පැරදුණත් සටනක් දුන්නා | දිනමිණ

පැරදුණත් සටනක් දුන්නා

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් විශාල ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් වුවද සමස්ථ තරගාවලිය දෙස අවධානය යොමු කර බැලීමේදී විස්සයි20 තරග 3 දීම දකුණු අප්‍රිකාවට එරෙහිව සටනක් ලබාදීමට හැකි වූ බව පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සි සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ගිහිදී පෙරේදා (24 දා) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගනිද්දී, එක්දින තරගාවලිය 5-0 ක් ලෙසින්ද විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස සත්කාරක දකුණු අප්‍රිකාව ජය ගනු ලැබීය.

තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වැන්ඩර්සි, "මේ තරගය තමයි අපි ලොකු ලකුණු ගණනකින් පැරදුණ තරගය. නමුත් මේ තරගයෙදිත් අපි අවසානය තෙක්ම හොඳ තත්ත්වයක සිටියා. වර්ෂාව මෙන්ම කඩුලු එක පිට එක දැවී යෑම අපිට ලොකු අවාසියක් වුණා" යැයි පැවැසීය.

"අපි කළින් පැවැති තරග 2 දිහා බැලුවොත්, පළමු තරගය සුපිරි පන්දු වාරය දක්වා ඇදී ගියා. දෙවැනි එකේදි අපි පරාද වුණේ ලකුණු 16 කින්. ඒක පොඩි ලකුණු සංඛ්‍යාවක්. පන්දු යවන්න කළින්ම අපි දැනගෙන සිටියා මේක මන්දගාමී තණතීරුවක් කියලා. ඒ ගැන අපි ඩ්‍රෙසිං රූම් එකේදිත් සාකච්ඡා කළා. අපි මේකෙ මීට කළින් එක්දින තරගයකට ක්‍රීඩා කරලා තිබුණ නිසා මේ ක්‍රීඩාංගණය ගැන අවබෝධයක් තිබුණා. නමුත් වැස්ස ඒ සියල්ල වෙනස් කළා" යැයි පා දඟ පන්දු යවන්නා කරුණු පහදයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල නියමිත පන්දුවාර 20 කදී කඩුලු 2 කට ලකුණු 198 ක් ලබා ගත් අතර එය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 12 වැනි පන්දුවාරයේ පළමු පන්දුව ක්‍රියාත්මක වෙත්ම වර්ෂාවෙන් බාධා පැමිණියේය. යළි ආරම්භ වුණු තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ඉලක්කය ලෙස පන්දු 35 කදී ලකුණු 72 ක් ලබා ගැනීමට නියමිත විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විටත් ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියේය. එහෙත් නැවත ආරම්භයේදී ශ්‍රී ලංකා පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 26 ක් පමණි. 7 වැනි පිතිකරුවා ලෙසින් ඉසුරු උදානගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉතිරි කඩුලු 4 ම පන්දු 9 ක් තුළදී බිඳ වැටීම මෙතරම් පරතරයකින් තරගය පරාජයට වීමට ප්‍රධාන විය.

මෙම තරගයේදීද ශ්‍රී ලංකා පිලේ ගැලවුම් කරුවා බවට පත් වූ ඉසුරු උදාන පන්දු 23 කදී හයේ පහර 4 ක් සමඟ ලකුණු 36 ක් වාර්තා කළ අතර ඔහුගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම කඩා වැටිණ. 15 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට උදාන දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව 137 ක් ලෙසින් සටහන් වූ අතර 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවට ශ්‍රී ලංකා ඉනිම හමාර වන විටත් මුලු ලකුණු සංඛ්‍යාව 137 ක් වශයෙන්ම සටහන්විය.


නව අදහස දක්වන්න