රෝගී අයි­ති­වා­සි­කම් ප්‍රඥ­ප්ති­යක් ඕනෑ | දිනමිණ

රෝගී අයි­ති­වා­සි­කම් ප්‍රඥ­ප්ති­යක් ඕනෑ

රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම්ධම්මික එදිරිසිංහ 

නිදහස් සෞඛ්‍ය සේවයේදී රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමත් පෙනී සිටීමත් තම අරමුණ වන බව රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය ප්‍රකාශ කරයි. එම සංවිධානයේ ලේකම් ධම්මික එදිරිසිංහ මහතා එහා ඉවුරට කැඳවූයේ එම කටයුත්ත සිදුවන ආකාරය පැහැදිලි කර ගැනීම සඳහාය.

රෝගීන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට ප්‍රඥප්තියක් අවශ්‍යයි කියලා ඔබ ප්‍රකාශ කර තිබුණා. ඔබේ ඒ ප්‍රකාශයට හේතු මොනවාද ?

මේක අපි ඇසින් දැක දැක නොදැක්කා වගේ යන අපේ රටේ තියෙන ඛේදවාචකයක් මේ ප්‍රශ්නය ලංකාවට විතරක් සීමා වුණ එකක් නෙවෙයි. නවීන වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණය අනුව සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව ඉහළ යන්න ඕන කියලා සමාජය තුළ පොදු පිළිගැනීමක් තියෙනවා. රෝගියෙක් රෝහලකට ඇතුළත් වුණාට පස්සේ ඉක්මනින් සුවවෙලා ඒමේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් අපේ සමාජය අපේක්ෂා කරන මට්ටමට අපේ රෝහල් පද්ධතිය සුරක්ෂිත නොවීම දැන් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති රෝහල් පද්ධතියේ ගුණාත්මක බව ගැන නිතර කතා කරනවා නේද?

සෞඛ්‍ය සේවයේ අයිතිවාසිකම් ගැන කතා කරන වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. ඒත් රෝගී ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න කවුරුත් නැහැ. රෝහලකින් රෝගියකුට අකටයුතුකමක් වුණොත් ඒ ගැන රෝගියාට කියන්න කෙනෙක් නැහැ. ජනතාවට අසාධාරණයක් වුණොත් ඊට සාධාරණයක් ඉටුකරගන්නෙ කොහොම ද කියන දැනුමත් ජනතාවට නැහැ. මේක ලොව පුරා තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා ලෝකයේ බොහෝ තැන්වල රෝගීන් වෙනුවෙන් ඉදිරිපත් වෙන සංවිධාන ගොඩනැඟෙනවා ‘අප අවධානය යොමු කළ යුත්තේ නරක වෛද්‍යවරයකු අතින් රෝගියකු මිය යාම ගැන නොවෙයි යහපත් යැයි සම්මත වෛද්‍යවරයකු අතින් අඩුපාඩු සිදුවේ නම් එය වළක්වා ගැනීම ගැනයි.‘ කියලා ලෝ ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා තියෙනවා. රෝගීන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා රෝහල් තුළ සිදුවෙන අඩුපාඩු මඟහරවා ගන්න මාර්ගයක් විවර කරගන්න ඕන කියන කාරණය මේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕනෑ. ඉතා දියුණු රටවල පවා රෝහල්වලදී අනතුරට ලක්වන රෝගී දත්ත දකින්න තියෙනවා. එහෙත් අපේ රටේ රෝහල්වලදී අනතුරට පත්වෙන රෝගීන්ගේ වාර්තාවක් දක්නට ලැබෙන්නෙ නැහැ.

ඔබ සංගමය මේ රටේ සෞඛ්‍ය සේවාවේ ඉන්න සියලු වෘත්තිකයන්ට චෝදනා කරලා තිබුණා. ඒ චෝදනාවලට පදනමක් තියෙනවා ද?

