ජලය ගැන හැඟීම!‍ | දිනමිණ

ජලය ගැන හැඟීම!‍

අපට ඇති පිරිසුදු පානීය ජලයෙන් 30% ක් අපතේ යන බව ජල මණ්ඩලය කියයි. 2015 දී මේ තත්ත්වය 45% ක් ව පැවැති බව ද ජල මණ්ඩලය කියයි. ගෙවී ගිය වසර තුනක කාලය තුළ ජල මණ්ඩලය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව පෙනෙයි. හේතුව, ජල නාස්තියෙන් 15% ක් පමණ යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියා කිරීම ය. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට, මේ නාස්තියට හේතුව ජලනළ පද්ධතියේ අබලන් වීම ය. තත්ත්වය හරි හැටි අවබෝධ කර ගන්නේ නැති කෙනකු එකවර ජලනළ පද්ධතිය අලුත්වැඩියා නොකරන්නේ මන්දැ’යි ප්‍රශ්න කරන්නට පුළුවන. එහෙත්, එවැන්නක් කළ නො හැකි ය. නළ පද්ධති අලුත්වැඩියා කළ යුත්තේ; ජනතාවට නිතිපතා ජලය සපයමින් ය.

මේ අතර අවධානයට ලක්විය යුතු තවත් ප්‍රවෘත්තියක් තිබේ. එනම්; වැස්ස ලැබෙනතුරු විදුලිය කැපීමට සිදු වෙනවා යන්න ය. ජල විදුලිය නිෂ්පාදනයට සම්බන්ධ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ කිහිපය ම දැඩි ජල හිඟයකට මුහුණ දී ඇත. ඇතැම් ජලාශයක ජලය ඇත්තේ මුළු ධාරිතාවෙන් 8% කටත් වඩා අඩුවෙන් ය. විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන අන්දමට දිනකට පැය හතරක විදුලිය කප්පාදුවක් කිරීමට සිදු වී ඇත. ඒ, දහවල් කාලයට පැය තුනක් හා රාත්‍රී කාලයට පැයක් වශයෙන් ය. විදුලිය නිෂ්පාදනය සඳහා විවිධ මූලාශ්‍ර භාවිත කරන්නේ වුව, තව ම අප ප්‍රධාන වශයෙන් යැපෙන්නේ ජල විදුලිය මත ය. එහි අර්ථය වන්නේ, ජලය අපට තවත් අතෙකින් වැදගත් වන බව ය.

ජලය පිළිබඳ මහජන මතය හා හැඟීම ගතහොත්, එය සාධනීය තැනෙක නැත. ජලය රත්තරන්වලට ද වඩා වටින්නේ යැයි කියන’මුත්, ජලය ආරක්ෂා කිරීමට හෝ ජලය පරෙස්සමෙන් භාවිත කිරීමට හෝ වුවමනාවක් කිසිවකුට නැත. කොටින් ම අපේ ආයතනවලට ද, අපේ සමාජයට ද ජල කළමනාකරණය පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එක අතෙකින් මිනිස් ක්‍රියාකාරකම් නිසා ජල උල්පත් සිඳී යයි. තව අතෙකින් වනාන්තර වැස්ම ශීඝ්‍රයෙන් විනාශ වෙයි. තවත් අතෙකින් ජල නාස්තිය දිනෙන් දින ඉහළ යයි. ඉතියෝපියාව වසර හතකටත් වැඩි දීර්ඝ නියං සමයකට මුහුණ දුන්නේ, මේ අයුරින් ජලය හා පරිසරය පිළිබඳ සංවේදී නො වීම නිසා ය. ඉතියෝපියාව අපට හොඳ පාඩමක් ලෙස ‍ගත හැකි ය.

කලට වැසි ලැබෙන, ගොවිතැන් සරුසාර, ස්වාභාවික විපත් අඩු වාසනාවන්ත රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විණි. ඒ, මීට බොහෝ කලකට පෙර ය. අද අපට විදුලිය ප්‍රශ්නයකි. පානීය ජලය ප්‍රශ්නයකි. විශාල ජලාශ සිඳී යෑම තවත් ප්‍රශ්නයකි. මේ හැරෙන්නට ස්වාභාවික විපත් වැඩි ම රටක් හැටියට ද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. ගංවතුර, නායයෑම, නියඟය පමණක් නො ව; සුවිශාල කුණු කඳු පවා අපගේ පාරිසරික ගැටලු අතරට එකතු වී ඇත. නියඟය මේ අතර ප්‍රධාන ය. සෑම වසරක ම රජරට ප්‍රදේශයෙහි නියඟයක් පවතී. එයින් වගාව පාළු වෙයි. ජන ජීවිතය අවුල් වෙයි.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ ද ජල ගැටලුවලට මුහුණපා ඇති බව, ඉතිහාසයෙන් පෙනී යයි. විශේෂයෙන් වියළි කලාපය ද, ශුෂ්ක කලාප ද ජල හිඟයට මුහුණ දී ඇත. එහෙත්, වියළි කලාපයේ ද, ශුෂ්ක කලාපවල ද ජනාවාසකරණය හොඳින් සිදු වී ඇත. ඊට ප්‍රධාන හේතුව, සාර්ථක ලෙස ජලය සපයන මාර්ග ද, ඒවා ආරක්ෂා කරන උපාය මාර්ග ද පැවැතීම ය. පුරාණ වැව් පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. එදා ඒවා ඉදිකළා පමණක් නො ව; හොඳින් නඩත්තුව ද සිදු වුණේය. ඒ හැරෙන්නට මහජනයා තුළ ජලය පිළිබඳ ගෞරවනීය හැඟීමක් ද තිබිණි. අද ඒ කිසිවක් දකින්නට නැත. ඒ වෙනුවට ඇත්තේ, නාස්තිය හා විනාශය යැයි කියන්නට පුළුවන.

