අය-වැයෙන් කෘෂි ක්ෂේත්‍රයට මිලියන 43141ක් | දිනමිණ

අය-වැයෙන් කෘෂි ක්ෂේත්‍රයට මිලියන 43141ක්

ඇමැති පී. හැරිසන්

වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කළ රජය මෙවර අයවැයෙන් කෘෂි ක්ෂේත්‍රයට රුපියල් මිලියන 43141ක් යොදවන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (22) පැවැසීය.

අය-වැය තුන්වන වර කියවීමේ කාරක සභා විවාදයට එක්වෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ හයක් පිළිබඳ විවාදය පසුගිය දා (22) පැවැත්විණි.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්විය.

නිවේදන ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිනට නියමිත ප්‍රශ්න සඳහා ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

අනතුරුව විවාදය ආරම්භ කෙරිණි. දිනට නියමිත අමාත්‍යාංශයන්ගේ වැය ශීර්ෂවල වියදම් හා ප්‍රාග්ධන වියදම් රුපියල් දහයකින් කපාහැරිය යුතු බව පවසමින් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා (එ.ජ.නි.ස.) අය-වැය කතාව ආරම්භ කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් රුපියල් දහයක් නොව සියලුම වියදම් කපාහැරිය යුතු යැයි මම කියනවා. ඒ තරමට කෘෂිකර්මයේ දූෂණ වංචා. මීට වඩා හොඳයි පොල් අතු මඩුවක මේ අමාත්‍යාංශය කළා නම්. අද වී ගොවියාට සාධාරණ මිලක් නෑ.

කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා -

වී ගබඩා 210ක් දැන් විවෘත කරලා. දිසාපතිවරුන්ට මුදල් යවලා තිබෙනවා. දැනට මෙට්‍රික් ටොන් 28000ක් අරන් තිබෙනවා. නාඩු 28යි. සම්බා 41යි. ප්‍රාදේශීය ලේකම්ට යවලා තිබෙනවා. මාතරට සල්ලි නැත්නම් මට කියන්න මම මුදල් යවන්නම්. දියගම කෘෂි බීජ මධ්‍යස්ථානය පසුගිය කාලේ ආරම්භ කළා. එය ක්‍රීඩා අමාත්‍යාංශයට ගැසට් කරලා තිබෙන්නේ ඒ කාලේ මම ගැසට් එකකින් කෘෂිකර්මයට ගත්තා.

මහින්ද යාපා අබේවර්ධන මහතා -

බොහෝම ස්තූතියි. එහෙම කළොත් හොඳයි. බීජ පිටරටින් ගෙනාවොත් සේනා දළඹු ප්‍රශ්න එයි.

පී. හැරිසන් මහතා -

මේ අවුරුද්දේ වැඩිම බඩඉරිගු අස්වැන්නක් ලැබිලා තිබෙනවා. බඩ ඉරිගු ප්‍රශ්නය එනවිට සිටියේ මහින්ද අමරවීර මහතා. එතුමා ක්‍රියා කළ නිසා දළඹු ප්‍රශ්නය අද වනවිට අඩු කරලා තිබෙනවා.

මහින්ද යාපා මහතා -

අද වෙන් කරලා තිබෙන මුදල් කපාහැරලා.

පී. හැරිසන් මහතා -

මිලියන හතළිස් තුන්දාහක් කෘෂිකර්මය වෙනුවෙන් යොදවලා තිබෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

පත්කළ මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා (එ.ජ.නි.ස.) –

මම ධීවර ක්ෂේත්‍රයේ කටයුතු කරනකොට අගමැතිවරයාගේ නොමද සහාය ලැබුණා. අද කෘෂි ප්‍රශ්නය කිසිම ආණ්ඩුවකට විකුණන්න බෑ. අඳ ගොවියා, බදු ගොවියා කුඹුරු කරනවා. ගමේ හාල් කඩේ නෑ. පැකට් එකට ‍කොටුවෙලා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙ.ජා.ස.) –

ශ්‍රී ලංකාව තුන්වනවරට ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දක්වලා තිබෙනවා. පසුගිය දා (22) ඡන්ද විමසීමකින් තොරව එම යෝජනා සම්මත වුණා. විදේශීය විනිසුරුවන් පත් කිරීමේ ක්‍රියාවලියට නීතිමය බාධාවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බාධාවක් නෑ. එම නිසා විදේශ අධිකරණ ක්‍රියාවලියට ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ කියන කතාව පිළිගන්න බෑ. ශ්‍රී ලංකාව පොරොන්දු වූ පරිදි කටයුතු නොකරන්නේ නම් අපි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට යන්න සූදානම්.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා -

කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය ජනතාවට සමීප ක්ෂේත්‍ර දෙකක්. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මේ ක්ෂේත්‍ර සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළා.

විශේෂයෙන්ම මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට හැකි වුණා. ධීවර කර්මාන්තයේ දී ජාත්‍යන්තර ප්‍රමිතීන් හා නවීන තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ගැඹුරු මුහුදේ දී මසුන් නෙළීම සිදුකිරීමේ දී ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය සැපයිය යුතුය. ඉන්දීය ධීවරයන් තවමත් උතුරු නැ‍ඟෙනහිර වෙරළේ මාළු අල්ලනවා. අපගේ ධීවරයන්ට මෙයින් බලපෑමක් ඇති වෙනවා.

