මට මම ගැන විශ්වාසයි | දිනමිණ

මට මම ගැන විශ්වාසයි

දම්මික හේවාදුවත්ත

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දෝතින් දරන්නට වරම් ලද ඔහු, නමින් දම්මික හේවාදුවත්ත ය. කලා රසය හොඳින් හඳුනන්නෙකුට නිර්මාණයකට දිය හැකි උපරිම වටිනාකම පෙන්වා දුන් ඔහු සමඟිනි මේ සොඳුරු පිළිසඳර.

සම්මානයේ සතුට සමඟින් කතාබහ අරඹමු?

රයිගම් සම්මාන උළෙලෙදි මට හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලැබුණෙ “මිණිගංදෑල” ටෙලිනාට්‍ය වෙනුවෙන්. “මිණිගංදෑල” ගැන කතා කරද්දි මට මතක් වෙන්නෙ තුෂාරි අබේසේකරගෙ “හෝපළු අරණ” ටෙලි නාට්‍ය. ඒකෙත් කතාව මේ වගේ ලොකු කාල පරාසයක් දක්වා විහිදෙනවා. “මිණිගං දෑල” මම බොහොම කැමැත්තෙන් කළ වැඩක්. මට මේ වැඩේදි උදව් කළ හැමෝමවත් මම මේ අවස්ථාවෙදි ආදරෙන් මතක් කරනවා.

ඔබ ලැබූ පළමු සම්මානය පිළිබඳ මතකය අවධි කළොත්?

මං කරපු පළවෙනි ඉතිහාස කතාව වුණු “විජය කුවේණි” චිත්‍රපටය වෙනුවෙන් වගේ ම “වරිග පොජ්ජ” චිත්‍රපටය වෙනුවෙනුත් මම හොඳම කලා අධ්‍යක්ෂකවරයාට නිර්දේශ වුණා. ඒ වගේ ම ටෙලිනාට්‍ය කිහිපයක් වෙනුවෙනුත් දිගින් දිගට ම නිර්දේශ වෙවී ආවා. ඒ අවස්ථාවලදී පුංචි දුකක් ඇති නොවුණා ම නොවෙයි, නිර්දේශ වෙනවා විතරයි ඇයි සම්මානෙ හම්බෙන්නෙ නැත්තෙ කියලා. ඒ වෙලාවෙ මම හිතට ගත්තෙ මගේ මොකක් හරි අඩුපාඩුවක් ඇති මම ඒවත් කොහොම හරි හදාගන්නවා කියලයි. මෙහෙම ගිහින් ගිහින් සම්මානය මට නොදී ඉන්න බැරි තැනක් එයි. එදාට දෙයිනෙ කියලා මමත් බලන් හිටියා. තුෂාරි අබේසේකර අක්කගේ “හෝපළු අරණ” ටෙලි නාට්‍ය වෙනුවෙන් තමයි හා හා පුරා කියලා මට සම්මානයක් ලැබුණෙ. එතැන් පටන් ජැක්සන් ඇන්තනී මහත්මයාගේ “සීරජ”, “දස්කොන්” වැනි ටෙලිනාට්‍ය වෙනුවෙන් එවකට තිබුණ හැම සම්මාන උළෙලකදි ම වගේ මට සම්මාන ලැබුණා. ගිය වසරේත් මම කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණු චරිත් අබේසිංහගේ “ගැමුණු මහරජ”, තුෂාරි අබේසේකරගේ “සේද ගංතීර”, ජැක්සන් ඇන්තනී මහත්මයාගේ “සීරජ” ටෙලිනාට්‍ය සඳහා හොඳම කලා අධ්‍යක්ෂණයට නිර්දේශ වුණා. සම්මාන කිහිපයක් ම මට ලැබුණා. හරිම ආදරෙන් ඒ සම්මාන ළඟ තියාගෙන ඉන්නවා. ඒවා දකිනකොට හිතට දැනෙන්නේ අවංක සතුටක්. ඒ සම්මාන දිහා බැලුවම පේන්නෙ ඒ සම්මාන ගන්න කරපු කැපවීම. මේ කිසි දෙයක් නිකම් ම හම්බුණ ඒවා නෙවෙයි. මම කරපු හැම වැඩක් වෙනුවෙන් ම සෑහෙන්න මහන්සි වෙන්න වගේ ම කැපවෙන්න වුණා. ඒ වගේ ම මට ලැබුණු හැම වැඩක ම පිටපතට මම බොහොම ආදරෙයි. කලා අධ්‍යක්ෂකවරයෙකුට නිවැරදි පිටපතක් ලැබුණම ඔහුට තියෙන අත්දැකීම් එක්ක හොඳ නිර්මාණයකට යන්න පුළුවන්. මාව මේ තරම් දුර ගෙනාවෙ ඒ පිටපත්.

ක්ෂේත්‍රය තුළ කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔබ කලකිරුණු,පසුතැවුණු තැන් පවා ඇති?