වතුර බෝතල්, අද හොඳ - සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාවට බෝතල් වතුර හඳුන්වා දුන්නේ මෑතක දී ය. අතීතයේ දී අපේ රටේ ඕනෑම ප්‍රදේශයකින් නොමිලේ පිරිසුදු පානීය ජලය ලබාගත හැකි ය. අම්බලම්වල පවා පිංතාලිය නමින් වතුර භාජනයක් තිබිණි. අද පිංතාලි වෙනුවට බෝතල් වතුර අලෙවි කරනු ලැබේ. වතුර ලීටරයක් රුපියල් දෙසීයට හෝ තුන්සියයට හෝ අලෙවි කරන අවස්ථා ද තිබේ. සිසිල් කළ වතුර ලීටරයක මිල ඊටත් වඩා වැඩි විය හැකි ය. පිරිසුදු පානීය ජලය නැතිකම නිසා, ප්‍රදේශ ගණනාවක වකුගඩු රෝගය පැතිර යන්නට පටන්ගෙන තිබේ. ඒ, ජලය ආශ්‍රිතව ගොඩනැඟී ඇති අලුත් ගැටලුවකි. මේවා සමාලෝචනය කරන විට පෙනී යන්නේ, ජලය පිළිබඳ අලුතින් සිතා බලන්නට කාලය පැමිණ ඇති බව ය.

ජල සම්පාදනයට අදාළ අමාත්‍යවරයා මෑතක දී කියා සිටියේ, පානීය ජලය පිළිබඳ ගැටලුව උත්සන්න වෙමින් පවතින බැවින්, පානීය ජලය පිළිබඳ ව්‍යාපෘති ගණනාවක් ශීඝ්‍රයෙන් ඉදිකිරීමට රජය සැලැසුම් කර ඇති බව ය. එය ඉතා වැදගත් ය. අපේ ගැටලුවේ අංක එක පානීය ජලය පිළිබඳ ප්‍රශ්නය බව පෙනී යයි. ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. ඒ අනුව සියල්ලට ප්‍රථම පානීය ජල ගැටලුව විසඳාගත යුතු ය. ඇතැම් ප්‍රදේශවලට අලුතින් ජල ව්‍යාපෘති ආරම්භ කිරීම දුෂ්කර වී ඇත්තේ‍්, ජල මූලාශ්‍ර සොයා ගැනීම අපහසු වී ඇති බැවින් ය. තෙත් කලාපයට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ පවා එබඳු ප්‍රදේශ ගණනාවක් තිබේ. රතුපස්වල එබඳු ප්‍රදේශයකි.

රජය ජල සම්පාදනය සඳහා මේ වන විටත් විශාල මුදලක් වැය කරයි. ජල බිල්පත් අයකර ගන්නේ කිසියම් සහනදායී ක්‍රමයක් මත ය. එහෙත්, එකී සහන බිල්පත පවා කලට - වේලාවට නොගෙවන අය සිටිති. එලෙස ම විශාල වශයෙන් හොරට ජලය ලබා ගැනීම ද සිදු වේ. මේ සියල්ලට ම වඩා බලවත් පාඩුව වන්නේ, ජලය නාස්ති කිරීම ය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පමණක් ඉතා තදබල ජල නාස්තියක් සිදු වෙයි. නාගරික වතු සමාජවල නොමිලේ ජලය සපයන පොදු කරාම, දවසේ පැය විසිහතර තුළ ම විවෘත ව තිබෙනු දැකිය හැකි ය. කැඩුණු පයිප්ප අලුත්වැඩියා කිරීමක් නැත. ජනතාව ඒ ගැන දැනුම් දීමට පවා උනන්දුවක් නැත. පළමුව අපේ සමාජය තුළ වතුර පිළිබඳ ගෞරවනීය හැඟීමක් ඇති කිරීම වැදගත් ය.

මත්කුඩු ජාවාරම වැළැක්වීම සඳහා, ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. මේ වන විට ජනතාව ද ඊට එකතු වී සිටිති. ඔවුන් ජාවාරම්කරුවන් කොටුකර ගැනීම සඳහා සහාය දක්වන බව පෙනෙයි. එබඳු වැඩසටහනක් ජලය සම්බන්ධයෙන් ද තිබීම වැදගත් ය. ඒ හැරෙන්නට, ජල සැපයුම් මාර්ග මෙන් ම ජලාශ ද හොඳින් ආරක්ෂා කරගත යුතුව තිබේ.


නව අදහස දක්වන්න