මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ ජනපතිවරණය පැවැත්විය යුතුයි | දිනමිණ

මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ ජනපතිවරණය පැවැත්විය යුතුයි

සමන්මලී ප්‍රියශාන්ති

රාජපක්ෂ පාලන සමයේ දුෂිතම පාලකයා ගෝඨාභය රාජපක්ෂ බවත් ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පෙරමුණ යටතේ පරාජය කළ හැකි පහසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් නොවන ඇමැති අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ එම අමාත්‍යංශයේදී ඉකුත්දා (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

අද බොහෝ දෙනකුගේ අවධානය ජනාධිපතිවරණය කෙරෙහි යොමු වෙලා තිබෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පෙර ජනාධිපතිවරණයක් කැඳවන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙන්නේ තමන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් පමණයි. මේ ජනාධිපතිවරණයේ අපේකෂකයා කවුද කියලා ලොකු විවාදයක් තිබෙනවා. පක්ෂ ඇතුලේ වගේම සාමාන්‍ය පුරවැසියන් අතරත් මේ විවාදය තිබෙනවා. ඉදිරි වසර 5 රට මෙහෙයවන පුද්ගලයා කිනම් අයෙක් විය යුතුද යන විවාදය තිබෙන්නේ. ඔහුගේ ඉතිහාසය කෙසේද , ඔහු නායකත්වය දෙන සංධානය කුමක්ද කියන ප්‍රශ්න ජනතාව තුළ තිබෙනවා. අපි අපට සහය දක්වන සංවිධාන, පක්ෂ සමඟ එක්ව වඩාත් පුළුල් වු පෙරමුණකින් පෙර තරඟ කළ එක්සත් ජාතික පෙරමුණට වඩා පුළුල් පෙරමුණකින් ජනාධිපතිවරණයට තරඟ කරනවා. බොහෝ දෙනෙක් ශ්‍රීලනීප මන්ත්‍රීවරු දෙවැනි වර විවාදයේදී අපට විරුද්ධව අයවැයට ඡන්දය දෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ජනාධිපති වැය ශිර්ෂය බේරා ගන්න එවර ඡන්දය දුන්නත් තුන් වෙනි වර ශ්‍රීලනිප මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය දෙන බව පොදු ජන පෙරමුණ පැවසුවා. නමුත් අපි කලින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයෙන්ම බහුතරයකින් අයවැය ජය ගත්තා. ශ්‍රීලනිප මන්ත්‍රිවරු අපට විරුද්ධව ඡන්දය නොදි ඡන්දය දීමෙන් වැළැකි සිටියා. මේ නිසා පොදුජන පෙරමුණ රැවටිමට ලක් වෙලා. ශ්‍රීලනීප බහුතරය එක්සත් ජාතික පෙරමුණට එකතු වෙලා රටට හිතැති නව රජයක්, ජනාධිපතිවරයෙක් බිහි කරන ගන්න අවශ්‍යයි කියන ප්‍රතිපත්තියේ ඉන්නවා. ඒ සඳහා අපට අලුත් ප්‍රතිපත්ති මාලාවක්, සුදුසු අපෙක්ෂකයා තෝරා ගන්න අවශ්‍යයි. අපි තවමත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරා ගෙන නැහැ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව ඒ ගැන තීරණයක් අප ගන්නවා. අපි පක්ෂයක් ලෙස කවුද අපේක්ෂකයා විය යුත්තේ කියන ස්ථාවරයේ ඉන්නවා. ඔහු එජාප නායකයෙක් විය යුතු බවට ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගෙන ජනාධිපතිවරණයට තරඟ කරනවා නම් හොදයි. එතුමා තමයි අපට පරාජය කරන්න පුළුවන් පහසුම එක්කෙනා වෙන්නේ. පසුගිය දුෂිත රාජපක්ෂ පාලනයේ දුෂිතම රාජ්‍ය පාලකයා ඔහුයි. ඔහු මාධ්‍යවේදීන් මර්දනය කළා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අද ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ඇමරිකාවේ නඩුවක් දාලා තිබෙනවා. ඔහු කිසිසේත් නැවුම් අපේක්ෂකයෙක් නොවෙයි. මේ දරුණු, නපුරු අතීතය ඔහු පසුපස තිබෙනවා. ඔහු නැවුම් දේශපාලනයකට නායකත්වය දෙන අයෙක් නොවේ. ඉතාම ග්‍රෝත්‍රවාදී, ජාතිවාදී එමෙන්ම පවුල් පාලනයක අයෙක්. අපේක්ෂකයා තෝරන්නෙත් රාජපක්ෂ පවුලයි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා එතුමා ප්‍රජාත්නත්‍රවාදයෙන් තොරයි. නඩු බර ගණනක් එතුමාට තිබෙනවා. අපි ඒ නිසා අපේක්ෂකයා වෙන්න කියලා සුභ පතනවා.

