විශාඛා-සුජාතා රන් සටන නෙට්බෝල් ගැටුම 29 දා | දිනමිණ

විශාඛා-සුජාතා රන් සටන නෙට්බෝල් ගැටුම 29 දා

ප්‍රින්ස් ගුණසේකර
විශාඛා නෙට්බෝල් පිල: උපනී රූපසිංහ (නායිකා), සිතාරා සෙව්මිනී, නිෂන්දී පීරිස්, රවින්දි යසෝදරා, පුනරී සිරිවර්ධන, ලවන්‍යා කලුආරච්චි, මෙලනී අමා, නතාසා අලුවිහාරේ, නෙලුනී ඇල්පිටිය, තමාදී ඇල්පිටිය, සමාදී මහේෂිකා, නිද්‍යානා අමරසිංහ, සත්සරණී ජයවර්ධන.

කොළඹ විශාඛා විදුහල සහ නුගේගොඩ සුජාතා විදුහල අතර මොට්වානී ශූරතා පළිහ සඳහා වූ රන් සටන වාර්ෂික නෙට්බෝල් තරගය මේ මස 29 වැනිදා පෙරවරු 9ට කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වෙයි. වසර 12ක් කොළඹ විශාඛා විදුහලේ සේවය කොට පසුව නුගේගොඩ සුජාතා විදුහලේ ආරම්භක විදුහල්පතිනිය වූ ක්ලේරා මොට්වානී මහත්මිය සිහිපත් කිරීම මේ වාර්ෂික නෙට්බෝල් තරගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණකි.

විශාඛා විදුහල් නෙට්බෝල් පිල උපනී රූපසිංහ විසින් මෙහෙයවන අතර ලිලාෂා කෞෂල්‍යා මානගොඩ සුජාතා විදුහල් නෙට්බෝල් පිලට නායකත්වය ලබා දෙයි. රන් සටන වාර්ෂික නෙට්බෝල් තරගය පිළිබඳ කොළඹ පදනම් ආයතනයේදී විශාඛා විදුහල්පතිනී සඳමාලී අවිරුප්පොල හා සුජාතා විදුහල්පතිනී පුෂ්පා කලුබෝවිල යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් පැවැති අතර දෙපිලම හොඳ තරගයක් ලබාදීමේ අපේක්ෂාවෙන් පසුවන බව පැවැසුණි.

ජාතික තලයට පිවිසෙන පාසල් නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට මෙවැනි තරගකාරී අවස්ථා විශාල වශයෙන් වැදගත් බව විශාඛා විදුහල්පතිනී සඳමාලී අවිරුප්පොල මහත්මිය මෙහිදී පැවැසූවාය. “විශාඛා විදුහල් මාතාවට විශාල සේවයක් කළ ක්ලේරා මොට්වානී මහත්මිය සිහිපත් කිරීම මෙම තරගයේ වැදගත්ම දෙයක්. ඒ වගේම සුජාතා විදුහලේ ආරම්භක විදුහල්පතිනය ලෙස වසර 23ක් ඇයගේ සේවය ලබාදී තිබෙනවා. මෙවැනි තරගයක් පැවැත්වීමට යෝජනා වෙද්දී මා දෙවරක් නොසිතා කැමැත්ත පළ කළේ මොට්වානී ශූරතා පළිහ ලෙස මෙය නම් කිරීමට සූදානම් වූ නිසයි. මේ තරගය ඉතා සාර්ථක එකක් වනවා නියතයි” අවිරුප්පොල මහත්මිය පැවැසූවාය.

විදුහල් දෙකටම මෙය සුවිශේෂී අවස්ථාවක් වන බව මාධ්‍ය හමුව ඇමැතූ සුජාතා විදුහල්පතිනී පුෂ්පා කලුබෝවිල මහත්මිය සඳහන් කළාය. “විශාඛා - සුජාතා විදුහල් දෙකම නෙට්බෝල් ක්‍රීඩාවට විශාල දායකත්වයක් ලබාදුන් පාසල් දෙකක්. පාසල් නෙට්බෝල් සම්මේලනයේ කටයුතුවලට මා මෙන්ම විශාඛා විදුහල්පතිනිය විශාල සේවයක් කර තිබෙනවා. මොට්වානී පළිහ සදහා නෙට්බෝල් තරගයක් යොදා ගත්තේ ක්‍රීඩාව පිළිබඳ ඇති විශාල උනන්දුව හේතුවෙන්. මේ තරගය දිගින් දිගටම ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට කැපවෙනවා” කලුබෝවිල මහත්මිය පැවැසූවාය.

තුරඟ තරග පිටියේ රගර් හා පාපන්දු තරග පමණක් පැවැතියද, විශාඛා - සුජාතා නෙට්බෝල් තරගය වෙනුවෙන් වෙනම විශේෂ ස්ථානයක් මුල්වරට වෙන්කර දීමට ක්‍රීඩාංගණ බලධාරීන් කැමැත්ත පළ කිරීමද විශේෂත්වයකි. රන් සටන වාර්ෂික නෙට්බෝල් තරගයට සමගාමීව යොවුන් ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම උදෙසා විදුහල් දෙක අතර 17න් පහළ නෙට්බෝල් තරගයක් ද පැවැත්වේ.

 


නව අදහස දක්වන්න