අපි චෝදනා කරන්නෙම රෝගීන් වෙනුවෙන් මේ වෘත්තිකයන් පෙනී නොසිටින නිසයි. මේක අසාධාරණ චෝදනාවක් නෙවෙයි. අපේ රටේ සෞඛ්‍ය සේවාවේ ඉන්න හැමෝම රෝගීන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට තමා තමා වෙනුවෙන් පෙනී සිටීමක් තමයි කරන්නේ. ඒකට හොඳම උදාහරණය වශයෙන් ඔවුන්ගේ වර්ජන ක්‍රියාවලිය ගන්න පුළුවන්. රෝගියකු අසරණ වෙන්න පුළුවන් උපරිමයෙන් අසරණ වෙන්නෙ එතැනදී තමයි. මේ ප්‍රශ්නය ධනපති පන්තියට අදාළ නැහැ. මේ රටේ දුප්පත් ජනතාව සෑහෙන්න බැට කරන්නෙ මේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජන හින්දයි. හෙද සංගම් හරි වෛද්‍ය සංගම් හරි තමන්ගේ වෘත්තිය අයිතිය දිනා ගන්න මේ රටේ දුගී දුප්පත් ජනතාව බිල්ලට තියනවා. ඒ අයගේ වර්ජනවල මුලම තියෙන්නේ රෝගියාට සෘජුව බලනොපාන කාරණා. ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 28,000ක් හමුවෙනවා. දෘෂ්‍යාබාධිතයෝ ලක්ෂ 6ක් ඉන්නවා. පාද නොමැති අය ලක්ෂ 4ක් ඉන්නවා. පුද්ගලයින් පස් දෙනෙක්ගෙන් එක් කෙනෙක් දියවැඩියා රෝගී අවදානමට ලක් වෙලා. වෛද්‍ය වෘත්තිකයෝ කතා කරන්න ඕනෑ මේ ප්‍රශ්න කියලයි අපි හිතන්නේ. මේවා දුගී ජනතාව ඉවසගෙන යන්න පුළුවන් උපරිමයට යයි. ඊට පස්සෙ මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ.

පසුගිය කාලයේ ගලහ රෝහලේ ඇති වුණෙත් මේ වගේම සිද්ධියක් ද?

ඕනෑම මිනිසකුට තමන්ගේ කායික හා මානසික තත්ත්වය දරා ගැනීමේ උපරිමයක් තියෙනවා. ඒ උපරිමයෙන් එහා ගියාට පස්සෙ සිදුවුණ දේවල් තමයි මේ. අනෙක් කාරණය තමයි රෝගියෙක් කියන්නේ කවුද කියලා වෛද්‍යවරු හා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් තේරුම් ගන්න ඕන. රෝගියෙක් රෝහලකට ඇතුළත් වෙන්නෙම මානසික හා කායික අසමතුලිතතාවයත් එක්ක. එහෙම එන රෝගියාට සලකන විදිහ ගැන අපි කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් රෝගීන් වෛද්‍ය වෘත්තිකයන්ගේ ගැහැට උපරිමයෙන් විඳ දරාගෙන ඉදලා ඒ ඉවසීම පුපුරායාමක් විදිහට තමයි ගලහ සිද්ධියත් අපිට දකින්න තියෙන්නේ. රෝගීන්ගෙත් වගකීම් කියලා කොටසක් තියෙනවා. ඒ නිසා තමයි අපි රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රඥප්තියක් ගොඩනඟන්න උත්සාහ ගන්නේ.

රජයේ වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වල සේවයේ යෙදීම ගැනත් සමාජයේ විශාල කතිකාවක් තියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

