මම දැන් කාර්ය­බ­හු­ලයි | දිනමිණ

මම දැන් කාර්ය­බ­හු­ලයි

ස ස න් ති   ජ ය ­සේ­ ක ර

 

මේ වතාවෙ ශ්‍රී ලංකාවෙන් ගියාට පස්සෙ මම මගේ යු ටියුබ් චැනල් එකක් පටන් ගන්නත්, ඒකෙන් අපේ රටේ අසිරිය සංචාරකයන්ට පෙන්වන්න වීඩියෝ එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කොණ්ඩා සැකසුම්, ආහාර පානගැන මම එහෙදි ඉගෙනගත්තා. ඒ නිසා රූපලාවන්‍ය පිළිබඳ අලුත් ම තොරතුරු මගේ රසික රසිකාවන්ට ලබාදෙන්නත් හිතාගෙන ඉන්නවා.

 

ජනප්‍රිය නිළි සසන්ති ජයසේකර, රංගනයට විරාමයක් තබා ශ්‍රී ලංකාව හැර ගියේ, මීට දශක එකහමාරකට පෙර දී ය. ජීවිතයේ වෙනස්වීම් රැසක් සමඟ, පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඇය, තම දිවියේ ඉදිරි සැලැසුම් පිළිබඳ හෙළිදරව් කළා ය.

 

ටෙලි හා සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තලයක සිටි ඔබ, ශ්‍රී ලංකාව හැර යන්න තීරණය කළේ, කිසියම් කලකිරීමක් නිසාද?

නැහැ . මට එහෙම කලකිරීමක් තිබුණේ නැහැ.

ඔබ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවත් සමඟම, විශාල ප්‍රසිද්ධියක් ලැබුණා නේද?

ඔව්. රූපවාහිනී වැඩසටහන්වලට, රියැලිටි වැඩසටහන්වලට, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලට, ජායාරූපවලට පෙනී සිටින්න ඇරියුම් ලැබුණා. මම ශ්‍රී ලංකාවට ආවේ අවුරුදු එකොළහකට පස්සෙ. මට එදා වගේ ම අපේ රටේ මිනිස්සුන්ගෙ ආදරය ලැබුණා . ඒක වාසනාවක් විදිහටයි මම සලකන්නෙ.

ශ්‍රී ලංකාව අමතක කර දමා, දිගු කලක් එංගලන්තයේ රැඳී සිටින්නට හේතු වූ කාරණා මොනවද?

මගේ පුතා පාසලේ පාපන්දු, ක්‍රිකට් වගේ ක්‍රීඩා කණ්ඩායම්වල හිටියා. හැම විටෙකම, එම ක්‍රීඩා තරග යෙදුනේ පාසල් නිවාඩු සමයේදියි. මම ශ්‍රී ලංකාවෙ හිටිද්දිත් රඟපෑම්වලට යද්දි, පුතා මගේ ඇස් මාඉමේම තියාගෙන තමයි වැඩ කළේ. පුතාගේ දේවල් අතපසු කරලා කිසි ම දෙයක් කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. පුතාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් මට කාලය යොදවන්න තිබුණා. පුතා එහෙදි, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විශිෂ්ට සාමාර්ථ ඇතිව සමත් වුණා. ඒත් එයා, විශ්වවිද්‍යාලයට නොයන්න තීරණය කළා. පුතාට අවුරුදු දහඅට පිරෙද්දි ම, ඒ රටේ දේපළ සම්බන්ධ ආයතනයක කළමනාකරුවෙක් විදිහට රැකියාවක් ලැබුණා. දැන් මම නිදහස් . දැන් පුතා ළඟ ඉඳන් හැම දේම හොයා බලන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම, ටික දවසකට ශ්‍රී ලංකාවට ඇවිත් යන්න තීරණය කළා.

ඒ කියන්නෙ, ශ්‍රී ලංකාවට පැමිණියේ ඔබ පමණද?

දැනට මම විතරයි . මේ සතියේ මගේ සැමියාත්, පුතාලත් ශ්‍රී ලංකාවට එනවා.

ඔබගේ මවුපියන් තවමත් ජීවත් වෙන්නෙ ශ්‍රී ලංකාවෙ නේද?

මම එහෙ ඉන්න කාලෙම මගේ අම්මයි, තාත්තයි නිතරම එංගලන්තයට ඇවිත් ගියා. ඒ නිසා මට ශ්‍රී ලංකාවට එන්න කියලා හේතුවක් තිබුණෙත් නැහැ . ඒ විතරක් නෙමෙයි, මම හැම දිනකම අන්තර්ජාල පහසුකම් මඟින් මගේ අම්මා එක්ක කතා කරනවා. එයාලා මට දුරස් නැහැ. එක ම දේ, ඔවුන් දකින්න නොලැබීම විතරයි.

රංගනයෙන් දුරස් වීම, ඔබට අනුව යහපත් දෙයක්ද?

