දොළොස් මහට | දිනමිණ

දොළොස් මහට

හත්වැනි සියවසේ පමණ සීගිරිය නැරඹීමට ගොස් එහි සිතුවම් නරඹා අසල වූ කැටපත් පවුරෙහි කුරුටු ගෑ කවියකු බක් මහේ නව සඳ ගැන සඳහන් කළේ "නව බග් ළසන්ද්"යනුවෙනි. තමා බක් මහේ නව සඳ දුටු මිනිහෙක් යැයි ඔහු ආඩම්බරයෙන් කීවේය. පසුව එය "බග්" මහ බවට හැරිණි. යල මහ යනුවෙන් දෙවරක් ගොවිතැන් කරන ගොවියාගේ මහ කන්නය අවසන් වන්නේ බක්මහේදීය. අවුරුද්ද යන වචනය යෙදී ඇත්තේ වර්ෂය යන්න ඇඟවීම සඳහාය. දින දර්ශනයට අනුව අවුරුද්දට අයිති මේ සංස්කෘත භාෂාවේ "වත්සර" යන නාමයෙන් කියවෙන්නේ අවුරුද්ද යන සිංහල අර්ථය. එබැවින් සංවත්සර යන්න වසරක් පිරීම හෙවත් වර්ෂ පූර්ණය දැක්වීම සඳහා ව්‍යවහාර කෙරේ. අවුරුද්ද යන්න තවත් ලෙසකින් අර්ථවත් කරන්නේ නම්, "අවුර්" යනු හිරු සඳහා භාවිත අන්වර්ථ නාමයකි "ඉද්ද" යනු මුදුන් වීම යන්නයි. වර්ෂයට වරක් සිදුවන මෙම සිදුවීම "අවුර්ඉද්ද" අවුරුද්ද ලෙසින් අවුරුද්දක ආරම්භය දැක්වීම සඳහා කරන බව මෙම මතය දරන්නෝ පවසති.

සිංහල හින්දු සංස්කෘතියක අංග මුල්කරගත් සිංහල හින්දු අලූත් අවුරුද්ද ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ ජනයාට හා දෙමළ ජනයාට පමණක් ආවේණීක වූ සංස්කෘතික උලෙළකි. හිරු නව ගමනකට සැරසෙනවා සේම සිංහලයා ගේ චින්තනයද අලූත් විය යුතුය. සිංහල අලුත් අවුරුද්දේ දී ප්‍රබලව ඉස්මතු වන ගුණාංග වශයෙන් කළගුණ සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, අහිතවත් අය හිතවත් වීම හිතවත් බව වර්ධනය වීම, සතුට සාමුහිකව බෙදාගැනීම සාම්ප්‍රදායික සිරිත් විරිත් ඉදිරි පරපුරට දායාද කිරීම, ආගම දහමට මුල්තැන දීම, ඉපයීම මෙන්ම බෙදාහදා ගැනීම ආදිය කැපී පෙනෙයි. මහනුවර සමයේ අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ කරනුයේ රජතුමා විසිනි. රජු අවුරුද්ද භුක්ති විදින්නේ තනිවම නොවේ. රාජරාජ මහාමාත්‍යාදීන්ගේ සිට ගම් දනව්වල සිටින ගැමියන් ද මෙම අවුරුදු සැමරීම ට හවුල් කරගත් බව කියැවේ.

රජතුමා මෙන්ම සියලු රටවැසියන් අවුරුදු නැකත පිළිගත් බව පෙනේ. රජතුමාගේ අනුග්‍රහයෙන් සකස්කර, රටපුරා ප්‍රසිද්ධ කරන අවුරුදු නැකැත් හෝරාව රාජ ආඥ­ාවක් මෙන් සලකා නිවැරදිව පිළිපැදීමට ජනතාව වග බලා ගනියි. මහනුව රජසමයේ අවුරුදු නැකැත් සකස් කළ අන්දම ජෝන් ඬේව් මෙලෙස සටහන් කොට ඇත."අලූත් අවුරුද්ද එළැඹීමට පෙර ඇතැම් කටයුතු ඉටුකිරීම රාජ්‍ය වෛද්‍යවරුන්ගෙන් සහ දෛවඥයන්ගෙන් අපේක්ෂිත විය. මහෝෂධ යොදා කුඩා මුට්ටි දහයක් නාථ දේවාලයේ දී පිළියෙළ කිරීම පිළිබඳ කටයුතු පරිපාලනය පළමුවැන්නාට අයත්ය. දෛවඥයන්ගේ රාජකාරිය වූ කලී,

