අවභාවිතයෙන් විනාශයට යන ජාතියේ ජීවනාලිය | දිනමිණ

අවභාවිතයෙන් විනාශයට යන ජාතියේ ජීවනාලිය

ලෝක ජල දිනය මාර්තු 22 ට යෙදී තිබුණි. දේශගුණික විපර්යාස, ජනගහන වර්ධනය වැනි විවිධ හේතු නිසා ලෝකයේ සියලු රටවල ජල සම්පත් දැඩිලෙස සීමා වීමත් බිලියන ගණනක් ජනතාව පිරිසුදු ජලය නොමැතිව පීඩා විඳීමත් හේතුවෙන් මෙම ගැටලුව පිළිබඳ ජනතාවගේ අවධානය යොමුකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෙම දිනය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම වසරේ ලෝක ජල දිනයේ තේමාව වන්නේ “කිසිවකු අත නොහැර” යන්නය. එමගින් ලොව වසන සියලු ජනතාවට වෙනස්කොට සැලකීමකින් තොරව පිරිසුදු ජලය ලබාදීම අරමුණු කරයි. මෙය 2030 දී ළඟාකර ගැනීමට අපේක්ෂා කරන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ද අදාළ වේ.

නුදුරු අනාගතයේ දී ලෝකයේ වඩාත් හිඟ සහ තරගකාරී ඉල්ලුම වැඩිම භාණ්ඩය බවට පත්වනු ඇත්තේ පොසිල ඉන්ධන නොව පිරිසුදු ජලයයි. දැනටමත් ගෘහස්ත පරිභෝජනය, වාරි කර්මාන්තය සහ කර්මාන්ත යන අංශ අතර ජලය සඳහා තරගකාරී ඉල්ලුම තියුණු තත්වයකට පත් වී ඇති අතර එය පළාත් සහ පුද්ගලයින් අතර ගැටුම්වලට මෙන්ම රටවල් අතර යුද්ධවලට පවා මග පාදනු ඇත.

ජලය සඳහා තරගකාරී ඉල්ලුම ඉහළ යමින් පවතී. මෙය එක් එක් අංශ අතර ඇතිවන තරගය, ප්‍රදේශ අතර, පුද්ගලයින් අතර හෝ රටවල් අතර තරගය ලෙස විවිධ ආකාරවලින් ඇති වේ. සීමිත ජල සම්පත් වෙත ඇති අසීමිත ඉල්ලුම මෙයට හේතුවයි. ගැටුම්වලට තුඩුදෙන්නේ මෙම තරගකාරී ඉල්ලුමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල ජලය සඳහා මේ වනවිටත් මෙවැනි තරගයක් ඇති වී ඇත. ප්‍රධාන වශයෙන්ම වාරි ජලය ලබාදීමට ඉදිකොට ඇති මෙම වැව්වල ජලය පානීය ජලය සැපයීමට සහ ගෘහස්ත පරිභෝජනයට ලබාදීම සඳහා යොදාගැනීමට සිදුවී තිබේ. වැඩිවන ජනගහනය නිසා මෙම තත්වය වර්ධනය වේ. රාජාංගනය ජලාශය මුල්කරගෙන පානීය ජල ව්‍යාපෘතියක් ඇතිකිරීමට ගත් උත්සාහයට ගොවීන් විරුද්ධ වීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා විය. පොලොන්නරුව, අම්පාර වැනි ප්‍රදේශවලද මෙවැනිම සිදුවීම් වාර්තා විය.

ඉන්දියාව සහ පකිස්තානය අතරත් ඉන්දියාව සහ බංගලාදේශය අතරත් ගංගා ජලය සඳහා ඇතිවූ අර්බුද පවතී. විවිධ ගිවිසුම් මගින් ඒවා සමථයකට පත්කරගෙන තිබුණ ද වරින්වර එම ගැටුම් ඉස්මතු වේ. ඉන්දියාව සහ පකිස්තානය අතර දැන් මතුවී ඇති ගැටුම් හේතුවෙන් රවී ගංගාවේ ජලය පකිස්තානයට යාම වළක්වන බවට ඉන්දියාව අනතුරු අඟවා ඇත. රටවල් කිහිපයක් හරහා ගලා යන මීකොන්, නයිල් වැනි ලොව ප්‍රධාන ගංගාවල ජලය සඳහා ද නව අර්බුද ඇතිවී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ බිලියන 1.5ක් ජනතාවට පිරිසුදු ජලය නොමැත. ප්‍රාථමික විද්‍යාල 4 කින් 1 කට පිරිසුදු පානීය ජලය නැත. ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතිවන පාචනය වැනි රෝග නිසා වසර 5 ට අඩු දරුවන් 700ක් දිනකට මියයති.

