යතුරුපැදි ක්‍රීඩකයෝ 5ක් සම්මාන දිනති | දිනමිණ

යතුරුපැදි ක්‍රීඩකයෝ 5ක් සම්මාන දිනති

ගීෂා මුණසිංහ

මෙරට යතුරුපැදි තරග බිමේ විශිෂ්ට දස්කම් අගයමින් ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය වාර්ෂිකව පවත්වන ජාතික සම්මාන ප්‍රදානයේදී ඩී.එම්.ඩී. කල්හාර, නිහාල් විජේරත්න, ඉවෝන් බියාජී ගුරුසිංහ, ඉමල් මංචනායක හා බුද්ධික කසුන් සිල්වා සම්මානයට පාත්‍ර වූ අතර යතුරුපැදි ක්‍රීඩිකා හංසිකා අබේසිංහට විශේෂ උපහාර සම්මානයක් හිමිවිය. කටුනායක ඊගල් ලැගුන් හෝටලයේදී පසුගියදා මේ සම්මාන උළෙල පැවැත්වූයේ 70-80 දශකවල මෙරට සිටි දක්ෂතම යතුරුපැදි ධාවකයකු වූ ඩලස් මාටින්ටයින් මහතාගේ ප්‍රධානත්වයෙනි. සම්මාන ප්‍රදානය සිදුවූයේ නොයෙල් රුද්‍රිගු, ශේන් ගුණවර්ධන හා වසර තුනක් ලෝක යතුරුපැදි ධාවන ශූරතාව දිනා සිටින රොල්ෆ් ට්‍රිබියන් හා අමන්දා පිලපිටිය ධාවන ශූරයන්ගේ සහ ශූරියන්ගේ සහභාගීත්වයෙනි.

මෙහිදී අවුරුදු 15න් පහළ එම්.එක්ස්. 85සී.සී. (2ටී.)/150සී.සී. (4ටී.) තරග ඉසව්වේ සම්මානය ඩි.එම්.ඩී. කල්හාරට හිමිවූ අතර ඔහු සම්මානයට පාත්‍ර වූයේ දෙවැනි වරටය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිහාල් විජේරත්න නවීකරණය කරන ලද හා නොකරන ලද ස්ට්‍රේල් ට්‍රේල් 125සී.සී. (2ටී.) තරග ඉසව්වෙන් ජාතික සම්මානයට පාත්‍ර වුයේ පස්වැනි වරටය. නවීකරණය කරන ලද හා නොකරන ලද ස්ට්‍රේල් ට්‍රේල් 250සී.සී. (4ටී.) තරග ඉසව්වේ ජාතික යතුරුපැදි සම්මානය තුන්වන වසරටත් දිනාගැනීමට ඉවෝන් බියාජී ගුරුසිංහ සමත් විය.

ඉමල් මංචනායක සුපර් මෝටාඩ් (ගැවල්) 450සී.සී. තරග ඉසව්ව නියෝජනය කරමින් තුන්වැනි වරටත් සම්මානයට පාත්‍ර වූ අතර බුද්ධික කසුන් සිල්වා පළමු වරට ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේය.

මේ අතර 2018 වසරේදී ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘ඒෂියන් රුකී කප්’ තරගාවලියේ පෙන්වූ දස්කම් හේතුවෙන් යතුරුපැදි ධාවන ශූරි හංසිකා අබේසිංහ විශේෂ ඇගැයීම් සම්මානයට පාත්‍ර වූ අතර එම සම්මානය පිරිනමනු ලැබුවේ ලෝක ධාවන ශූර රොල්ෆ් ට්‍රිබියන් මහතා අතිනි.


නව අදහස දක්වන්න