අලුත් අවුරුද්ද පටන් ගාන්නා දිනය සහ නියම මොහොත, ඖෂධ යුෂය භාවිත කොට හිස් සෝදා නෑමට සුදුසු නැකැත, ආහාර අනුභවයට සුදුසු නැකැත, වැඩ ඇල්ලීමට සුදුසු නැකැත, ස්නානය කිරීම සඳහා උචිත නැකැත, රජුට තෑගිබෝග සඳහා උචිත නැකැත ඇතුළත් නැකැත් වට්ටෝරුවක් සකස් කිරීමයි. මේ අනුව අපට පෙනීයන්නේ අද භාවිත වන නැකැත්ද රජ සමයේ නැකැත් සකස් කළ අන්දම ගුරු කොටගෙන තනා ඇති බවයි.

සමාජයේ ශිෂ්ටාචාරය, සදාචාරය, විනය සමඟින් සහෝදරත්වය මැනවින් ආරක්ෂා වන අයුරින් අවුරුදු චාරිත්‍ර සැකසී තිබේ. නිරෝගිමත් වූ සදාචාර සම්පන්න ජන සමාජයක් බිහිකිරීමට මෙම චාරිත්‍ර තුළින් ලැබෙන පිටිවහල අසීමිතය.

අදත් අවුරුද්ද ආරම්භ වීමට ප්‍රථම පරණ අවුරුද්දේ සියලු වැඩ අත්හැර නොනවත්තාම ගෙවන ඒකාකාරි ජීවන ගමනට මද විරාමයක් මෙහි දී උදාවෙයි. යමක් අවසාන වීමට තවත් යමක ආරම්භයට හේතුවන බැවින් දොළොස් මාසය දෙස නැවත හැරී බලා කායිකව මෙන්ම මානසික වශයෙන් ද සහනයක්, සැනසිල්ලක් මෙහි දී ලබාගනු ඇත. නව වසර ආරම්භයත් සමඟ කායික මානසිකව මෙන්ම පරිසරයද නව වසර පිළිගැනීමට සැරසෙන්නේ අපුරු අන්දමිනි. නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, හිසතෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී චාරිත්‍ර සමඟ අලුත් වසරක් අලුත් ජීවිතයක් ආරම්භ වේ.

මේ සියලූ චාරිත්‍ර අතර අලුත් අවුරුදු තෑගිබෝග ලබාදීම කැපී පෙනේ. ඈත අතීතයේ පටන් මෙන්ම චාරිත්‍රය ඉතා උසස් ලෙස පැවැති බව සඳහන් වේ. ඒ අතර රන් භාණ්ඩ, අවි ආයුධ, මුතුමැණික් ආදී වටිනා වස්තු ද විය. සියලු වාද භේද දුරලමින් නව සුහදතා, සමගිය නිතැතින්ම මෙම තෑගිබෝග හුවමාරුවේ දී සිදුවේ. පවුල් තුළ දරුවන්, සහෝදරයන්, මවුපියන් එකට එක්වන මේ මොහොතේ අප සියලු දෙනාම අලුත් ඇඳුම් තෑගි දීමට හුරු වී සිටීම සාමාන්‍ය කරුණකි. දැන් දැන් සමාජයේ ඇතැම් පිරිස් සිය තෑගි භෝග අතරට පොතක් එක්කිරීමට හුරුවී සිටීම සතුටට කරුණකි.

කුසලා සජීවනි
සහකාර අධ්‍යක්ෂ - ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලය


නව අදහස දක්වන්න