දෝහා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය | දිනමිණ

දෝහා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය

ප්‍රින්ස් ගුණසේකර
දෝහා කලීෆා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මීටර් 400 පිරිමි මූලික වටයේදී අජිත් ප්‍රේමකුමාර තරග කළ අයුරු.  ඡායාරූපය: ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාවේ පදක්කම් අපේක්ෂාව

නිමාලී-ගයන්තිකා අද අවසන් සටනේ

දෝහා කටාර් හීදී දැන් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ පදක්කම් අපේක්ෂාවක් බවට පත්ව සිටින නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අඹේරත්න අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙයි.

දෝහා කලීෆා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මීටර් 800 මූලික වටයේදී නිමාලී මිනිත්තු 2: 05. 10කින් හා ගයන්තිකා මිනිත්තු 2: 05. 20කින් තරගය නිම කොට අද පැවැත්වෙන අවසන් තරගයට සහභාගී වේ. මූලික වටයේ තරග දෙකට ආසියාවේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවන් 15ක් එක්වූ අතර එයින් නිමාලීගේ කාලය සිවුවැනි ස්ථානයට හා ගයන්තිකාගේ කාලය පස්වැනි ස්ථානයට වාර්තා වුණි.

අවසන්වරට ඉන්දියාවේ බුබනේස්වර් ක්‍රීඩාංගණයේ පැවැති 22වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වෙන් නිමාලී ලියනාරච්චි රන් පදක්කමක් හා ගයන්තිකා අඹේරත්න රිදී පදක්කමක් දිනා ඇති හෙයින් මේ දෙදෙනා කෙරෙහි අද පැවැත්වෙන අවසන් සටනේදී වැඩි අවධානයක් යොමුව පවතී.

එහෙත් අද අවසන් වටයට පිවිසි ක්‍රීඩිකාවන් අතුරින් පසුගිය වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් චීනයේ චුන්යූ වෑන්ග් හා එම ක්‍රීඩා උළෙලේදීම රිදී පදක්කම දිනාගත් කසකස්තානයේ මාගරීටා මුකාෂීවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාට අභියෝගයක්ව පවතී. එමෙන්ම ඊයේ මූලික වටයේදී තෙවැනි හොදම කාලය වාර්තා කළ ඉන්දීයාවේ ගෝමතී මාරිමුත්තු ද සටන්කාමී ක්‍රීඩිකාවක් බවට පත්ව සිටී.

ලෝක මලල ක්‍රීඩා සංගමයේ නියෝගයක් පරිදි නිමාලී ලියනාරච්චි තරගයට පෙරදින හදිසියේම තහනම් උත්තේජක පරීක්ෂණයකට කැදවූ බව ඇයගේ පුහුණුකරු සුජිත් අඹේසේකර මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. පැය දෙකකට අධික කාලයකදී ඇයගේ මුත්‍රා සාම්පල තුනක් ලබාගෙන ඇති අතර එයට අමතරව රුධිර සාම්පලයක්ද ලබාගත් බව අඹේසේකර මහතා පැවැසීය. “ මේ තත්ත්වය නිසා ක්‍රීඩිකාව මානසිකව වැටිලා ඉන්නේ. ලෝක මලල ක්‍රීඩා සංගමයට කවුරුන් හෝ වැරදි ඔත්තුවක්දී තියෙනවා කියා හිතනවා. තහනම් උත්තේජක පරීක්ෂණයකට කැදවීම සාමාන්‍ය දෙයක්. නමුත් තරගයට පෙර වෙහෙසකාරී ලෙස මෙවැනි පරීක්ෂණ පැවැත්වීම හොද නෑ. තරගයෙන් පසුව ඒ පරීක්ෂණය කිරීමයි විය යුත්තේ“ අඹේසේකර මහතා පැවැසීය.

ඊයේ පැවැති මීටර් 800 පිරිමි මූලික වටයේදී රුසිරු චතුරංග මිනිත්තු 1: 50. 55කින් තරගය නිමකොට අද පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය මූලික වටයේ තරගකරුවන් 28කින් තෙවැනි හොදම කාලය විය.

තුම් පිම්ම පිරිමි සුදුසුකම් ලැබීමේ තරගයට එක්වූ ග්‍රේෂන් ධනංජය මීටර් 15. 87කින් අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර ඔහු පසුගියදා කොළඹ සුගතදාස පිටියේ පැවැති තේරීම් තරගයේදී මීටර් 16. 71කින් ශ්‍රී ලංකා වාර්තාව බිහි කළේය.

මීටර් 400 පිරිමි හා කාන්තා මූලික වටයේ තරගවලට එක්වූ අජිත් ප්‍රේමකුමාර හා නදීෂා රාමනායක යන දෙදෙනා අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර මූලික වටයේදී නදීෂා තත්පර 53. 66ක කාලයක් හා අජිත් තත්පර 47. 31ක කාලයක් වාර්තා කළහ. මීටර් 400 පිරිමි අවසන් පූර්ව තරගය හා මීටර් 400 කාන්තා අවසන් තරගය ඊයේ රාත්‍රියේ පැවැති අතර එවිට පුවත්පත මුද්‍රණය වෙමින් පැවැතුණි. හිමාෂ ර්ෂාන්ගේ මීටර් 100 මූලික වටයේ තරගයද එලෙසම ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ අතර මීටර් 800 ඉසව්වට සහභාගීවීමේ අපේක්ෂාවෙන් පැමිණි ගයන්තිකා අඹේරත්න හා මීටර් 100 ඉසව්ව වෙනුවෙන් පැමිණි හිමාෂ ඒෂාන් දෝහා වෙත පැමිණි පසු අලුත් ඉසව් දෙකකට සහභාගීවන බව පැවැසූහ. හිමාෂ ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ හෙට මීටර් 200 තරගයට සහභාගීවන අතර ගයන්තිකා ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේදී (24දා) මීටර් 1500 ඉසව්වට සහභාගී වේ.

දෝහා හී ඊයේ සෙල්සියස් අංශක 32ක පමණ උෂ්ණත්වයක් තිබූ හෙයින් කලීෆා ක්‍රීඩාංගණය තුල සවිකර ඇති පරිසරය සිසිල් කරන වායුසමීකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ. එමගින් මලල ක්‍රීඩාවට යෝග්‍ය සෙල්සියස් අංශක 24ක පමණ උෂ්ණත්වයක් ක්‍රීඩාංගණය තුල විචලනයකින් තොරව රදවා තබා ගැනීමට හැකිවීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසියම් පහසුවක් විය.

 


නව අදහස දක්වන්න