අරුවක්කාලු බොරු බිය | දිනමිණ

අරුවක්කාලු බොරු බිය

මහාචාර්ය මහේෂ් ජයවීර
මොරටුව විශ්වවිද්‍යාලය අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවන ව්‍යාපෘතියේ උපදේශක

කසළ මේ වන විට අපට ඇති උග්‍රතම ගැටලුවකි. කසළ කළමනාකරණය පිළිබඳ කිසිඳු සැලසුමක් නොමැතිව ම කසළ ගෙනැවිත් විශාල වශයෙන් එක්රැස් කෙරෙන ස්ථාන 260කට වැඩි ප්‍රමාණයක් දැනට ලංකාවෙ පවතින අතර ,ඒවා කිසිසේත් ම පරිසර හිතකාමී බැහැර වීම් ගණයට නොවැටේ. 2017 වසරේ නායයෑමෙන්, අඳුරු මතක පමණක් ඉතිරි කළ මීතොටමුල්ල කුණු කන්ද ද ඉන් එකකි. පරිසර හිතකාමී බැහැරවීම්“සනීපාරක්ෂක කසළ රඳවන” ලෙස හැඳින්වෙන අතර මේ වන විට පුත්තලමේ ඉදිකර ඇති අරුවක්කාලු කසළ රඳවනය එවැන්නකි. මින් පෙර දොම්පෙ ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනය වෙත මේ වන විට දිනකට ගෙනයන කසළ ප්‍රමාණය ටොන් 60කි. දැනට ලංකාවේ ඇති විශාලතම සනීපාරක්ෂක කසළ රඳවනය අරුවක්කාලු කසළ රදවනයයි. එය සකසා ඇත්තේ දිනකට කසළ ටොන් 1200ක් ගෙනැවිත් දැමිය හැකි වන අයුරිනි.

කොළඹ කසළ බැහැර කිරීමේ ගැටලුව දිනෙන් දින උග්‍ර අතට හැරවෙමින් පැවතියදී තාවකාලිකව කසළ බැහැර කෙරුණේ කෙරවලපිටිය කසළ අංගනයටය. එහිදී කාබනික පොහොර බවට පත්කළ හැකි කසළ හැර ඉතිරිය එහිම ගොඩගැසිණි. එය කසළ ගැටලුවට සාර්ථක විසඳුමක් නොවුණු තැන මෙගා පොලිස් අමාත්‍යාංශයට භාර වූයේ ඒ සඳහා සුදුසුම විසඳුමක් සෙවීමටය. ඒ අනුව ඉදිරිපත් වුණු හොඳ ම විසඳුම අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම ඉදිකිරීමයි. ඒ සඳහා ආණ්ඩුවෙන් වෙන් කළ මුදල ඩොලර් මිලියන 101කි.

සනීපාරක්ෂක කසළ රඳවන

සනීපාරක්ෂක කසළ රඳවනයක් සකස් කිරීම සුළුපටු කාර්යයක් නොවන අතර එය කළ යුත්තේ ඉංජිනේරු තාක්ෂණය යොදාගනිමින් ය. මෙවැන්නක් ඉදිකිරීමට ලංකාවේ සමාගම් සතු අත්දැකීම් අල්ප ය. ඒ හේතුවෙන් මෙගා පොලිස් අමාත්‍යාංශය (මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය) කළ අයදුම්පත් කැඳවීමට අනුව, රට රටවල සමාගම් කිහිපයක් අයඳුම්පත් යොමුකළ අතර කොන්ත්‍රාත්කරු ලෙස තෝරාගැනුණේ“China harbor engineering” සමාගමයි. මෙම ව්‍යාපෘතියෙහි උපදේශන කටයුතු කිරීමට තෝරාගෙන ඇත්තේ “දෝහා”නම් කොරියානු සමාගමත් ශ්‍රී ලංකාවේ“Central Engineering Consultancy Bureau” (CECB) නම් සමාගමත් ය.

