රටේ සාමය ඇති කිරීමට කටයුතු කරන්න | දිනමිණ

රටේ සාමය ඇති කිරීමට කටයුතු කරන්න

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරු සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඒකාබද්ධ නිවේදනයකින් ඉල්ලයි

රටට මුහුණ දීමට සිදුවූ මෙම ශෝචනීය අවස්ථාවේ ජාති, ආගම්, දේශපාලන හා පක්ෂ ආදි කිසිදු බේදයකින් තොරව විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහාත් ආරක්ෂක අංශයන්ට සහය වෙමින් රටේ ආරක්ෂාව හා සාමය ඇති කිරීමට දායක වීමටත් අනලස්ව කටයුතු කරන ලෙස මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගල දෑල මහතා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. අනාදිමත් කාලයක් තිස්සේ ලක්වැසි සියලු ජනතාව ජාති, ආගම් හා වර්ග ලෙස නොබෙදී සමඟිව සාමදානයෙන් හා සහජීවනයෙන් කල් ‍ගෙවූහ. එහෙත් නොසිතූ නොපැතූ මොහොතක කතෝලික බැතිමතුන්ගේ ශුද්ධවූ ආගමික දිනයක දී පූජනීය දේවස්ථාන තුනක් හා විදේශ සංචාරකයින් වැඩි දෙනා ගැවසෙන සුපිරි හෝටල් තුනක් ඉලක්ක කර ඔවුන්ගේ ජීවිත හා දේපොළ විනාශ වන ආකාරයෙන් ම්ලේච්ඡ ලෙස රුදුරු බෝම්බ පුපුරුවා හැරීම අසා බලවත් සේ කම්පා වීමු. එසේම එය බලවත් සේ හෙළා දකිමු.

සාමකාමී හා බැතිමත් සිතින් ස්වකීය ආගම් ධර්මය ඇදහීමේ යෙදුණු බැතිමතුන්ගේ අගනා අහිංසක ජීවිත විනාශ කිරීමට කටයුතු කිරීමත් මේ රටේ ස්වභාව සෞන්දර්ය අගය දැන මෙහි පැමිණි විදේශ සංචාරකයන්ගේ ජීවිත හා රටේ වටිනා සම්පත් විනාශ වන අයුරින් කුරිරු ලෙස බෝම්බ පුපුරුවා හැරීමට තරම් ම්ලේච්ඡ ක්‍රියාවක් තවත් නැති තරම්ය. අතීතයේ පටන් අප රට තුළ පවත්නා ජාතික ආගමික සාමකාමී සහජීවනයට හානිවන සේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවක් කවුරුන් විසින් කළ ද එය මහ පොළොව නුහුලන අපරාධයකි.

ජීවිත හානිවූ සියලු දෙනාගේ පවුල්වලට මහ සංඝරත්නයේ හා සියලු බෞද්ධ ජනතාවගේ බලවත් සංවේගය පළ කර සිටින අතර රෝහල්වල ප්‍රතිකාර ලබන අනතුරට පත් සියලු දෙනා වෙත ඉක්මන් සුවය අත්වේවායි ප්‍රාර්ථනය කර සිටිමු.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න