වසන්තයට ගැයෙන ගී | දිනමිණ

වසන්තයට ගැයෙන ගී

ධම්මික සෙනෙවිරත්න

සිංහල අවුරුද්ද හා සබැඳි සාහිත්‍යයක් තිබේ. සිංහල අවුරුද්ද මතුවන්නේද ජනතාව තුළින්මය. විශේෂයෙන්ම ගැමි සංස්කෘතිය සමඟ එය බද්ධ වී තිබේ. අපේ සංගීත සංස්කෘතිය ගැන විමසා බැලීමට සිදුවන්නේ ඒ පසුබිම ඔස්සේය. අප උසස් වින්දන තලයකට රැගෙන යාම අවුරුදු ගීත සාහිත්‍ය තුළින් සිදුවේ. එය ස්වභාව සෞන්දර්යයත් සමඟ සම්මිශ්‍රිත අපූරු වින්දනයකි. එයද ගැඹුරින් සංකථනයට පාත්‍රවිය යුතු කරුණක්ය. අපේගම, ගැමි අර්ථ ක්‍රම සිරිත් විරිත් ගැන ද එලෙස ගැඹර සංකථනයක යෙදීමට මේ සුදුසුම කාලයය. සිංහල අවුරුද්ද හා සබැඳි මේ සියල්ල සමස්ථ ලෝකයටම ලබාදිය හැකි සංස්කෘතිකමය පූර්වාදර්ශයන්ය.

එය සිංහල සාහිත්‍යයෙන් ජන ක්‍රීඩාවන්ගෙන් මනාව පෝෂණය වූ සංස්කෘතික පද්ධතියකි. අද සමාජයේ උද්ගතව ඇති ඇතැම් ප්‍රශ්න ගැන සාකච්ඡා, කරනවිට අපේ සාමුහිකත්වය, සමඟිය, එකමුතුබව මනාව පිළිබිඹු වන අවස්ථාවක් ලෙස සිංහල අවුරුද්ද සැලකිය හැකිය.

අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ එතරම් දුරට සිංහල අවුරුද්ද ගැන කතා කරනු අපට හමුවන්නේ නැත. එය ජනතාවගෙන් මතුව ජනතාවත් සමඟ ගලා යන උත්සවයක් බැවින් එය පෝෂණය වූයේ ජන සාහිත්‍යයෙන් හා ජන සංගීතයෙනි. කාලාන්තරයක් තිස්සේ එකී උරුමයෙන් මතු වූ ජන සංගීතයට නාද රටාවලට ගැමිවහර මතු කළ අපූර්ව ගීතමය කාව්‍යෝත්තීන් සවන් දන සමයක් ලෙසද සිංහල අවුරුදු සමය සැලකිය හැකිය. එය ඉතා වැදගත් වන්නේ සිංහල අවුරුද්දේ ඇසෙන ගීත සමුදාය ඒවායෙන් පෝෂණය ලබා ඇති නිසාය. එකී සබැඳියාව මනාව නිරූපණය වන්නේ ද අවුරුදු ගීතාවලියේය.

අතීතයේ සිට අපට උරුම වූ කෙළි සෙල්ලම්, ඔංචිලි බාරම්, එළුවන්කෑම, කළගෙඩි මාල ආදී සිංහල අවුරුදු සමයේ ඇසෙන නාදාවලිය අපට ඉතා වැදගත්ය. අපේ නිර්මාණ පෝෂණය ලැබිය යුත්තේ ඒ තුළිනි. අපේ සංගීතවේදීන් ඉන් පෝෂණය ලබා මේ වනවිට නව නිර්මාණ බිහිකර ඇත. අවුරුද්දේ ප්‍රබෝධය මේ නිර්මාණවල මූර්තිමත්ය.

අපේ ජන සාහිත්‍යයේ ප්‍රබලව දැක්වෙන පරිච්ඡේදයක් ලෙස අවුරුදු ගීතාවලිය සැලකිය හැකිය. ඊට විශාල පිටුබලයක් ලැබුණේ ලංකා ගුවන්විදුලියෙනි. අපේ සංගීත සංස්කෘතියට විසල් මෙහෙවරක් සිදුවූයේද ගුවන්විදුලියෙනි.

"උදාවෙල සඳ පෑයු විලසට
වෙලාගයෙන් ඇඳි රුව කී මෙලෙසට
වෙලා සුවඳ මල් ගවසා හිස පිට
බෙදා ගනිති තලා බා ලොලියෝ සිට"

ආදී මේ නාදාවලිය අපේ ගම්බිම්වලින් ඇසේ. එකී වින්දනය අවුරුද්දේ රසය මනාව විඳගැනීමටද අවුරුදු ප්‍රබෝධයටද ඉතා වැදගත්ය. ගුවන්විදුලිය මුල්කොට ගනිමින් මුල් කාලයේදී හෙළ හවුලේ දායකත්වයද ඇතිව සුනිල් ශාන්තයන් වැනි අය හෙළි අවුරුදු ගී සාහිත්‍යයක් ඇති කිරීමට මුල්විය.

"හේළ රටේ දැන් දිස්වේ මංගල ලීලා
පේළි ගැසී එත් විහඟෝ අහස පුරාලා
ගී රස දීලා ගී නද දීලා

හෙළ අලුත් අවුරුද්දේ සිරිය සදාලා"

වැනි ගීතද සුනිල් ශාන්තයන්ගේමය.

