පන්ජාබ් පිල ලකුණු 14කින් දිනයි | දිනමිණ

පන්ජාබ් පිල ලකුණු 14කින් දිනයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සමග ජායිපූර්හිදී පැවැති තරගයෙන් ලකුණු 14ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.

පන්ජාබ් පිල තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ලබාදුන් ලකුණු 185ක ඉලක්කය හඹාගිය රාජස්ථාන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 170ක් පමණි.

හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 43කින් ලකුණු 69ක් රැස් කරමින් රාජස්ථාන් ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදීමට ජොස් බට්ලර් සමත් විය. එහෙත් ලකුණු 16ක් තුළ කඩුලු 7ක් බිඳ වැටීමෙන් රාජස්ථාන් පිලට පරාජය අත්විය. බට්ලර් පළමු කඩුල්ලට නායක අජින්ක්‍යා රහනේ (27) සමග එක්ව පන්දු 49කින් ලකුණු 78ක් රැස් කළේය.

පන්දු යැවීමේදී අන්කිත් රාජ්පුත්, මුජීබ් උර් රහ්මාන් සහ සෑම් කරන් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පන්දු 47කින් ලකුණු 79ක් රැස්කළ ක්‍රිස් ගේල් පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. හතරේ පහර 8කින් සහ හයේ පහර 4කින් ඉනිම සරසාගත් ඔහු, මයාන්ක් අග්‍රවාල් (22) සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 56ක් සහ සර්ෆරාස් ඛාන් සමගින් තෙවැනි කඩුල්ලට පන්දු 42කින් ලකුණු 84ක් එක් කළේය. හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 46ක් රැස්කළ සර්ෆරාස්ගේ ඉනිමට වැයවූයේ පන්දු 29ක් පමණි. මේ තරගයේදී අයි.පී.එල්. ලකුණු 4000 සීමාව පසුකිරීමට ක්‍රිස් ගේල් සමත්වූයේ අඩුම ඉනිම ගණනකදී (113) එම සීමාව පසුකළ ක්‍රීඩකයා ලෙසිනි. අයි.පී.එල්. තරග බිමේ ලකුණු 4000 පසුකළ දෙවැනි විදෙස් ක්‍රීඩකයා වන්නේ ගේල්ය. ඔහුට පෙර ඩේවිඩ් වෝනර් එම සීමාව පසුකළ අතර සුරේෂ් රයිනා (5004) ප්‍රමුඛව ඉන්දීය ක්‍රීඩකයන් 6 දෙනකුද එම සීමාව පසුකර තිබේ.

පන්ජාබ් - 184/4 (ඕවර 20) ක්‍රිස් ගේල් 79, සර්ෆරාස් ඛාන් නොදැවී 46 (බෙන් ස්ටෝක්ස් 48/2)

රාජස්ථාන් - 170/9 (ඕවර 20) ජොස් බට්ලර් 69, සංජු සැම්සන් 30 (මුජීබ් උර් රහමාන් 31/2, අන්කිත් රාජ්පුත් 33/2, සෑම් කරන් 52/2)


නව අදහස දක්වන්න