ඔක්තොම්බර් 26 සිදු කළ මහා පාවාදීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ අපේ දේශපාලන කටයුත්තක් නැහැ. ශ්‍රීලනීපයේ හොඳ මිනිස්සු ඉන්නවා. ගුණගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පිරිසක් එක්ක අපිට ජනාධිපතිවරණයට යන්න අපහසු නැහැ. ඔවුන් පොහොට්ටුව එක්ක නැහැ කියලා තීරණාත්මක අවස්ථා දෙකකදී පෙන්වා දී තිබෙනවා.

අපේ සන්ධානය තුළ ජනාධිපතිවරයා වෙන්න දක්ෂතාව තිබෙන, සුදුසුකම් තිබෙන අය ඉන්නවා. අපි වඩාත් හොඳ කෙනා තමයි තෝරා ගන්නේ. ජනාධිපතිවරණයක ජයග්‍රහණය තීරණය කරන්නේ එකතු වෙන පක්ෂ හා ඒ සංයුතිය අනුවයි. අද තොන්ඩමන් මහතා මෙන්ම ශ්‍රීලනීපයේ විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා. අයියා මල්ලිට දෙන, තාත්තා පුතාට දෙන ගෝත්‍රික ක්‍රම අපේ පක්ෂයේ නැහැ. අපි සුදුසුකම් ඇති අයට දක්ෂ අයට තමයි තැන දෙන්නේ. රට ඉදිරියට ගෙන යන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී, නායකයෙක් රටට අවශ්‍යයි. නමුත් අපේ පක්ෂය තමව අපේක්ෂකයෙක් තෝරා ගෙන නැහැ. අවුරුදු 5 කට අපි අලුත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉන්දු ශ්‍රී ලංකා සබ්මැරීන් කේබල් එකක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතුණා. එය ඉදිකළොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වු විට ඉන්දියාවෙන් විදුලිය ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ විදුලි පද්ධතියේ ඇතැම් වෙලාවල්වල වැඩිපුර විදුලි පද්ධතියක් තිබෙන්න පුළුවන්. අපි ඉදිකිරීමට බලාපොරොත්තු වන බලාගාර ඉදිකළ පසුව, ඒ වගේම පුනරීන්වල ඉදි කිරීමට නියමිත සුළං හා සූර්ය බලාගාර මන්නාරමේ සුර්ය බලාගාරය, මුහුදේ ඔක්ෂෝ බලාගාරය ඉදි කළ පසුව අපේ රටේ අතිරික්ත විදුලි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ඉතිරි වෙනවා. විදුලිය අවශ්‍ය ප්‍රදේශයකට හෝ රටකට සම්ප්‍රේෂණය සඳහා තමයි මේ කේබල් එක ඉදිකරන්නට ඉංජිනේරුවන් ඉදිරිපත් වුණේ. ඒවගේම එවැනි රටවල් අතර තිබෙන සම්ප්‍රේෂණ සබදතා හරහා ඒ පද්ධතිවල ස්ථාවරභාවයක් ඇති කර ගත හැකියි. යුරෝපයේ සම්ප්‍රේෂණ පද්ධතිය රටවල් කිහිපයක් සමඟ සම්බන්ධයි. එක රටක විදුලි ප්‍රශ්නයක් වුණහොත් තවත් රටකින් විදුලිය ලබා ගන්න මේ නිසා හැකියාව තිබෙනවා.

ඉන්දු ශ්‍රී ලංකා සබ්මැරීන් කේබල් ව්‍යාපෘතය අදටත් වටිනවා. එය ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක්. ඊට විශාල වියදමක් යනවා.

අද විදුලි ප්‍රශ්නය විසඳන්න කඩිනමින් විසඳන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නය මේ කාලවලදී හැම වසරකම ඇති වෙනවා. එය විසඳීමට අපි මෙතෙක් කල් ඇතිව කටයුතු කරනු ලැබුවා. නමුත් 2018 වසර අවසානයේ ඇති වු දේශපාලන අස්ථාවරභාවය නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඇණ හිටීම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. විදුලි බල ඇමැතිවරයා කඩිනමින් මේ තත්ත්වය විසඳනු ඇති බවට බලාපොරොත්තු වෙනවා.

අමතරව විදුලිය මිලදී ගැනීම් දැන් අපි සිදු කර තිබෙනවා. විදුලි ඉල්ලුම වැඩි වන විට අමතර විදුලිය එක් කරන්න පුළුවන් වෙනවා. ඔක්තොම්බර් මාසයේ දේශපාලන පෙරළිය නිසා තමයි මේ ප්‍රමාදය සිදු වුණේ. ජල කළමනාකරණය හා හදිසි විදුලිය මිලදී ගැනීම් මගින් මේ ගැටලුව අපට විසඳා ගන්න පුළුවන්කම තිබුණා. ඒ මාස කිහිපයේ රටට බොහෝ දේවල් අහිමි වුණේ තීරණ ගැනීමේ අපහසුතා ඇති වු නිසයි. කෙරවළපිටිය බලාගාරය ටෙන්ඩර් කළා. අධිකරණ කටයුතු නිසා එය නතර වුණා. එයත් මේ වසරේ අන්තිම තමයි හදන්න තිබුණේයැයි කීය.

 

ඡායාරූපය - සරත් පීරිස්


නව අදහස දක්වන්න