මනින අපටත් දිනයක් දෙන්න | දිනමිණ

මනින අපටත් දිනයක් දෙන්න

ගෝලීය මිනින්දෝරු දිනය මාර්තු 21 වන දිනට යෙදී තිබුණි. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර මිනින්දෝරු සංවිධානය විසින් මෙය සමරනු ලැබේ. එම ආයතනයේ සාමාජිකත්වය හොබවන ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනය ශ්‍රී ලංකාවේ මිනින්දෝරු වෘත්තිය වෙනුවෙන් පෙනී සිටින ව්‍යවස්ථාපිත එකම ආයතනය වන හෙයින් මිනින්දෝරුවරුනට මෙම දිනය ශ්‍රී ලංකාවේ දී ජාතික මිනින්දෝරු දිනය ලෙස සැමරීමට කැමැත්තක් ඇත.

සෑම රටකම මිනින්දෝරුවරු ඉතා විශේෂිත වූ සේවාවක් විවිධ අංශ ඔස්සේ සිදුකරති. ශ්‍රී ලංකාවේ මිනින්දෝරුවරු සෑම සංවර්ධන ව්‍යාපෘතියකම පුරෝගාමීන් ලෙස කටයුතු කරති. ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය, අල්ලේ- කන්තලේ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යනු, මැලේරියා මදුරුවන් සහ භයානක වන සතුන් ගහණ කැලෑ ප්‍රදේශවලට පුරෝගාමීන් ලෙස මිනින්දෝරු වෘත්තිකයින් ඇතුල් වී මැනුම් කටයුතු සිදුකළ විශාල වාරිමාර්ග ව්‍යාපෘතීන්වලින් සමහරකි. මූලික මැනුම් කටයුතු පිණිස කූඩාරම් ගසාගෙන තම ආදරණීයයන්ගෙන් ඈත්ව, සමාජ ආශ්‍රයකින් තොරව හුදෙකලා වී, ඔවුන් විසින් රට වෙනුවෙන් තම යෞවනය කැප කරමින් සේවා දායකත්වය ලබාදෙන ලදි. සේවා භූමියට ආසන්නව නැතහොත් එය තුළ කූඩාරම් ඉදිකිරීම පිණිස යෑමට පාරවල් තිබුණේ නැත. කැලය කපාගෙන පාරවල් එළි කරගෙන එහි යෑමට සිදුවිය.

මෙම ව්‍යාපෘතීන් සෑම එකක්ම පාහේ වියළි කලාපයේ පිහිටි හෙයින් බීමට ජලය ජීප් රථ මගින් දුර බැහැර සිට ප්‍රවාහනය කරගත යුතු වූ අතර, මිනින්දෝරුවරයාටත් සහායකයින්ටත්, සමහර අවස්ථාවල දී වතුර ටිකක් නා ගැනීම ඉඳහිට ලැබෙන පහසුකමක් විය. අනෙකුත් වෘත්තිකයින් මෙම වැඩබිම්වලට පසුව පැමිණෙන විට, ඊට ප්‍රථම එහි ගිය මිනින්දෝරුවරුන් විසින් දුක් ගැහැට මධ්‍යයේ ප්‍රදේශය සිතියම් ගතකර ඇති හෙයින්, බර වාහන යොදා ගනිමින්, මාර්ග සහ නේවාසිකාගාර ආදිය ඉදිකරමින් පවතිනවා ඔවුනට දැකිය හැකි වේ.

ඈත අතීතයේ සිංහල රජ දරුවන්ගේ කාලයේදීද ඉඩම්වල මැනුම් කටයුතු කිරීම සහ සිතියම් සකස් කිරීම, එම රජවරුන්ට තම පාලන කටයුතු කරගැනීමේ පහසුව සඳහා, යම් සතුටුදායක ආකාරයකට පැවැති බව මහවංශයේත්, ශිලා ලේඛන වලත් සඳහන්ව ඇත. මෙම මැනුම් කටයුතු ප්‍රායෝගිකව තනාගත් උපකරණ භාවිතයෙන්ද, පළපුරුද්දෙන් ද සිදුකරන්නට ඇතැයි සිතිය හැකිය.

දැනට තිබෙන පැරණි ලේඛන අනුව විද්‍යාත්මක පසුබිමක් තුළ මැනුම් කටයුතු සිදු කිරීම මේ රටේ ආරම්භ වී ඇත්තේ 1659 වසරේය. එනම්, ඕලන්ද පාලකයන්ගේ කාල වකවානුවේදීය. පෙරදිග ඉන්දියානු සමාගමේ * අවශ්‍යතා සඳහා මේ රටේ මැනුම් කටයුතු ආරම්භ කර ඇත්තේ, ඒඩ්‍රියන් ඩී ලූ සහ ජෑන් ක්‍රිස්ටියෑන්ස් නමැති ඕලන්ද ජාතික මිනින්දෝරු වෘත්තිකයින් දෙදෙනා විසිනි. පෘතුගීසින් විසින් ඊට ඉහත දී පිළියෙළ කර තිබූ ඉඩම්වල තෝම්බු ඕලන්ද පාලකයින් විසින් නැවත විමර්ශනය කර, අලුතින් ලේඛන සකස් කරන ලදි. මේ ක්‍රියාවලි සියල්ල සිදුවූයේ පෘතුගීසි සහ ඕලන්ද බලය පැවැති මුහුදුබඩ ප්‍රදේශවල පමණී. 1796 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලන බලය ඕලන්දක්කාරයින්ගෙන් පැහැර ගත් අතර, 1815 දී කඳුරට ද ආක්‍රමණය කර, රටේම පාලන බලය අත්පත් කර ගන්නා ලදි.

