මිලියන 900ක වියදමින් කොළඹ වරාය දියුණු කරනවා | දිනමිණ

මිලියන 900ක වියදමින් කොළඹ වරාය දියුණු කරනවා

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය

කොළඹ වරාය රුපියල් මිලියන 900ක වියදමින් නවීන තාක්ෂණයෙන් යුතු සුහුරු වරායක් බවට පත්කිරීමට සැලසුම් කර ඇතැයි වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) ප්‍රකාශ කළේය. කොළඹ වරායේ නැ‍ඟෙනහිර පර්යන්තය ජපාන ණය ආධාර යටතේ සංවර්ධනය කරන බව ඇමැති සාගල රත්නායක මහතා කියා සිටියේය.

ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කරන මෙම ව්‍යාපෘතියේ වැඩි අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබා‍ගන්නා බවත් වරායේ ධාරිතාව වැඩිකර ගැනීම වෙනුවෙන් නැ‍ඟෙනහිර පර්යන්තය සංවර්ධනය කරන බවත් ඇමැතිවරයා සඳහන් ක‍ළේය.

වසර හතලිහක කාල සීමා‍වක් වෙනුවෙන් ලබාගන්නා මෙම සහන ණය සියයට එකක පොලී අනුපාතය යටතේ ලබාගන්නා අතර වසර දහයක කාලයක් සඳහා සහන කාල සීමාවක් ලබාදීමට කැමැත්ත පළකර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එ‍මෙන්ම කොළඹ වරාය සුහුරු වරායක් බවට පත්කර තොරතුරු තාක්ෂණයෙන් ඉහළ මට්ටමට ගෙන ඒමට කටයුතු කරන අතර මේ සඳහා රුපියල් මිලියන නවසියයක් වැයවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය මාස දහ අටක කාලයක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති අතර කන්කසන්තු‍රේ, ගාල්ල ත්‍රිකුණාමලය ඇතුළු සමස්ත‍ වරාය පද්ධතිය නවීකරණය කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් ඇමැතිවරයා‍ වැඩිදුරටත් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා

හම්බන්තොට වරාය 2001 දී සී එම් පෝර්ට් සමාගමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දෙන විට හොඳයි. මහින්ද සමරසිංහ ඇමැතිතුමා උපායමාර්ගිකව හිතලා දෙනවිට වැරැදියි. හම්බන්තොට වරාය හැදුවා නමුත් ඒකේ ණය ටික ගෙවන්න ක්‍රියාමාර්ග සකස් කළේ නැහැ. අපි ඒක කරනවා. හම්බන්තොට කර්මාන්ත පුරය හා නව නගර ඇති කරලා අපි රැකියා ප්‍රමාණයක් ඇති කරනවා.

 


නව අදහස දක්වන්න