තේරීම් කමිටු සභාපති මැතිව්ස් හමුවෙයි | දිනමිණ

තේරීම් කමිටු සභාපති මැතිව්ස් හමුවෙයි

චමිල කරවිට

එළැඹෙන මැයි මස අගදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමේදී හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිටින ස්ථාවරය සම්බන්ධව අදහස් විමසීමට වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන අසන්ත ද මෙල් මහතා ඊයේ (25 දා) පියවර ගත්තේය.

ඉකුත් මාස 3 කට ආසන්න කාලයේදීම විවේක සුවයෙන් පසුවූ මැතිව්ස් ඊයේ උදෑසන මුණ ගැසුණු මෙල් මහතා, හිටපු නායකයකු ලෙස ලෝක කුසලාන තරගාවලියේදී කළ යුත්තේ කුමක්ද, ඒ සම්බන්ධව තමන් දරන මතය, මෙන්ම අදහස් හා යෝජනා පිළිබඳ විමසා තිබේ. ඉතාම සුහදශීලී අයුරින් පැවැති එම හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය යළි භාර ගැනීම සම්බන්ධව කිසිවක් නොවිමසා සිටීමට තේරීම් කමිටු සභාපතිවරයා වග බලාගෙන තිබීමද විශේෂත්වයකි.

"ඇත්තටම විශේෂ දේවල් ගැන මම එයාගෙන් මුකුත්ම ඇහුවේ නෑ. මට ඕන වුණේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන එයාගෙන් අදහස් ටිකක් ගන්න. විශේෂයෙන්ම නම් කළ යුතු සංයුතිය, ක්‍රීඩාවේ දැන් තියෙන තත්ත්වය වගේම ලෝක කුසලානය ගැන එයා දරන මතය, අදහස්, යෝජනා වගේ දේවල් තමයි මම එයාගෙන් ගොඩක්ම ඇහුවේ" යැයි අසන්ත ද මෙල් මහතා 'දිනමිණ' හමුවේ අනාවරණය කර සිටියේය.

"මේ දේවල් එයාගෙන් අහන්න මම හිතුවේ එයා තමයි අන්තිම කාලෙදි ශ්‍රී ලංකා පිලේ වැඩිම කාලයක් නායකයා විදියට කටයුතු කරලා තියෙන්නේ. ගොඩක්ම ලෝක කුසලාන තරගාවලිය ගැන එයාගේ ඈන්ගල් එක ගැන ඇහුවා. ඒ වගේම එයාගේ ශාරීරික යෝග්‍යතාව කොහොමද කියන එකත් මම විශේෂයෙන් ඇහුවා. ඇත්තටම අපි අතර සිද්ධ වුණේ ඉතා හොඳ සාකච්ඡාවක්" යැයි ද තේරීම් කමිටු සභාපති ධුරයට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කලමනාකරු ලෙසින් කටයුතු කරන අසන්ත ද මෙල් මහතා පැවැසීය.

මීට පෙර ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාවද මුණ ගැසී සාකච්චා කළ අසන්ත ද මෙල් මහතා දකුණු අප්‍රිකානු සංචාරයේ විස්සයි20 තරග 3 දී ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ස්ටීව් රික්සන් මහතාවද හැකි ඉක්මනින් මුණ ගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ. දකුණු අප්‍රිකානු සංචාරය නිමවූ රික්සන් මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (26 දා) මෙරටට පැමිණීමට නියමිතය.


නව අදහස දක්වන්න