එවක ගුවන්විදුලියේ අවුරුදු වැනි උත්සවය වෙනුවෙන් විශේෂ වැඩසටහන් සම්පාදනය විය. ඊට අනුබලද ලැබිණි. මේ වැඩසටහන්වලට පසුකාලීනව අපද ගීත ලියා තිබේ. ගීත නාටක ආදිය මේ අවදියේ බිහිවිය. එවැනි අවස්ථා නිර්මාණ බිහිවීමට බලපෑවේය. අදටත් අප රස විඳින්නේ ගුවන්විදුලියේ බිහිවූ එම ගීත නිර්මාණය. අලුත් නිර්මාණ බිහි‍නොවන තරම්ය.

සුනිල් ශාන්තයන්ගෙන් පසු සේකර අමරදේව සුසංයෝගය ඔස්සේද යුග යුග හද රැළි අපූරුද ගීත බිහිවිය.

"නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරව් රෑන ඇවිල්ල,
නව අවුරුදු ගීත ගයනවා"

ගැමි සෞන්දර්ය මනාව මතුකොට දැක්වීමේ සමත්ය. ඉන් ඇහෙන්නේ අවුරුදු අසිරියයි.

මෙවැනි අවුරුදු ගීත තරුණ අවදියේ අපව ප්‍රබෝධමත් කිරීමට හේතුවිය.

"දොඩම් කපාලා, ඇඹුල් තනාලා
නාන්න යන හැටි බලන් කළු"

වැනි ගීතද එලෙසය.

මේ ගීත සවිඥනතිව හෝ අවිඥනිතව අපේ මුළු ජාතියේම වින්දනයට හේතුවිය. නිර්මාණකරුවන් සම්බන්ධයෙන්ද ඒවා ඉතා ප්‍රබල බලපෑමක් ඇති කළ බව පැහැදිලි කාරණයකි.

අරිසෙන් අහුබුදු ශූරීන්ගේ
"මල්ගොමු ගුමු ගුමු ගන්වන්නේ
මී වදවල පැණි පුරවන්නේ
කුරුළු සරන් කන් පිනවන්නේ
මුළු ලොව උයනක් කරවන්නේ"

වැනි ගීතද අවුරුදු ගීතාවලියේ ඇතුළත් ඉතා වැදගත් නිර්මාණය. සොබාදහම පවා අපූරු වින්දනයකට නතු කිරීමට මේ ගීත සමත්ය.

ගුවන් විදුලියේ විශේෂ අවුරුදු වැඩසටහනකට ගීත ලිවීමට මටත්, අජන්තා රණසිංහටත් ආරාධනයක් ලැබිණි. අජන්තා ලියූ සුජාතා අත්තනායක ගයන, "කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ" ගීතය ඉන් මතු වූ ඉතාමත් සාර්ථක අවුරුදු ගීතයකි.

ජෝතිපාල ගැයූ අවුරුදු ගීතද ජනප්‍රිය අවුරුදු ගීත අතර තිබේ. විදග්ධ සාහිත්‍යයට වඩා අවුරුද්දට වඩාත් සමීප ජන සංස්කෘතිය, ජනප්‍රිය සංස්කෘතිය හා එක්ව එම නිර්මාණ ජනතාව අතරට ගොසිනි. කරුණාරත්න අබේසේකර ලියූ, "ඇවිල්ල අවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා" ගීතය සිංහල අවුරුද්දට නැතිව බැරි ගීතයක් වන තරමට අදත් සැමතින්ම අසන්නට ලැබේ. කිරි ඉතිරේවා නව වසරේ ගීතයද එවැනි තවත් ජනප්‍රිය ගීතයකි. අමිතා එදිරිසිංහ සමඟ පියසිරි විජේරත්න ගයන, "බැද්ද පුරා" ගීතයද අවුරුදු ගීතයක්ම නොවුණද අවුරුදු සමයේදී වඩාත් ජනප්‍රිය ගීතයකි.

අප රූපවාහිනියේ සිටි අවදියේදී මියුරුසර වසන්තය නමින් උපාලි ආරියසිරි නිෂ්පාදනය කළ වැඩසටහනද නව අවුරුදු ගීත නිර්මාණ හඳුන්වා දුන් අවස්ථාවකි. "නාඩන් පුංචි හිරමනේ" වැනි ගීත ඉන් බිහිවූ ඒවාය. ජයතිස්ස බොරළුගොඩ රචනා කර ලයනල් රංවලයන් ගයන "මේ අවුරුදු කාලේ" ගීතයද තවත් ඉතාමත් ජනප්‍රිය අවුරුදු ගීතයකි. එඩ්වඩ් ජයකොඩි ගයන "බක්මහේ නැකතත් ඇවිත්" ගීතයද නව ගීතයකි. "අතුරු මිතුරු දඹදිවතුරු" නම් අමරදේවයන් ගයන ගීතය, රොඩ්නි වර්ණකුල ගයන "සැණකෙලි සිරි" වැනි ගීත අප රචනා කළේ එදා අවුරුදු ගීත සාහිත්‍යයෙන් ලද ප්‍රබෝධය ඔස්සේ යමිනි. අවාසනාවකට අද එවැනි තත්ත්වයක් දක්නට නැති තරම්ය.


නව අදහස දක්වන්න