මේ කසළ රඳවනය සඳහා අරුවක්කාලු ම තෝරාගැනීමට මුල් වූ හේතුව ද විශේෂයෙන් සලකා බැලිය යුත්තකි. ජනාකීර්ණ වීම හේතුවෙන් මේ සා විශාල කසළ රැඳවුමක් ඉදි කළ හැකි භූමියක් කොළඹ අවටින් සොයා ගැනීම අතිශය දුෂ්කර කර්තව්‍යයකි. ඒ අනුව පරිසර ඇගයීමේ වාර්තාව ඇතුළු වාර්තා පිරික්සා බැලීමෙන් අනතුරුව, මෙම තෝරාගැනීම සිදුකොට ඇත්තේ විද්වත් මණ්ඩලයක සහභාගීත්වයෙනි. අරුවක්කාලුවේ හුණුගල් එළියට ගැනීමෙන් ඇතිවූ විශාල වළවල් ඇත. එම වළවල් පස් දමා පුරවා, එහි වනාන්තරයක් ඇති කිරීමට සැලසුම්කොට ඇත. ඒ හේතුවෙන් අරුවක්කාලුව මේ ව්‍යාපෘතිය සඳහා සුදුසුම භූමියයි. මේ වන විට සැලසුම් කොට ඇත්තේ එම වළවල් නිසි අන්දමින් සකස් කොට, ලයිනර්ස් යොදා, ඒ මත කසළ යෙදීමටත්, කසළවලින් පුරවා, වසා දැමූ භූමියේ කැලයක් ඇතිකිරීමටත් ය.

මෙහි කසළ ගෙනැවිත් දැමීම සිදු විය යුත්තේ යම්කසි ක්‍රමවේදයකට අනුව ය. ප්‍රථමයෙන් සලකා බැලිය යුත්තේ කසළ ගෙනැවිත් දැමීමෙන් සිදුවිය හැකි පරිසර විනාශ පිළිබඳ ය. පළමු කරුණ නම් කසළ ගෙනැවිත් දැමූ විට එහි ඇති අපදියර පොළොව යටට යා හැකි වීමයි. එය වළකා ගැනීම සඳහා ලයිනර් එකක් යෙදිය යුතු ය. මේ සඳහා යොදාගන්නා ලයිනර් එක සැදී ඇත්තේ ලේයර්ස් (තට්ටු) හතකින් සමන්විතව ය. එහි වර්ග මීටරයක මිල ලංකාවේ මුදලින් රුපියල් 20000කටත් වැඩි ය. එවැනි ලයිනර් යොදා, ඒ මත පස් යොදා, ඉන් අනතුරුව කසළ ගෙනැවිත් දමයි. ගෙනැවිත් දැමූ කසළ තලා දැමීමට විද්‍යානුකූල ක්‍රමවේදයක් ඇත. ඉන් අනතුරුව කෙරෙනුයේ තලා දැමූ කසළ මතට පස් යෙදීමයි. කසළ රඳවනය ඉහළට යන්නේ ඔයාකාරයෙන් ය. මෙම කසළ රඳවනය යා හැකි උපරිම උස වන්නේ මීටර් 45කි. එසේ ම ඉහළට යා යුත්තේ ආනතියක් ඇතුව ය. නොඑසේ නම් කඩාවැටෙනු ඇත. කසළ රැඳවීම අවසන් කළ පසු වසා දැමිය හැකිය. මෙහි දැනට දිනකට රැඳවිය හැක්කේ කසළ ටොන් 1200කි. එසේ ම දැනට සකසා ඇති අන්දමට මෙම ස්ථානය වසර හයක් පමණ කාලයකට කසළ රඳවනයක් ලෙස භාවිත කිරීමට පුළුවනි. මෙම කසළ රඳවනය දිගු කිරීමෙන්, අවැසි නම් වසර 80ක් දක්වා වුව ද භාවිත කිරීමට සකස් කරගත හැකිය.