ලොව පුරා 80%ක් පමණ ජනතාව භාවිත කරන්නේ පිරිසුදු නැති අනාරක්ෂිත ජල මූලාශ්‍රයි. ජල පහසුකම් නොමැති හේතුවෙන් වඩාත් පීඩාවට පත්වන්නේ කාන්තාවන් සහ දරුවන්ය. ලෝකයේ ජල පහසුකම් නොමැති නිවාස ඒකක 10 කින් 8 ක නිවෙසට ජලය සැපයීමේ වගකීම පැවරී ඇත්තේ කාන්තාවන් සහ ළමයින් වෙතයි. යුද ගැටුම් වැනි විවිධ හේතු නිසා අවතැන් වූවන් හෝ සරණාගතයන් මිලියන 68.5 කට පිරිසුදු ජලය නොමැත.

ශ්‍රී ලංකාව ජල සම්පතින් හිඟ රටක් නොවන නමුත් දේශගුණික විපර්යාස, ජනගහන වර්ධනය සහ ජලය සපයන ජල මූලාශ්‍ර , ඇළ, දොළ, ගංගා ආදිය දූෂණයට ලක්වීම නිසා සැමට පිරිසුදු ජලය සැපයීම අභියෝගයක් වෙමින් පවතී. දේශගුණික විපර්යාසවල බලපෑම් වලට මේ වනවිටත් අපි මුහුණ දී සිටිමු. එය විෂම චක්‍රයක් වැනිය, කෙටි කාලයක දී ඇද හැලෙන අධික වැසි හා දිග්ගැසුණු නියඟයන් දැන් සාමාන්‍ය තත්වයක් බවට පත් වී ඇත. වසර ගණනාවක් එක දිගට ඊසාන දිග මෝසම් වැසි නිසි පරිදි නොලැබීම හේතුවෙන් වියළි කලාපයේ දැඩි ජල හිගයක් ඇති වූ අතර වගා කන්න කිහිපයක් අසාර්ථක වී ඇත.

ශ්‍රී ලාංකීය ජනතාව මෙම වෙනස්වන තත්ත්වයන්ට ගැලපෙන ලෙස සිය ජල පරිභෝජන රටාව වෙනස් කරගත යුතුය. එහි දී ජල සංරක්ෂණයත් සීමිත ජල සම්පත් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස භාවිතා කිරීමත් කෙරෙහි අවධානය යොමුවිය යුතුය. ජල දූෂණය අපගේ අවධානය වහා යොමුවිය යුතු තවත් ගැටලුවකි. වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය, ජල සහ පාංශු දූෂණය සඳහා බලපාන ප්‍රධාන සාධකයකි. 1970 දශකයේ මුල සිට රජය රසායනික පොහොර භාවිතය දිරිගැන්වීමට පියවර ගැනීම මෙයට ප්‍රධානතම හේතුවකි.රජය රසායනික පොහොර සඳහා සහනාධාර ලබා දෙන නමුත් වගා බිම්වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය නිර්දේශ කිරීමේ යාන්ත්‍රණයක් නොමැත.

මෙම දිරි ගැන්වීම් නිසා රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස භාවිතා කිරීමත් එමගින් ජලය සහ පස දූෂණය වීමත් ප්‍රධාන ගැටලුවක් ලෙස මතු වී ඇත. වියළි කලාපයේ වී වගාවේ ද මධ්‍ය කඳුකරයේ එළවලු වගාවේ ද මෙලෙස රසායනික පොහොර අධික මාත්‍රාවෙන් යොදා ගනී. සංඛ්‍යාලේඛනවලට අනුව නුවරඑළියේ එළවළු වගාවේ දී රසායනික පොහොර යෙදීම නිර්දේශිත ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩිය. වැලිමඩ ප්‍රදේශයේ එළවළු වගාවේ දී එය නිර්දේශිත ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩිය.