බණ්ඩාරනායක මැතිනියගෙ කාලයේ ලංකාවේ රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික සායනවල යෙදීම තහනම් කරලා තිබුණා. ඊට පස්සේ ජේ. ආර් ආණ්ඩුව යටතේ වෛද්‍යවරුන්ට පෞද්ගලික සායන පවත්වාගෙන යාමේ අවසර ලැබුණා. හැට ගණන්වල වෛද්‍යවරයාගේ වැටුප රුපියල් දහසටත් අඩුයි. අතිකාල දීමනා තිබුණේ නැහැ. ඒත් අද රජයේ වෛද්‍යවරයාට ලැබෙන පහසුකම් හා දීමනා අසීමිතයි. දැන් වෛද්‍යවරයාට අතිකාල දීමනාව දෙනවා, ප්‍රදේශයේ තියෙන සුපිරි පාසල වෛද්‍යවරයාගේ දරුවාට ලැබෙනවා. තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලැබෙනවා. ඊට අමතරව තවත් දීමනා ලැබෙනවා. අද සාමාන්‍ය වෛද්‍යවරයකුගේ වැටුප ලක්ෂ එකහමාරක් විතර වෙනවා. එදා පෞද්ගලික සායනවලට අවසර දුන්නේ මේ කිසිම දෙයක් නැතිව තියෙද්දියි. තමන්ගෙ බදු මුදලින් වෛද්‍යවරුන්ට ඒ පහසුකම් දෙන්න එපා කියලා ජනතාව කොයිම අවස්ථාවකවත් කියලා නැහැ. රජයේ රෝහලේ පොත අත්සන් කරලා ගිහින් පෞද්ගලික සායනවල වැඩ කරන වෛද්‍යවරු ඉන්නවා. පෞද්ගලික රෝහලේ සායනයට ආවේ නැති රෝගියාට රජයේ රෝහලේ ඇදක් ලැබෙන්නෙ නැහැ. පුද්ගලික සායනයේ දී කටපුරා හිනාවෙලා ඉන්න දොස්තර මහත්තයා රජයේ රෝහලේදී රෝගියාගේ මූණවත් බලන්නෙ නැහැ.

මේ කාරණයේ දී වෛද්‍ය වෘත්තිකයන්ට සෘජුව චෝදනා නඟන්න බෑ නේද?

අපේ රටේ වෛද්‍යවරු වෛද්‍යවරයෙක් වෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන්. නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන්නේ රටේ මහජනතාව. මහජනතාව සීනි ඇටෙන්, පරිප්පු ඇටෙන් නිදහස් අධ්‍යාපනයට බදු ගෙවනවා. එහෙම ගෙවපු බදු මුදලින් උගන්නලා ඒ අයට වැටුප් ගෙවන්නෙත් මේ රටේ අහිංසක දුගී ජනතාව. ජනතාව එහෙම කැප කිරීම් කරලා උගන්නපු, වැටුප් ගෙවන වෘත්තිකයන් ඇයි ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින්නෙ කියල ප්‍රශ්නය අපි මතු කරනවා. අද ග්‍රාම නිලධාරිවරයකුට කඩයක් දාගෙන ව්‍යාපාර කරන්න බැහැ. ඒත් රජයේ සේවකයෙක්. එහෙමනම් වෛද්‍යවරයාට පෞද්ගලික සේවා සපයන්න දීලා තියෙන්නේ විශේෂ අවස්ථාවක්. පෞද්ගලික සායන තහනම් කරන්න කියලා අපි කියන්නෙ නැහැ. රෝගීන් ගැන මීට වඩා සැලකිල්ලෙන් බලන්න ඕන කියලයි අපි කියන්නේ.

පෞද්ගලික රෝහල්වල ගාස්තු රෝගීන්ට පීඩාවක් කියලා සමාජ කතිකාවක් නිර්මාණය වුණා. රජය එවැනි ගැටලු විසඳන්න පෞද්ගලික රෝහල් නියාමනය නොකරන එකට ඔබට උත්තරයක් තියෙනවා ද?

මේක දැනට තියෙන විශාල අර්බුදයක්. රජය පෞද්ගලික රෝහල් නිසි පරිදි නියාමනය නොකිරීම ජනතාවට පීඩාවක්. සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික රෝහල් නියාමනය කළා නම් මේ ගැටලු මතුවෙන්නෙ නැහැ. ගාස්තු සම්බන්ධයෙන් විශාල අර්බුදයක් තියෙනවා. ඒ වගේම වෛද්‍යවරු නියම කරන පුද්ගලික රෝහලෙන් පරික්ෂණ වාර්තා අරන් එන්න ඕන. එකම පරික්ෂණය රෝහල් දෙකක දෙකක් වෙන්න බැහැ. පරීක්ෂණ වාර්තාව එකක් වෙන්න ඕන. ඒ නිසා අපි අපේ ප්‍රඥප්ති යෝජනාවලට මේ කාරණා ඇතුළත් කරලා තියෙනවා.