1800 දී ෆෙඩි‍්‍රක් නෝර්ත් ආණ්ඩුකාරයා විසින් ආඥාවක් මගින් ලංකාවේ පළමුවන දෙපාර්තමේන්තුව වන, මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවා ජෝශප් ජොන් විල් නමැති අය ප්‍රථම සර්වේයර් ජනරාල්වරයා ලෙස පත්කරන ලදි. මෙම රට සාර්ථකව පාලනය කර හැකිතරම් ආදායම් උපයා ගැනීමට නම්, ලංකාව මැනුම් කටයුතු කර, සිතියම් සකස්කර ගැනීම ප්‍රධානම කටයුත්ත වියයුතු බව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් තීන්දු කරන්නට ඇතැයි සිතිය හැකිය. මුලින් මිනින්දෝරු වෘත්තිකයින් 05 දෙනෙක්ද සහාය මිනින්දෝරුවරුන් 05 දෙනෙක්ද මාසික වැටුපක් මත පත්කෙරුණි. 1833 දී ආර්ථික කටයුතු සහ දේශපාලන කටයුතු පිළබඳව ආණ්ඩුකාරවරයාට උපදෙස් දීම පිණිස සර්වේයර් ජනරාල්වරයා ව්‍යවස්ථාදායක කවුන්සිලයේ සමාජිකයකු ලෙස පත්කරන ලදි. පරිපාලන කටයුතු මැනවින් සිදුකර ගැනීමට නම්, රටම ආවරණය වන පරිදි සිතියම් සකස් විය යුතු බව අදහස් කළ බ්‍රිතාන්‍ය ජාතික පාලකයෝ 1877 වනවිට පාට 06 කින් යුතු අඟලට සැතපුම් එකේ පරිමාණයට, රටම ආවරණය වන ආකාරයට, අඟලේ සිතියම් නමින් හැඳින්වෙන සිතියම් කාණ්ඩයක් ප්‍රකාශයට පත් කළහ.

නිදහස ලැබුණායින් පසු පත්වූ ලංකාණ්ඩු වලින්, අප්‍රමාදව සිදුකළ යුතු යැයි යෝජිත සංවර්ධන යෝජනා ක්‍රම වෙනුවෙන් මැනුම් කටයුතු සිදුකර දීම පිණිස මේ රටේ මිනින්දෝරුවරු ඉතා කැමැත්තෙන් සහ උනන්දුවෙන් ඉදිරිපත් වූහ. මීට අමතරව පරිපාලනමය අවශ්‍යතා සඳහා රජයට සහය වීමට ද මිනින්දෝරුවරුනට සිදුවිය. ඡන්ද කොට්ඨාස සීමා නීර්ණ කටයුතු සඳහා මැනුම් හා සිතියම්ගත කිරීමත්, බෙදුම් පනත යටතේ රටම ආවරණය වන ආකාරයට මැනුම් කටයුතු සිදු කිරීමත්, 1974 දී ඉතා කෙටි කලකින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ මැනුම් කටයුතු කර දීමත්, දේශ සීමා හෙවත් මුහුදු සීමා සම්බන්ධයෙන් රජයට උපදෙස් සහිත සහාය වීම එනම්, උදාහරණයක් වශයෙන්, කච්චතිව් දූපත සම්බන්ධ ප්‍රශ්නයේ දී මුහුදු සීමා සම්බන්ධයෙන් එම දූපතේ නිවැරදි පිහිටීම පෙන්වා දීමත්, අති විශාල මහවැලි ව්‍යාපාරයේ අධ්‍යයන කටයුතු සහ ක්‍රියාත්මක කිරීමේ මැනුම් කටයුතු එනම්, උමං ගණනාවක් පිහිටුවීමත්, අධිවේගී මාර්ග සහ ඒවායේ පාලම් සහ උමං නිවැරදිව ලකුණුකර දීමත්, සහ දැනට බිම් සවිය ව්‍යාපෘතිය යටතේ ලංකාවම ආවරණය වන ලෙස කැඩෑස්තර සිතියම් සකස් කිරීමත්, මිනින්දෝරුවරුනට පැවරුණු අත්‍යාවශ්‍ය සහ කඩිනමින් සිදුකළ යුතු මැනුම් කටයුතු වේ. චන්ද්‍රිකා සහ ඩ්‍රෝන වැනි අති නවීන තාක්‍ෂණය සහ උපකරණ යොදා ගනිමින් මිනින්දෝරුවරුන්, සමහර විට කරදර හිරිහැර පවා මධ්‍යයේ සිදුකරන රාජකාරියට නිසි ඇගයීමක් සහ ගරු කිරීමක් ලෙස සළකා වසරේ එක් දිනක් ජාතික මිනින්දෝරු දිනය ලෙස ප්‍රකාශ කරදෙන ලෙස අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

 

එම්. කළුතන්ත්‍රි
සභාපති, කොළඹ දිස්ත්‍රික්කයේ
බලයලත් මිනින්දෝරු සංගමය


නව අදහස දක්වන්න