අපි අය-වැය පරද්දන්න ගියා නම් ජවිපෙ ආණ්ඩුව බේරාගන්නවා | දිනමිණ

අපි අය-වැය පරද්දන්න ගියා නම් ජවිපෙ ආණ්ඩුව බේරාගන්නවා

ස්වර්ණා විජේකෝන්

ඉදිරියේදී පවත්වන කවර මැතිවරණයකට වුවද ජාතිකවාදි හා වාමවාදි සියලු බලවේග පුළුල් පෙරමුණක් ලෙස එක්විය යුතු බවත් ඒ වෙනුවෙන් මේ වනවිටත් සිදුකරන සාකච්ඡාවන් සඳහා බාධාවන් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ඉල්ලා සිටින බවත් එම පෙරමුණේ සභාපති, පත්කළ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සමස්ථ පොලිසිය ගත්තම සාමය ආරක්ෂා කිරිම වෙනුවෙන් බොහෝ වෙහෙසක් දරනවා. රටේ සාමය හා නිදහස ආරක්ෂා කිරිම වෙනුවෙන් සමස්ථ ආරක්ෂක අංශ ඉටු කරන සේවය අති විශාලයි. ඒ වගේම ආරක්ෂක අංශ වෙනුවෙන් වගේම පොලිසිය වෙනුවෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා විසින් ඉටුකරන සේවය අගය කළ යුතුයි. ඒ වගේම විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් සමස්ථ පොලිසිය වෙනුවෙන් ඉටුකරන සේවය අගය කළයුතුයි. ඒ වගේම විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා පොලිසිය වෙනුවෙන් සියයට හතළිහක වැටුප් වැඩකළ නමුත් පොලිස් සේවය තුළ වැටුප් විෂමතාවක් නිර්මාණය වී තිබෙනවා. සමස්ථ පොලිස් සේවය ගත්තම රාජ්‍ය සේවයේ අනෙකුත් තනතුරුවලට සාපේක්ෂව වැටුප් විෂමතාවක් තිබෙනවා. ඒ වගේම පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දිමනා වෙනුවෙන් 2008 වසරේ සිට චක්‍රලේඛයක් ක්‍රියාත්මකයි. නමුත් එම දීමනා ලබාදීම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා.

ඒ වගේම මෙවර අයවැය පරාජය කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකළ බවට විවිධ ආකාරයේ චෝදනා එල්ල කළා. අපේම සහෝදර හිතවතුන්ද විවිධ චෝදනා එල්ල කළා. නමුත් අපි මෙවර අයවැය වෙනුවෙන් ඡන්ද ලබා නොදී සිටීම වෙනුවෙන් කරුණු තුනක් ප්‍රධාන ලෙස බලපෑවා. මෙවර අයවැය තුළ ජනාධිපතිවරයාගේත් වැය ශීර්ෂ ඇතුළත්. අයවැය මඟින් ජනාධිපති කාර්යාලය සඳහා ප්‍රතිපාදන වෙන්කෙරෙනවා. ඒ වගේම ඒ යටතේ ප්‍රධාන විෂයයන් අටක් ඇතුළත්. ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්න අටක් සඳහා මෙම ප්‍රතිපාදන මඟින් අවධානය යොමුකරනවා. වකුගඩු නිවාරණය, පරිසර වැඩසටහන්, වස විසෙන් තොර ආහාර වැඩසටහන, ස්මාර්ට් ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ඉන් කිහිපයක්. අයවැයෙන් මේ වැඩසටහන් සඳහාත් මුදල් වෙන්වෙනවා.

අපට අයවැය පරාජය කරන්නට තරම් කුහක වෙන්නට බැහැ. ඒ වගේම ඔක්තොම්බර් 26 වැනිදා ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස කර එතුමා වටා එක්වූ විජයදාස රාජපක්ෂ, එස් බී නාවින්න වැනි අයටත් අපගෙන් සාධාරණය ඉටුවිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අප සමඟ සිටි 30 දෙනාට අමතරව ඔක්තොම්බර් 26 වැනිදා එක්වූ හය දෙනාත් ජනාධිපතිවරයා සමඟ සිටිනවා. ඒ අයටත් අපි සාධාරණ විය යුතුයි.ඒ වගේම අනෙක් කරුණ නම් මේ අයවැය පරාජය කරන්නට තරම් අපි සතුව 113 ක් නැහැ. ඒ වෙනුවෙන් අප සතුව වැඩපිළිවෙළක් තිබුණෙත් නැහැ. ඒ නිසා අපි මෙන්න මේ කියන කරුණු තුන නිසා අයවැය පරාජය කරන්නට උත්සාහ කළේ නැහැ.අපගේ මතය සම්බන්ධයෙන් විවිධ අයට විවිධ දේවල් කියන්නට පුළුවන්.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණත් අදහස් දක්වා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ සහාය නිසා තමයි ආණ්ඩුව අද තිබෙන්නේ. යම් හෙයකින් අයවැය පරාජය වන මට්ටමක තිබුණානම් ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දෙන්නේ නැහැ.

ඒ වගේම මේ වනවිට රටතුළ අර්බුද රැසක් තිබෙනවා. ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් තිබෙනවා. රටතුළ තිබෙන එම සැබෑ ගැටලු යටපත් කිරිම වෙනුවෙන් විවිධ මාතෘකා නිර්මාණය කරනවා. අවශ්‍ය මාතෘකා ගැන අවධානය යොමුකරනවාට වඩා අවශ්‍ය නොවන දේවල් කෙරෙහි අවධානය මාධ්‍ය විසින්ද යොමු කරනවා. ඒ වගේම ලබන පළමුවැනිදාට යෙදෙන මැයි දිනයෙන් පසුව ආණ්ඩු විරෝධි දැවැන්ත පෙරමුණක් නිර්මාණය කරනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ නියෝජිතයින් පිරිසක්ද එක්වූහ.


නව අදහස දක්වන්න