වත්මන් ආණ්ඩුව ඖෂධ මිල විශාල ලෙස අඩු කළා. හෘද රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ දෙනවා. මේවා රෝගීන් වෙනුවෙන් ගත් සාධනීය පියවර නෙවෙයි ද?

ඇත්ත වශයෙන්ම රජය අරන් තියෙන තීරණ ගැන අපිට ලොකු ප්‍රසාදයක් තියෙනවා. අහිංසක රෝගියකුට හෘද රෝගයක් මතුවුණා නම් ඒ සැත්කම කරගන්න මහ පාරේ හිඟාකන්න සිදුවුණා. අද වෙනකොට එහෙම රෝගීන් බස් ගානේ, පාරවල් ගානේ යන්නෙ නැහැ. ඖෂධත් එහෙමම තමයි. ඒ වාසිය රෝගී ජනතාවට ලැබෙනවා. ධනවාදී සමාජ ක්‍රමයක් තියෙන රටක බලාපොරොත්තු තැබිය නොහැකි සමාජවාදී ක්‍රියාවක් විදිහටයි අපි රජයේ ඒ ප්‍රතිපත්තිය දකින්නේ.

කිරි පිටිවල ප්‍රමිතිය පිළිබඳත් මේ වන විට ගැටලු මතුවෙලා ඒ අතර මෙවර අයවැයෙන් පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න යෝජනා වුණා. ඒ ගැන ඔබේ මතය කුමක් ද?

පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න අයවැයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් වුණා. පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීම අතිශය සාධනීය කටයුත්තක්. නමුත් මේ වන විට කිරි පිරි සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවෙලා තියෙනවා. ලබා දෙන්නේ මොන කිරි ද කියන ගැටලුව අපට තියෙනවා. ලංකාවේ දියර කිරි නිෂ්පාදන වන්නේ අපේ කිරි අවශ්‍යතාවයෙන් 10%ක ප්‍රමාණයක්. අපේ රටේ දරුවෝ ලක්ෂ 41ක් ඉන්නවා. එහෙම බැලුවොත් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක් ඕනෑ. ඒ ලක්ෂ දෙක සපුරා ගන්න පුළුවන්ද කියන ප්‍රායෝගික ගැටලුවත් තියෙනවා. කොහොම වුවත් කිරි පිටි ගැන නිවැරැදි තීන්දුවක් එනතුරු කිරි පිටි භාවිතය අවශ්‍ය නැහැ කියලයි අපේ මතය.

ආණ්ඩුව සෞඛ්‍යය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ගැන මොනව ද කියන්නේ?

රජය ක්‍රියාත්මක කරන සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න කියලයි අපි කියන්නේ. 2025 වෙනකොට රජය බලාපොරොත්තු වෙන වැඩපිළිවෙළ සාර්ථක කරගත්තොත් රෝගීන්ට ලැබෙන සහනවල ප්‍රමාණය ඉහළයි. මේක නිසි පරිදි ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙන්නේ නිලධාරින්ගේ කකුලෙන් ඇදීම නිසයි. මේ රටේ හැම කෙනෙක් ගැනම කතා කරන්න සංගම්, සංවිධාන තියෙනවා. ඒත් රෝගීන් වෙනුවෙන් කතා කරන්න සංවිධානයක් නැහැ. ඒ නිසා අපි යෝජනා 15ක් එක්ක ප්‍රඥප්තියක් හදන්න බලාපොරොත්තු වෙනවා. මේ කාර්යය සක්‍රීය කරගන්න රජය යටතේ ස්වාධීන ආයතනයක් පිහිටුවන්න ඕන.

දුමින්ද අලුත්ගෙදර


නව අදහස දක්වන්න