මෙම කසළ රැඳවුමෙහි විවිධ වායුන් ඇතිවන අතර ඒවා ඇදගෙන පුළුස්සා දැමීමට “ගෑස් වෙල්ස්” නම් ළිං සාදා ඇත. මෙහි පහළට ගලා යන අපදියර සඳහා වෙනම නළ පද්ධතියක් ද ඇත. එම නළ පද්ධතියෙන් ගන්නා අපදියර පිරිසිදු කිරීමේ පද්ධතියක් ද ඇත. අපදියර පිරිසිදු කොට අවට සිටුවා ඇති පැළවලට යෙදීම සිදු කරයි. වනාන්තරයක් ඇති කිරීමේ අරමුණෙන් ඒ අවට ගස් සිටුවා ඇති නමුත්, ඒවාට යෙදීමට තරම් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජලය නොමැති අතර මෙම ජලය ඒ සඳහා භාවිත කරයි. කිසිඳු අවස්ථාවක මෙම අපදියර පිරිසිදු කිරීමෙන් අනතුරුව හෝ පුත්තලම කළපුවට යොමු කෙරෙන්නේ නැත.

ජනතාවගෙන් එල්ල වන ප්‍රධානම දෝෂාරෝපණය නම්, මෙම ව්‍යාපෘතිය මඟින් පුත්තලම කළපුව දූෂණය වන බවයි. ප්‍රදේශවාසීන් සිතා සිටිනුයේ මෙහි එක්රැස්වන අපජලය කළපුවට යොමු කරන බවයි. ඒ මඟින් කළපුවේ මාළු හිඟවීමත්, ලුණු කර්මාන්තය කරගෙන යෑමට නොහැකි වීමත් සිදු වෙතැයි අනියත බියක් ඔවුන් තුළ පවතී. නමුත් ව්‍යාපෘතිය සම්බන්ධ බලධාරීන් කියා සිටිනුයේ මෙම අපද්‍රව්‍ය හෝ අපජලය කසි ලෙසකත් කළපුවට යොමු නොවන බවයි. එසේ ම භූගත ජලයට එක් වීමට ද ඉඩක් නැත. යොදා ඇති ලයිනර් මඟින් ඒ සඳහා ද මඟ අහුරා තිබේ. අවම වශයෙන් පිරිසිඳු කරන ලද අපජලය හෝ කළපුවට එක් නොකෙරෙන අතර මේ ව්‍යාපෘතිය හරහා කළපුවට කිසිඳු ආකාරයක බලපෑමක් නොවන බව අවධාරණාත්මකව කිව යුතු ය. කසළ රඳවනයට යොදා ඇති ලයිනර් සඳහා ඇත්තේ අවුරුදු 100ක වගකීමකි. ඒ කෙසේ වෙතත් යම් හෙයකින් ලයිනර් හිල්වීමකින් අපදියර යටට යෑමක් සිදු වුවහොත් පහළින් සාදා ඇති “මොනිටරින් වෙල්ස්”වලින් එය ද දැනගත හැකිය. එම මොනිටරින් වෙල්ස් නම් ළිං, දිනපතා තත්ත්ව පරීක්ෂණයකට ලක්කෙරෙන අතර අපදියර හමු වුවහොත් එය ද එතැනින් නවත්වා නිසි පිළියම් යොදනු ඇත. සෑම පැතිකඩක් ගැන ම සලකා බලා අතිශයින් පරිසර හිතකාමී වන අන්දමින් සකස් කළ කසළ රඳවනයකි මෙම අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම. වියදම පිළිබඳ සලකා බැලුවහොත් කසළ ටොන් එකක් වෙනුවෙන් මෙහිදී දරන්නට වන පිරිවැය රුපියල් 3000ක් පමණ වේ. එම පිරිවැය දැනට දරන්නෙ මෙගා පොලිස් අමාත්‍යාංශයෙනි. මෙහිදී සියල්ල විද්‍යානුකූලව සිදු කෙරෙන අතර මේ වන විට මූලිකත්වය ලබා දී ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කසළ පළමුව ගෙනැවිත් දැමීමට ය. දැනට පුත්තලමේ ද බොහෝ දෙනා සිදු කරනුයේ කසළ එක්රැස් කර පුළුස්සා දැමීමයි. ඒ තුළින් විය හැකි සෑම අන්දමකින් ම පරිසරය දූෂණය සිදු වන බව අමුතුවෙන් නොකිව මනා ය. නමුත් පුත්තලමේ ජනතාවට මෙම කසළ රඳවනයට කසළ ගෙනැවිත් දමන්නට කී විට සිදු කරනුයේ අදාළ ව්‍යාපෘතියට එරෙහිව නැඟී සිටීම ය. ගැටලුව ඇත්තේ එතැන ය. බෙලි ගෙඩිය වැටුණු විට, නොසොයා නොබලා, අහස කඩා වැටෙන බව කියමින් හිස් ලූ ලූ අත දිව්වේ හාවෙක් ය. ඌ පසුපස දිව ගිය බොහෝ සතුන් දුවන්නේ කුමකට ද යන වග හෝ නොදැන සිටින්නට ඇත.