පොහොර නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිත කිරීම අඩු ඵලදායීතාවයට සහ අඩු ආදායම් ලැබීමට හේතුවන නමුත් නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් යෙදීම වැඩි ඵලදාවකට හා ආදායමකට හේතු නොවේ. එය පස් හා ජලය දූෂණය වීමටත්, පළිබෝධ හා රෝග සඳහා භෝගය පහසුවෙන් නිරාවරණය වීමටත් ඒ අනුව පිරිවැය ඉහළ යාමටත් හේතු වේ. එබැවින් වගා බිමේ පස්වල සංයුතිය පරීක්ෂා කර නියමිත මාත්‍රාවෙන් අවශ්‍ය පොහොර පමණක් ලබා දීම වඩාත් යෝග්‍ය වේ.

ජල සංරක්ෂණය ශ්‍රී ලංකාවේ කඩිනම් අවධානය යොමුවිය යුතු තවත් අංශයකි. එහි දී ගෘහස්ත, වාරි සහ කර්මාන්ත අංශවල ජලය භාවිතයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩිකිරීම සහ සංරක්ෂණය වැදගත්ය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2011 සංඛ්‍යාලේඛනවලට අනුව ලෝකයේ ගංගා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවගෙන් 40% ක් ජල හිඟයෙන් පෙලෙන බවට වර්ග කර ඇත. ලෝකයේ පිරිසුදු ජලය භාවිත කරන ප්‍රධාන අංශය වන්නේ කෘෂිකර්මාන්තය යි. එය ජල මූලාශ්‍ර මගින් ලබාගන්නා මුළු ජල ප්‍රමාණයෙන් 70%කට වගකියයි. ඇතැම් සංවර්ධනය වන රටවල එම අගය 90% දක්වා ඉහළ යයි.

එබැවින් ජල සංරක්ෂණයේ දී කෘෂිකර්මාන්තය සියලුම රටවල පාහේ වැඩි අවධානයට ලක්වන ක්ෂේත්‍රය වේ. තිරසාර සහ වඩාත් කාර්යක්ෂම ජල කළමනාකරණ ක්‍රම කෘෂිකමාන්තයට හඳුන්වා දීම මෙහි දී අවධානයට ලක්වේ. වගාබිම් ජලයෙන් පුරවන වී වගාවේ සම්ප්‍රදායික ක්‍රම වෙනුවට නව අඩු ජල භාවිතා ක්‍රම මෙහි දී වැදගත් වේ. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දෙන තෙත් සහ වියළි ක්‍රමය අනුව සම්ප්‍රදායික වී වගා ක්‍රමයට වඩා 25% කින් ජල භාවිතය අඩු කරගත හැකිය. මෙම ක්‍රමය දැන් ආසියාවේ රටවලට හඳුන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ජලය, පස් සහ භූමිය පිළිබඳව වන මෙම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහාත් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට සහය ලබා දෙයි.ඒ සඳහා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරේ.

ස්ථානීය පාංශු පරීක්ෂාව මගින් වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය සහ පොහොර වර්ගය නිර්ණය කිරීම සඳහා ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. කෘෂිකර්ම අමාත්‍යංශය සමඟ එක්ව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක විය. එමගින් පසේ රසායනික සංයුතිය පරීක්ෂා කර පසට ඌනතාවයක් ඇති පෝෂක පමණක් අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීම තුළින් රසායනික පොහොර භාවිතය වළක්වා පාංශු හා ජල දූෂණය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

