවත මෙබඳු ප්‍රහාරයක් සිදු නොවන තැනට වග බලා ගැනීමය. ඒ සඳහා ආකාර දෙකකින් ක්‍රියා කළ යුතු බව අපගේ වැටහීමය. පළමු ආකාරය වන්නේ අන්තවාදයට හේතුසාධක සොයා පිළියම් යෙදීම ය. දෙවන ආකාරය වන්නේ ජාතික ආරක්ෂාව ගැන පුළුල් වැටහීමකින් ක්‍රියා කිරීම ය. ආගමික සහජීවනය සඳහා ක්‍රියා කරන සංවිධාන සහ ආයතන ගණනාවක් අපට තිබේ. මේවායේ කටයුතු ජාතික මට්ටමින් ව්‍යාප්ත කළ යුතුය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය පමණක් නොව මහජනයාද ක්‍රියා කළ යුතුය. නැතහොත් අවධානයකින් පසුවිය යුතුය. අප අවට පරිසරය තුළ සිදුවන දේවල් ගැන අවදියකින් පසුවීමට සියල්ලන්ම පුහුණුවිය යුතුව තිබේ.

අන්තවාදය පරාජය කළ හැකි එක් මාර්ගයක් වන්නේ නීතිය හරි හැටි ක්‍රියාත්මක කිරීම ය. නීතිය හරි හැටි ක්‍රියාත්මක කිරීමට නම් පළමුව වැරැදිකරුවන් සොයාගත යුතු වේ. වැරැදිකරුවන් සොයාගැනීම සඳහා ජනතාවගේ ද සහාය ලැබීම වැදගත් ය.


නව අදහස දක්වන්න