මගේ ජීවිතයේ වැදගත්ම දේ, පවුල. කලාව ගැන මගේ ලොකු බලපොරොත්තු නැහැ. මම කලාව දාලා ගිය කෙනෙක් . මම රටින් පිටවෙන අවුරුද්දෙ, ඒ කියන්නෙ 2003 වසරේ මම හොඳ ම ටෙලි නාට්‍ය නිළිය විදිහටත් සම්මාන ලැබුවා. ඒත්, 2004 අවුරුද්දෙ මම ශ්‍රී ලංකාව හැර ගියා.

ජනප්‍රිය නිළියකව සිටි ඔබ, මවු රට හැර යන්න තීරණය කළේ ඇයි?

මම මගේ රට හැර යන්න කිසි ම විශේෂ හේතුවක් තිබුණෙ නැහැ . මේ දේ කරනවා, අර දේ කරනවා කියලා සැලැසුමක් ඇතිව මම එංගලන්තයට ගියෙත් නැහැ. එක ම දේ, වෙන රටකට ගිහින් මම මගේ ජීවිතය වෙනස් විදිහකට ගොඩනගනවා කියන සිතිවිල්ලක් විතරක් මා තුළ පැවතුණා. මම දැන් විවාහ වෙලා ඉන්න මගේ සැමියා පවා හඳුනා ගත්තෙ, මම එහෙට ගිහින් අවුරුදු හයක් ගත වුණාට පස්සෙයි.

ඔබ, ශ්‍රී ලාංකේය නිළියක් බව, ඔබගේ සැමියා දැනගෙන හිටියද?

අපි දැනහඳුනාගෙන ටික කාලයකට පසුවයි, මම ඔහුට ඒ බව පැවසුවේ. ඒ ගැන ඔහු සතුටු වුණා.

නන්නාඳුනන රටකට ගිහින්, අලුතින් ජීවිතය ගෙඩනගන එක පහසු දෙයක් වුණාද?

නැහැ . මට ඒ රටේ තිබුණු එක ම හැඳුනුම්කම, ඒ වෙනකොට මගේ මල්ලිලා දෙන්නා ඒ රටට ගිහින් සිටීම විතරයි. ඒත්, ඔවුන් දෙදෙනාත් ඒ වෙද්දි, ඒ රටේ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන සිටියෙ නැහැ. මම එහෙ ගිහින් හැම දෙයක්ම ගොඩනැගුවා . අපට ගෙයක් ගත්තා . පුතා පාසලකට ඇතුළත් කළා. තනිකම, දුක, පාළුව, වෙහෙස, ඔය හැම දෙයක් ම ඒ කාලය තුළ මම අත්වින්දා. මම පළමුව ඒ රටේ ආයතනයක කළමනාකාරවරියක් විදිහට රැකියාවක් කළා. ඒ අතරේ, හිසකෙස් අලංකරණය ගැන හැම දෙයක්ම ඉගෙන ගත්තා . ඒ සඳහා මම විවිධ පාඨමාලා හැදෑරුවා . මම දැන් එහෙ, හිසකෙස් අලංකරණ ශිල්පිනියක් විදිහට රැකියාවක් කරනවා.

ආපසු හැරි බලද්දි, මවුබිම හා රංගනය අතහැර දමා යාම ගැන හිතෙන්නෙ මොනවද?

ඒ ගැන කිසි ම දුකක්වත්, පසුතැවීමක්වත් නැහැ . මම ඒ තීරණය නොගෙන, මේ රටේ නිළියක් විදිහට හිටියා නම්, ටෙලි නාට්‍ය කෑලිවල රඟපාමින්, පරණ වෙවී ඉඳීවි. මම නිර්මාණ බොහොමයක රඟපාපු නිළියක් නෙමෙයි . තෝරාගත් හොඳ නිර්මාණවල, ප්‍රධාන ගණයේ චරිත විතරයි මම රඟපෑවෙ. මිනිස්සුන්ට මා එපා නොවී, මම මගේ තත්ත්වය රැකගෙන වැඩ කරලා, මේ රටෙන් ගිය නිසයි, අදටත් මිනිස්සු මා පිළි ගන්නෙ. මම එදා ඒ තීරණය නොගත්තා නම්, මගේ පුතාටවත්, මටවත්, අද මේ ඉන්න තැන ඉන්න ලැබෙන්නෙ නැහැ කියලා මම හිතනවා.

ඔබ නැවතත් රංගනයට එනවා යැයි පැතිරෙන කතාව ඇත්තක්ද?