පරිසරහිතකාමී ක්‍රමවේද

මෙය වනාහී සෑම දියණු රටකම පාහේ අනුගමනය කරන ක්‍රමවේදයකි. අමෙරිකාවේ මෙවැනි සනීපාරක්ෂක කසළ රඳවන 3000ක් පමණ ඇති අතර කොරියාවේ අක්කර 400කට වඩා විශාල භූමියක් සනීපාරක්ෂක කසළ රඳවනයක් ලෙස පවත්වාගෙන යයි. මෙම ක්‍රමයවේදය ලාබදායි සේ ම පරිසර හිතකාමී ද වේ. එසේ ම අප වැනි රටකට ඔරොත්තු දෙන සාර්ථක ම පරිසර හිතකාමී කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය ද මෙයයි. ඒ කෙසේ වෙතත් කරුණු දැන හෝ නොදැන විරෝධය පාන්නට පෙළගැසෙන්නවුන්ගේ නම් අඩුවක් නැත.

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් ව්‍යාපෘතිය ආරම්භයේ සිට ම එය කඩාකප්පල් කරන්නට මාන බැලූවන්ගේ නවතම සටන් පාඨය වී ඇත්තේ “කොළඹ කුණු අපිට එපා” යන්නයි.

කොළඹ එක්රැස් වන්නේ කොළඹ වැසියන්ගේ කුණු පමණක් නොව, සෑම දිනකම පිටපළාත්වලින් කොළඹට පැමිණෙන මිලියනයක් පමණ ජනතාවගේ කුණු එකතු වන්නේ ද කොළඹ ය යන වගත් සිහිපත් කිරීමට කැමැත්තෙමි. එකක් පසුපස එකක් වශයෙන්, පදනම් විරහිත හේතු හා තර්ක ගෙනඑමින් උද්ඝෝෂණ කරන්නවුන් , අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම පිළිබඳ සැබෑ තතු නොදැන සිටීම කනගාටුවට කරුණකි. හඬ නැඟිය යුත්තේ තතු දැනගෙන ය. නොඑසේ නම් නිහඬව සිටීම මැනවි. රටක ජනතාව විසින් කළ යුත්තේ රජයක් විසින් ගන්නා සෑම පියවරකදීම විරෝධය පෑම නොව, අකටයුතුකම්වලදී හඬ නැඟීම යහ කටයුතුවලදී අත දීමත් ය. නොඑසේ නම් රටක් වශයෙන් ඉදිරියට යෑම බොහෝ අපහසු කර්තව්‍යයක් වනු ඇත.

සටහන
කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න