විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා උළෙලේදී රන්-රිදී පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට උපහාර | දිනමිණ

විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා උළෙලේදී රන්-රිදී පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට උපහාර

ප්‍රින්ස් ගුණසේකර

අබුඩාබිහී නිමාව දුටු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කම් හතරක් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර හා මුදල් තිලිණ ප්‍රදානය ජනමාධ්‍ය හා ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා අතින් සිදු කෙරෙයි. පසුගිය 14වැනිදා සිට 21වැනිදා දක්වා අබුඩාබි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා උළෙලට රටවල් 192ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7500ක් පමණ එක්ව සිටියහ.

ආරක්ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර හා මුදල් තිලිණ ප්‍රදානය ඊයේ සිදුකෙරුණ අතර රන් පදක්කම් දිනාගත් ශෂික අනුරුද්ධ (පිහිනුම් මීටර් 25 නිදහස් ආර), සජිත් ජනිත කුමාර (දුර පැනීම) හා රිදී පදක්කම් දිනාගත් විනෝද් වියලේගොඩ ( බැඩ්මින්ටන්), කාවින්ද කුමාර ( බැඩ්මින්ටන්), අරුන් ප්‍රශාන්ත් (පිහිනුම් මීටර් 50 නිදහස් ආර), දුමිදු මුතුනායක (මීටර් 100) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජනමාධ්‍ය හා ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ ඇගැයීමට ලක්වූහ.

මුදල් තිළිණ ප්‍රදානයෙන් අනතුරුව ජනමාධ්‍ය හා ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පැවැසූවේ පසුගිය කාලයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සමාජයේ වැඩි පිළිගැනීමක් නොතිබුණද, වත්මන් රජය මෙම දක්ෂ දරුවන් පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවය. මෙවැනි දරුවන්ගේ දක්ෂතා ඉදිරියට ගැනීම උදෙසා ක්‍රීඩා ඇමැතිවරයා සමග සාකච්ඡා කොට ඉදිරියේදී ක්‍රමවත් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

“ මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලැබූ ජයග්‍රහණය රටට විශාල කීර්තියක්. මෙවැනි දරුවන්ගේ දක්ෂතා රටට විශාල ආදර්ශයක් බව සඳහන් කළ යුතුයි. මොවුන් සමාජයෙන් කොන් නොකොට අතහිත දී රැකබලා ගැනීම අපේ වගකීමක් මෙන්ම යුතුකමක්. රජයක් ලෙස මේ දරුවන්ගේ කුසලතා දියුණු කිරීමට ශක්තිය හා ධෛර්ය ලබා දෙනවා. විශේෂ දක්ෂතා ඇති දරුවන් පිළිබඳ රටතුල විශාල අවධානයක් ඇති විය යුතුයි“ විජේවර්ධන මහතා පැවැසීය.

උපතින්ම යම් යම් ආබාධ ඇති මෙම දරුවන් කොළඹ, ගාල්ල, ගම්පහ, කලුතර හා මාතර යන දිස්ත්‍රික්කවල පිහිටි විශේෂ අවශ්‍යතා ඇති ඔලිම්පික් සෙරන්ඩිබ් ශ්‍රී ලංකා පාසල්වල ඉගෙනුම ලබන අතර එදිනෙදා කටයුතුවලට මුහුණදීමේ හැකියාව හා ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සිදුකෙරේ. මෙයින් ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන් 18ක් හා නිලධාරීන් 9ක් විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා උළෙලට එක්වූ අතර රන් හා රිදී පදක්කම්වලට අමතරව ශ්‍රී ලංකාව පාපන්දු ක්‍රීඩාවෙන් සිවුවැනි ස්ථානයට පත්විය. වසර 4කට වරක් පැවැත්වෙන විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා උළෙලේ මීළඟ සත්කාරකත්වය වසර 2023දී ස්වීඩනයට හිමිව ඇත.

 

 



නව අදහස දක්වන්න