ඔව්. මම දැන් රඟපානවා . මගේ පුතාලා ලොකුයි. එයාලට එයාලගෙ වැඩ තනියම කර ගන්න පුළුවන් . එයාලා ලොකු වෙනතුරු මම මගේ මුළු කාලයම ඔවුන් වෙනුවෙන් වෙන් කළා. මට දැන් රංගනය සඳහා වෙන් කරන්න ඕන තරම් වෙලාව තියෙනවා . ශ්‍රී ලංකාවට ආපු ගමන් ම, මට ටෙලි නාට්‍යයක රඟපාන්න ඇරියුමක් ලැබුණා. තවම ඒක ස්ථිර වෙලා නැහැ . තවත් නිර්මාණ ලැබෙන ලකුණු තියෙනවා .ඒ දේ මට හොඳයි කියලා හිතෙනවා නම්, මම ඉදිරියෙදි මේ රටට ඇවිත් රඟපාලා යනවා. මට ඒ සඳහා මගේ රැකියා ආයතනයෙන් නිවාඩු ගන්න පුළුවන්.

අද වනවිට ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති වෙනස්කම් ගැන, ඔබට අවබෝධයක් තියෙනවද?

මම නැවතත් මේ රටට එනකොට, පරණ කලාකරුවෝ මිසක්, අලුතින් මේ ක්ෂේත්‍රයට ආ කිසි ම කෙනෙක් ගැන හෝ මේ කලාවෙ වෙනස්වීම් ගැන හෝ දැනගෙන හිටියෙ නැහැ. මම එහෙ, අතිශයින් ම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නෙ. ඒ නිසා, ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ගැන අවධානය යොදවන්න හැකි වුණේ නැහැ. හැබැයි මම ශ්‍රී ලංකාවට ආව ගමන්ම, මාධ්‍ය ආයතනවලට ගියහම, දැන් මේ ක්ෂේත්‍රයේ ඉන්න තරුණ අය දැන හඳුනා ගත්තා . බොහොම ලස්සන තරුණ ගැහැනු හා පිරිමි ළමයි පිරිසක් දැන් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඔවුන් දක්ෂයො වෙන්න ඇති කියලා මම හිතනවා. ගිය හැම තැනකදි ම, අලූත් අයගෙන් මට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. එහෙදිත් මම කලාව රස වින්දා. මම මගේ සැමියා එක්ක ගිහින් හොඳ චිත්‍රපටයක් බලනවා. රූපවාහිනී නාට්‍ය මාලා බලනවා.

අතීත රංගන දිවිය දෙස හැරි බලන්න කැමැතිද?

මම චිත්‍රපට දහයක් විතර රඟපාන්න ඇති. ටෙලි නාට්‍යවලින් 'පුලින ප්‍රාසාද', 'ශෝභා දර්ශන', 'දිය සෙවණැලි', 'බුමරංග', 'එක් මෘගාංගනාවියක්' වගේ නිර්මාණවල නම් මතකයි. සමහර මම රඟපාපු නිර්මාණවල, පසු කාලයකදි නම් වෙනස් කර තිබෙනවා . ඒ නිසා මම ඒවයෙ නම් දන්නෙ නැහැ. මම රංගනය තුළ ගතකළ කෙටි කාලයේ දී, මට සම්මාන දෙකක් ලැබිලා තියෙනවා. ඒ, 2002 කුසලතා සම්මානයක් හා 2003 වසරේ හොඳ ම ටෙලි නාට්‍ය නිළියගේ සම්මානයයි.

රංගනයට ඒම හැරුණහම, ඔබගේ රසිකයන්ට වැදගත් වන, ඔබේ ඉදිරි සැලැසුම් මොනවද?

මම මේ වතාවෙ ශ්‍රී ලංකාවෙන් ගියාට පස්සෙ, මගේ යු ටියුබ් චැනල් එකක් පටන් ගන්න සැලැසුම් කරනවා. ඒකෙන් මම අපේ රටේ අසිරිය සංචාරකයන්ට පෙන්වන්න, වීඩියෝ එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. කොණ්ඩා සැකසුම්, ආහාර පාන ගැන මම එහෙදි ඉගෙනගත්තා. ඒ වගේම අලූත් ම රූපලාවන්‍ය තොරතුරු පිළිබඳ මගේ රසික රසිකාවන් දැනුම්වත් කරන්න හිතාගෙන ඉන්නවා. මගේ යූ ටියුබ් චැනලය හා එක්වන්න කියලා, මම හැමෝටම ආරාධනා කරනවා . ඒ වගේම, මම ශ්‍රී ලංකාවට ආව ගමන් මා ආදරයෙන් පිළිගත්ත හැම මාධ්‍ය ආයතනයකටම වගේ ම, මගේ රසික රසිකාවන්ටත්, මගේ රටේ සියලූ ම ජනතාවටත් ස්තූති කරන්න, මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ඔබ නැවතත් මෙරටින් පිටවෙලා යන්න සූදානමින්ද ඉන්නේ?

ලබන මාසෙ තුන් වැනිදා අපි මෙහෙන් යනවා . එහෙ ගිහින් හතර වැනිදා මම නැවතත් මගේ රැකියාවට වාර්තා කළ යුතුයි.

ධම්මිකා සුරංජි පතිරණ


නව අදහස දක්වන්න