PM NARENDRA MODI | දිනමිණ

PM NARENDRA MODI

චම්පිකා දීපානි රණ­සිංහ

අමෙරිකාවේ රට කජු විකිණූ කොලු ගැටයා ජිමී කාටර් ජනාධිපති ධූරය දක්වා ගිය ගමන ගැන අද ද ලෝකයා කතා බහ කරති. පෙරදිග අපට ද අසල් දේශයේම එවන් පරමාදර්ශී චරිතයක් සිටියි. ඒ ඉන්දියාවේ 14 වැනි අගමැති නරේන්ද්‍ර සිං මෝදිය. ගුජරාටියේ පියාගේ තේ කඩයේ වැඩ කළ නරේන්ද්‍ර දමෝදර්දාස් මෝදි දැන් භාරතය නම් සුවිශාල රාජ්‍යයේ අගමැතිවරයාය. පාසලේදී ඉගෙනීමට සාමාන්‍ය දස්කමක් පෑ මෝදි ජනප්‍රියවී සිටියේ චතුර කථිකයකු ලෙසිනි.

එමෙන්ම ඔහු වේදිකාවට ද ඇලුම් කළේය. වයස අවුරුදු අටේදිම ඔහු රාශ්ත්‍රිය ස්වායාම්සේවක් සන්ග් සංවිධානයට සම්බන්ධ විය. එතැනින් ඔහු තැබූ පියවර දේශපාලන විද්‍යාව පිළිබඳ ලද උපාධිය සමඟ තව දුරටත් ශක්තිමත් විය. දේශපාලනයට පෙම් බැඳි මෝදි විවාහයකට මනාපයක් නොදැක්වීය. එහෙත් පවුලේ සාමාජිකයන්ගේ බලකිරීම නිසා ඔහුට ජශෝදාබෙන් නම් දැරියක විවාහ කර ගැනීමට සිදුවිය. මෝදි යනු දේශපාලනඥයකු විවාහ නොවී සිටිය යුතුයි යන මතයේ තදින්ම එල්බ ගෙන සිටි අයෙකි. විවාහය වෘත්තීය ජීවිතයට බාධාවක් කියා සිතූ ඔහු කළේ ඇය සමඟ කිසිදු සබඳකමක් නොපවත්වා කුටුම්බය අත්හැර යාමය. ජශෝදාබෙන් විවාහය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැර ඉගෙන ගෙන ගුරුවරියක වූවාය.

මෝදි නිවෙස අත්හැර හින්දු ආගමික ආශ්‍රමවල කල් ගත කළේය. හින්දු ආගමික නායක ස්වාමි විවේකානන්ද මෝදිගේ ජීවිතයේ පරමාදර්ශී චරිතයක් බවට පත්විය. මෝදිගේ ජීවිතය, වෘත්තිය බවට දේශපාලනය පත්විය. ඔහු කටුක දෙස්පාලන මාවතේ දිගටම ගමන් කළේය. දැන් ඔහු භුක්ති විඳින්නේ එහි මිහිරි පලයයි. ඔහුගේ චරිතය තිරයට ගෙන එන්නේ මෝදි බැතිවන්තයකුවූ ඔමන්ග් කුමාර්ය. ඔහු මීටපෙර 2014 දී ප්‍රියංකා චොප්රා යොදාගෙන මේරි කොම් චරිතය ද තිරයට රැගෙන එන ලදී. එය ප්‍රේක්ෂක විචාරක පැසසුමට සම්මානයට ලක්වූවකි.

අගමැති මෝදිගේ චරිතය රැඟීමට පරේශ් රාවල් අති දක්ෂ රංගවේදියා සහ නළු විවේක් ඔබරෝයි අතර කඹ ඇදීමේ තරගයක් පැවතිණි. 2018 ජුනි මාසයේදී සංජු සිනමා පටය ප්‍රවර්ධනය කරමින් සිටියදී පරේශ් රාවල් කියා සිටියේ තමන් ‍අගමැතිවරයාගේ චරිතය රඟපෑමේ අභියෝගය බාරගෙන ඇති බවය.

මේ අතර විවේක් ඔබරෝයි චරිතය රඟපාන බව හෙළි වීම කොයි කාගේත් පුදුමයට හේතු විය. පරේශ් යනු මෝදි අගමැතිවරයාගේ බැතිමතකු පමණක් නොව මෝදිගේ බීජේපී පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ද වෙයි. විවේක් සිනමා පටයේ රඟනු දැක පරේශ් රාවල් කියා සිටියේ තමන් හැර වෙන කිසිවකුට මෝදිගේ චරිතයට සාධාරණයක් ඉටු කළ නොහැකි බවය. මෝදි අගමැතිගේ චරිතය රැඟීමේ බලාපොරොත්තුව පරේශ් ගෙන් ගිලිහී ගොස් නැත. ඔහු ද නුදුරු අනාගතයේදීම මෝදි ලෙස තිරයෙන් දක්නට ලැබෙනු ඇත.

තත්ත්වය මෙසේ තිබියදී විවේක් ද මෝදිගේ චරිතය තම ජීවිතයේ පරමාදර්ශය බව කියා සිටින්නේය. විවේක්ගේ පියා ජ්‍යෙෂ්ඨ නළු සුරේශ් ඔබරෝයි ද බීජේපී පාක්ෂිකයකි. විවේක් විවාහ වී සිටින්නේ ද දේශපාලනයට සම්බන්ධ පවුලක තරුණියක සමඟය. සිනමා පටයේ නිෂ්පාදක සන්දීප් සිං කියා සිටියේ මෝදිගේ චරිතය සඳහා තමන්ගේ එකම තෝරාගැනීම විවේක් ඔබරෝයි බවය. අගමැති මෝදිගේ විවිධ වයස් නිරූපණයට විවේක් හැර අන් නළුවකු නොමැති බව ඔහු කියා සිටියි.

1962 සිට 2014 දක්වා කාල පරාසයක පැතිර යන අගමැති මෝදිගේ භූමිකාව නිරූපණය කිරීමේදී විවේක්ට තම පෙනුම දස වාරයක් පමණ වෙනස් කිරීමට සිදුවිය.

සෑම දිනකම විවේක් පාන්දර 2.30 ට රූ ගත කිරීම් සඳහා පැමිණි අතර පැය හයක් අංග රචන මැදිරියේ රැඳී සිටියේය. ඊළගට නොකා නොබීම රූ ගත කිරීම්වලට සහභාගී විය. රූ ගත කිරීම් රාත්‍රී අට පමණ වන තුරු පැවතිණි. බොරු රැවුල් ආදිය නිසා ඔහුට කෑම බීම ගැනීම දුෂ්කර විය. අධ්‍යක්ෂවරයා පවසන අන්දමට සිනමා පටයේ වැදගත්ම තැනක් වේශ නිරූපණයට හිමිවී තිබේ. සිනමා පටයට ගීත දෙකක් ඇතුළත්ය.

PM නරේන්ද්‍ර මෝදි සිනමා පටය භාෂා විසි තුනකින් අප්‍රේල් 5 වැනිදා සිට තිරගත වීමට නියමිතය. එහෙත් ඡන්ද උණුසුමේ මෝදි චරිතාපදානය පීඑම් මෝදි තිරගත වීමට දිගින් දිගටම කොංග්‍රස් පක්ෂය විරෝධය පළ කර සිටියි.

පීඑම් නරේන්ද්‍ර මෝදි 2019 වසරේ තිරගත වන චරිතාපදාන පහළොවෙන් එකකි.

නව අදහස දක්වන්න