මේ සඳහා ව්‍යාපෘතිය මගින් අතේ ගෙන යා හැකි පස් පරීක්ෂා කිරීමේ උපකරණ කට්ටලයක් හඳුන්වා එමගින් ක්ෂේත්‍රයේදීම පස් පරීක්ෂා කර අවශ්‍ය පොහොර නිර්දේශ ලබා දීමට කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක වූ අතර රසායනික පොහොර අධි භාවිතය අඩුවී පසේ ගුණාත්මක බව වැඩිවීමට සහ අස්වනු සහ ගොවීන්ගේ ආදායම් ඉහළ යාමට එය හේතු විය. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ස්ථානීය පස් පරීක්ෂාව සහ පොහොර නිර්දේශ රට පුරා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව ඛාදනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සහ මධ්‍ය කඳුකරයේ තිරසාර භූමි කළමනාකරණය සඳහා සහය ලබා දේ. මධ්‍ය කඳුකරයේ භූමිය බරපතළ ලෙස හායනයට ලක්වී ඇති අතර රටේ ගංගා, ඇළ, දොළ විශාල ප්‍රමාණයක් ආරම්භ වන මධ්‍යම කඳුකරයේ භූමිය හා පස ආරක්ෂා කිරීම ජල සම්පත සුරැකීමට ද ඉතා වැදගත් වේ. මෙම ව්‍යාපෘතිය මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ.

මධ්‍යම කඳුකරයේ දක්නට ලැබෙන පාංශු ඛාදනයේ ප්‍රධාන ස්වභාවයන් දෙකක් වන්නේ පාංශු ඛාදනය සහ පසේ සරු බව හීන වීමයි. අධ්‍යනයන්ට අනුව මධ්‍යම කඳුකරයේ කෘෂිකාර්මික ඉඩම්වලින් 50%ක් මේ වනවිටත් ඛාදනයට ලක්වී ඇත. එළවළු, අර්තාපල්, දුම්කොළ වැනි වාණිජ භෝග වගා කළ බෑවුම් සහිත ඉඩම්, ඇට තේ සහිත තේ වගා ඉඩම් සහ හේන් වගා සහිත ඉඩම් වඩාත් බරපතළ ලෙස හායනයට ලක්වී අති බව හඳුනාගෙන ඇත. මධ්‍යම කඳුකරයේ සිදුවන මෙම පාංශු ඛාදනය නිසා එහි කෘෂි පාරිසරික පද්ධතියට එය ලබාදෙන පාරිසරික ප්‍රතිලාභ ලබා දීමේ හැකියාව දුර්වල කිරීමත් පරිසර පද්ධතිය විසින් සපයන භාණ්ඩ හා සේවාවන් මත යැපෙන ගොවි ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම්වල තිරසාර භාවය අහිමි වීමත් සිදුවේ.

ඒ යටතේ ගෙවතුවල පාංශු සංරක්ෂණය සහ ආදායම් උත්පාදනය කරන වාණිජ භෝග වගාවට ගොවීන් යොමු කිරීම, කුඩා තේ ඉඩම් වල තිරසාර භූමි කළමනාකරන ක්‍රම හඳුන්වා දීම, ආදායම් උපයන සෙවන ශාක වගා කිරීම මගින් ආදායම් ඉහළ නැංවීම, සත්ව පාලනයෙන් සිදුවන ජල සහ පාංශු දූෂණය වැළැක්වීම සහ කොම්පෝස්ට් නිෂ්පාදනය, සත්ව පාලනය හා භෝග වගාව ඒකාබද්ධ කිරීම, අර්තාපල් වැනි කන්න භෝග වගා කරන දැඩි බෑවුම් සහිත ඉඩම් තේ වගාව සඳහා පරිවර්තනය කිරීම, ස්ථානීය පස් පරීක්ෂාව සහ අවශ්‍ය පොහොර පමණක් යෙදීම මගින් පාංශු දූෂණය අවම කිරීම සිදුකරයි. තිරසාර භූමි කළමනාකරණය පිළිබඳ ක්ෂේත්‍රය ආදර්ශන රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ගොවිබිම්වල ස්ථාපිත කිරීම ද ඊට අයත්ය.

 

ගාමිණී වරුෂමාන
සන්නිවේදන විශේෂඥ, එක්සත් ජාතීන්ගේ ආහාර හා
කෘෂිකර්ම සංවිධානය

 


නව අදහස දක්වන්න