ඔව් මම සමහර වැඩවලදි පසුතැවිලා තියෙනවා. මම හදපු පසුතලවලින් හරියට ප්‍රයෝජන ගත්තෙ නැත්තෙ ඇයි කියලා මට හිතුණු අවස්ථා තියෙනවා. ඇයි මෙහෙම මෙච්චර මහන්සි වෙලා, මෙච්චර වියදම් කරගෙන කරලත් අපරාධෙනෙ නියම විදිහට පසුතලවලින් ප්‍රයෝජන ගත්තෙ නෑ කියලා මට හිතුණු තැන් නොතිබුණා නොවෙයි. නමුත් ඒ වගේ තැන්වලදිත් කමක් නෑ මම මගේ වැඩේ හරියට කළානෙ මගේ උපරිමය මම කළානෙ කියලා හිත හදාගන්නවා.

කාලයක් ඔබ ඉතිහාස කතාවලට ම කොටු වෙලා හිටියා නේද?

මම ඉතිහාස කතාවලට ම දායක වෙන කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට ලේබල් එකක් වැදිලා තියෙනවා. නමුත් එහෙම එකක් නෑ. මම කැමතියි මහන්සි වෙලා වැඩක් කරන්න පුළුවන් විදිහෙ නිර්මාණයකට දායක වෙන්න. මම වැඩේ ඇතුළෙ තෘප්තිමත් වෙන්නෙ මම දක්වන මහන්සිය තුළ. මම මහන්සි වෙන තරමට තමයි මට ඒ වැඩේ දැනෙන්නෙ. ඒ නිසයි මම මහන්සි වෙලා යමක් කරන්න තියෙන වැඩවලට පෙළඹුණේ. හැබැයි ආපස්සට හැරිලා බැලුවම වැඩක් කරන්න තිබුණ වැඩ හැටියට හුඟක් ම මට ලැබිලා තිබුණෙ ඉතිහාස කතන්දර. ඒවායේ දැවැන්ත පසුතල හදන්න තියෙනවා. ඒ නිසා ඉතිහාස කතන්දර කිහිපයක් ම මට කරන්න ලැබුණා. ඒ හින්දම වෙන්න ඇති මට ඒ විදිහෙ ලේබල් එකක් වැදිලා තියෙන්නෙ. නමුත් මම කියන්න ඕනෙ මට ඉතිහාස කතන්දරත් පුළුවන්. වර්තමාන කතන්දරත් පුළුවන්. කලා අධ්‍යක්ෂකවරයෙකුට එහෙම කොටු වෙන්න බෑ. ඒ විදිහට කොටු වෙනවා නම් මම හිතන්නෙ ඔහු කලා අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි කියලා. මම කොටු වෙලා නෑ.

පහුගිය දිනවල නිර්මාණ කිහිපයකට ම ඔබ කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණු බව දැනගන්න ලැබුණා?

පහුගිය දවස්වල චාමර ජනරාජ් පීරිස් මහත්මයාගේ “උතුරු සුළඟ” චිත්‍රපටියේත්, ජැක්සන් ඇන්තනී මහත්මයාගේ “එකගෙයි” චිත්‍රපටයේත් වැඩ අවසන් කළා. ඒ වගේ ම ප්‍රසන්න විතානගේ මහත්මයා සමඟ “ගාඩි” කියලා චිත්‍රපටියක වැඩ කළා. ඒ තමයි ප්‍රසන්න විතානගේ මහත්මයා එක්ක මම කරපු පළවෙනි ම වැඩේ. ඒක මම පුදුමාකාර ආසාවකින් කරපු වැඩක්. අවුරුදු ගාණක් තිස්සෙ ඒ වැඩේ කරන්න ප්‍රසන්න විතානගේ මහත්මයා සූදානම් වෙවී ඉන්න වෙලාවක මම දන්නා තරමින් ප්‍රවීණ කලා අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙකුම ඒ වැඩේ කරන්න කැමැත්තෙන් හිටියා. නමුත් එතුමන්ලාගේ දින ප්‍රශ්න වගේ දේවල් එක්ක මගේ වාසනාවකට මේ අවස්ථාව මට ලැබුණා. ඒකත් ඉතිහාස කතාවක්. නමුත් ඒක මම මෙතුවක් කල් වැඩ කරපු ඉතිහාස කතන්දරවලට වඩා වෙනස්. විශාල පර්යේෂණයකින් අනතුරුව කරපු වැඩක්. මම ඒ වැඩේ ඉතාමත් ඕනෑකමකින්, කැපවීමකින් කළා. වැඩේ අවසානයේ ප්‍රසන්න විතානගේ මහතා තෘප්තිමත්. ඒ වැඩේ ඇතුළෙ මම කොහොමත් තෘප්තිමත්. මට ඒ වැඩේදි “බොම්බෙ වෙල්වට්” චිත්‍රපටයේ වැඩ කරපු ඉන්දියානු කැමරා අධ්‍යක්ෂක රජිව් රවී මහත්මයා සමඟ වැඩ කරන්න ලැබුණා. ඒක ලොකු වාසනාවක්. මොකද ඔවුන්ගෙන් අපිට ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. මේ දවස්වල ඔට්ටු වෙන්නෙ තිස්ස නාගොඩ විතාන මහත්මයාගේ අලුත්ම චිත්‍රපටිය “ගුත්තිල මූසිල” නිර්මාණය එක්කයි. සනත් අබේසේකර මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරන්නෙ. නිෂ්පාදනය කරන්නෙ තිස්ස නාගොඩ විතාන මහතාගේ පදනමෙන්. විදේශ චිත්‍රපටියකටත් ආරාධනා ලැබිලා තියෙනවා. මේ දිනවල ඒකෙත් වැඩ කටයුතු බොහොම හෙමි හිමින් කරගෙන යනවා.

කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට අද ඔබ ලොකු ගමනක් ඇවිල්ලා ඉන්නවා. කවුද මේ ගමන පිටිපස්සෙ ඉඳන් ශක්තියක් වුණේ?

එතනදි මම මුල්ම කොට සලකන්නෙ මගේ තාත්තා. ඔහුව මං ඉතාම ආදරෙන් මේ වෙලාවේ සිහිකරනවා. ඔහු අද වෙද්දි ජීවතුන් අතර නෑ. මගේ තාත්තා දැක්කෙ නෑ මම එක සම්මානයක් වත් ගන්නවා. ඒ දුක මට තාම දැනෙනවා. මම සම්මානයක් ගත්තම හැමදාම අත්දෙක උස්කරලා ඉස්සෙල්ලම පෙන්නන්නෙ මගෙ තාත්තට. මොකද තාත්තට මට පෙන්නන්න ඉඩක් ලැබුණෙ නෑ. ඒ දවස්වල මම සහය කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඉන්න කාලෙ පත්තරේක මගේ පොඩි විස්තරයක් ගියත් ඒකත් අරන් ගිහින් හැමෝටම පෙන්නන්නෙ මගේ තාත්තා. ඒ තරම් තාත්තා හරි ආදරෙන් හිටියෙ. මගේ අවාසනාවට අද මේ ජයග්‍රහණයන් පෙන්නන්න මගේ තාත්තා මං ළඟ නෑ. ඒ ගැන බොහොම දුකයි. තාත්තගෙන් ලැබිච්ච දායාදය තමයි මේ. තාත්තටත් කලාත්මක වැඩ හොඳට පුළුවන්. ඒක වෙන්න ඇති මගෙ ඇඟෙත් මේ තියෙන්නෙ. ඒ වගේ ම මගේ ආදරණීය අම්මා මගේ ළඟින් හැමදාම හිටියා. දැන් එතනට තව එක්කෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ තමයි මගේ ආදරණීය බිරිඳ වාසනා ලියනගේ. ඇයත් මට විශාල ශක්තියක් වෙනවා මගේ හැම වැඩකදීම.

මොකක්ද මේ සාර්ථකත්වයේ රහස?

මට ලැබෙන හැම වැඩක් ම මම කරන්නෙ මේ මගේ ජීවිතේ මම කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට කරන පළවෙනි වැඩේ කියලා හිතලයි. මොකද අපි හැමෝම පළවෙනි වැඩේ ඇතුළෙදි තියෙන සේරම බරපැන දාලා තමුන්ගෙ මහන්සිය උපරිමයෙන් දාලානෙ කරන්නෙ. ඕන කෙනෙකුට පළවෙනි ආදරය හැමදාටම මතක හිටිනවානේ. මේකත් ඒ වගේ එකක් විදිහට තමයි මම සලකන්නෙ. මට වැඩ කරන්න පුළුවන්. මහන්සි වෙන්න පුළුවන්. නමුත් මම ඇඳගෙන නෑ. අපි එහෙම වෙන්න ඕනෙත් නෑ. අපි අපේ වපසරිය හරියට අඳුනගෙන ඒක ඇතුළෙ හරියට වැඩේ කළාම ඇති. අපිට ලැබෙන්න ඕනෙ ප්‍රතිචාර, මිනිසුන්ගේ ආදරය අපිට ලැබෙනවා. කලාව කියන්නේ අපිට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. කලාවට වංචාවක් නොකරන තාක්කල් ඒක අපි ළඟ තියෙයි. මේ කලාවට වංචා කරලා, ඒක විකුණගෙන කන්න ගියොත් ඒ තෑග්ග දුන්න කෙනාම ඒක ආපහු ගනියි. මං හිතන්නෙ එහෙමයි. ආගමදහම ගැන මගේ ලොකු පැහැදීමක්, විශ්වාසයක් තියෙනවා. මම කරන හැම වැඩකදීම මම හිතේ විශ්වාසය ඇති කරගෙන තමයි වැඩ කරන්නෙ. මං මගේ වැඩේට හානියක් නොකරන තාක්කල් ඒ වැඩෙන් මට හානියක් නොවෙන බව මම දන්නවා.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න