එල්ලේ විනිසුරු සංගමය කල් ඉකුත්වී ඇතැයි චෝදනා | දිනමිණ

එල්ලේ විනිසුරු සංගමය කල් ඉකුත්වී ඇතැයි චෝදනා

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමය කල් ඉකුත්වී ඇතැයි චෝදනා ගොණු වෙයි. පසුගිය පෙබරවාරි අවසානයට පෙර එල්ලේ විනිසුරු සංගමයේ නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කරගත යුතුව තිබියදී, තවමත් පැරණි නිලධාරී පිරිස කටයුතු කරමින් තිබීම හා එම කල් ඉකුත්වූ සංගමය යටතේ තරග විනිසුරුවන් යෙදවීම පිළිගත නොහැකි බවට දිස්ත්‍රික් එල්ලේ සංගම් කිහිපයක් චෝදනා ඉදිරිපත්කර ඇත.

ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමයේ ව්‍යවස්ථාව අනුව සෑම වසරකම පෙබරවාරි මස අවසානයේ නාමයෝජනා කැඳවිය යුතු අතර, මාර්තු මස මැද භාගයේදී නව නිලධාරී මණ්ඩලය වැඩ භාරගත යුතු වේ. එහෙත් මේ වනතුරු නාමයෝජනා කැඳවීම හෝ නිළවරණයට සූදානම්වීමක් නොමැති යැයි දිස්ත්‍රික් එල්ලේ සංගම් කිහිපයක නිලධාරීහු ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කිරීමට සූදානම් වේ.

නිලවරණය නොපැවැත්වීම පිළිබඳ එල්ලේ විනිසුරු සංගමයෙන් විමසීමේදී විනිසුරු සංගමයේ ව්‍යවස්ථාව නොමැති බව පවසා ඇති අතර එබැවින් නිලවරණය පැවැත්විය යුතු දින වකවානු පිළිබඳ අවබෝධයක් නොමැති බව පවසා තිබේ. එම ප්‍රකාශය හාස්‍යයට කරුණක් බවත් ඕනෑම සංගමයක ලේකම්වරයා සතුව සංගමයට අදාළ ව්‍යවස්ථාව අනිවාර්යයෙන් තිබිය යුතු බවත් දිස්ත්‍රික් එල්ලේ සංගම් නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර ජාතික එල්ලේ ශූරතාව විනිශ්චය කරනු ලබන එල්ලේ විනිසුරුවෙකුට දිනකට රුපියල් 500ක දීමනාවක් ලබාදීම ප්‍රමාණවත් නොවන බවට විනිසුරුවන්ගෙන් ද මැසිවිලි යොමුවෙමින් පවතී. දිනකදී තරග දෙකක් විනිශ්චය කිරීමට සිදුවන හෙයින් ගමන් වියදම් හා ආහාර පාන ආසිය වෙනුවෙන් ලබාදෙන රුපියල් 500ක දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට මැසිවිලි නැගේ. මෙතෙක් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය ජාතික ශූරතාවලියේ තරග විනිශ්චය වෙනුවෙන් දිනකට රුපියල් 2500ක මුදලක් ලබා දුන්නද මේ වසරේ එම මුදල රුපියල් 500 දක්වා අඩු කිරීම අදහාගත නොහැකි බව මුල් පෙළේ විනිසුරුවෝ පිරිසක් පෙන්වා දෙති.

මේ පිළිබඳ ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමයේ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසීමකදී පැවැසූවේ එල්ලේ සම්මේලනය උග්‍ර මූල්‍ය අරුබුදයක පසුවන හෙයින් මෙලෙස විනිසුරු ගෙවීම් කප්පාදු කිරීමට සිදුව ඇති බවයි. එල්ලේ විනිසුරුවන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් සකසාගෙන එල්ලේ තරග විනිශ්චය කිරීම පිළිබද පැමිණිලි ගණනාවක් ලැබී තිබූ හෙයින් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය යටතේ ලියාපදිංචි සියලුම විනිසුරුවන්ගේ හැඳුනුම්පත් සම්පූර්ණයෙන් අහෝසි කොට නව හැඳුනුම්පතක් නිකුත් කිරීමට යෝජනාවක් සම්මත වුවද මෙතෙක් ක්‍රියාත්මක නොවීමෙන් අර්බුද පැනනැගී ඇතැයි පැවැසේ.

එල්ලේ විනිසුරුවන් සතුව ඇති සියලුම හැඳුනුම්පත් විනිසුරු සංගමය වෙත නිශ්චිත කාල රාමුවක් තුළ ලබාගෙන නව හැඳුනුම්පත් සකස් කරන බවද එහිදී පැවැසුණි.


නව අදහස දක්වන්න