ඇමැති පී. හැරිසන් මහතා -

ගැඹුරු මුහුදේ මසුන් නෙළන අයට නෝර්වේ ආධාර මත අවශ්‍ය පහසුකම් ඉදිරියේ දී ලබා දෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා (එ.ජ.නි.ස.)-

අද වන විට ගොවිතැන සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ තාක්ෂණය. මැෂිමෙන් ගොයම් අක්කරයක් කපන්න රුපියල් 18,000ක් ගන්නවා. ගොයම් කපපු කාන්තාවෝ අද නැහැ. තරුණ පරපුර අද ගොවිතැනෙන් ඈත් වෙනවා. ආණ්ඩුව කාගෙ වුණත් ඇමැති කවුරු වුණත් අපි එකතු වෙලා වැඩ කළ යුතුයි. මගේ ප්‍රතිපත්තිය එයයි. ඒ වගේම ගොවිතැන හෝ වෙනත් කවර විෂයක් වෙනුවෙන් වුවත් අඛණ්ඩ ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුය. විශේෂයෙන්ම පශු සම්පත් ගොවිපොළ, කෘෂි වගා භූමි කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සාම්ප්‍රදායික වගා භෝග වෙනුවට අලුත් භෝග කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා -

වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් ගොඩ මඩ කුඹුරු රැසකට ප්‍රතිලාභ හිමිවෙනවා. මේ තුළින් ගැමි ආර්ථිකය දියුණු වෙනවා. මාදම්පෙ, මාකඳුර ප්‍රදේශ පවා මේ තුළින් සංවර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි පළාත්වල ආදර්ශ ගොවි ගම්මාන ඇති කළ යුතුය. බැසිල් රාජපක්ෂ මහතාගේ වකවානුවේ දී විදෙස් රටකින් කිරි එළදෙනුන් ආනයනය කළා. සීතල රටවල හැදෙන හරක් අපේ පළාත්වලට හරියනවද? ඉන්දියාව වගේ රටවල අපට ගැළපෙන හරක් ඉන්නවා. මොන රජය යටතේ වුවත් එවැනි දේවල් සිදුකිරීම අනුමත කළ නොහැකිය.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස) –

මේ රට දියුණු කිරීමට නම් රටේ කෘෂිකර්ම හා ධීවර ක්ෂේත්‍ර අනිවාර්යයෙන්ම දියුණු කළ යුතුයි. ධීවර අමාත්‍යාංශයට අපි හිටපු කාලයේ ජාතික ප්‍රතිපත්තියක් සැකසුවා. දැන් එය භාෂාවලට පරිවර්තනය කරන්න තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයටත් ජාතික ප්‍රතිපත්තියක් හදමින් තිබුණා. ඉදිරියේ දී මේ දෙකටම ජාතික ප්‍රතිපත්ති හැදේවි. හැරිසන් ඇමැතිවරයා මම ඇමැති කාලයේ දියත් කළ වැඩසටහන් ඉදිරියට ගෙන යනවා. එය යහපත් දෙයක්.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සිසිර කුමාර අබේසේකර මහතා (එ.ජා.ප.) –

ධීවර සම්පත රැක ගැනීමට නීති පද්ධතියක් තිබේ. එසේ නමුත් මත්ස්‍ය සම්පත රැක ගන්නා වැඩපිළිවෙළක් නැහැ. දිනකට හලාවතින් විතරක් රුපියල් කෝටි 2ක පමණ මත්ස්‍යයන් ගොඩ දානවා. සුළු පරිමාණ ධීවරයා කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුයි. ධීවර කර්මාන්තයේ පවතින නීතිරීති නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා (එ.ජ.නි.ස.) –

රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ගම්මිරිස් ගැටලුවක් වී තිබෙනවා. ගැමියන් මේ වගාවෙන් අහිංසක ආදායමක් ලැබුවා. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් කිලෝ එකකට රුපියල් 1500ක ආදායමක් ලැබූ අය අද ලබනුයේ රුපියල් 500ක පමණ ආදායමක්. එය ගැමියන්ට ගැටලුවක් වී තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා (එ.ජා.ප.) –

තෙත පිටින් වී අලෙවි කළ හැකි තත්ත්වයක් අද අපි උදාකර දී තිබෙනවා. මෙවර ගබඩා සූදානම් කර තිබෙනවා වී අලෙවි මණ්ඩලය විසින්. ඒ නිසා වී ගොවියන් ගැටලුවක් නැතිව වී අලෙවි කිරීම සිදුකරනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා (ජ.වි.පෙ.) –

පසුගිය වසරවලට වඩා ධීවර අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල මෙවර අඩුයි. ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට මේ වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත් නැහැ. ධීවර ක්ෂේත්‍රය ගොඩ ගැනීමට නම් ජාතික ප්‍රතිපත්තියට අනුව කටයුතු කළ යුතුයි. ඔලුවිල් වරායේ ගැටලුව විසඳීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (එ.ජා.ප.) –

පසුගිය කාලය පුරාම සිදු වූ සිදුවීම් කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් කිරීමට ඔබතුමාට බැහැ. අපේ රටේ කෘෂිකර්මාන්තය සඳහා වගකිව යුතු ආයතන රැසක් තිබෙනවා. නමුත් කෘෂිකර්මාන්තය තුළ භෝග විවිධාංගීකරණයක් දක්නට ලැබෙන්නෙ නෑ. ඒ නිසා භෝග විවිධාංගීකරණය ඉතා වැදගත්. අපෙන් ඈත්වී යන සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය ආරක්ෂා කළ යුතුය. කෘෂිකර්මය ධීවර ක්ෂේත්‍රය වාරිමාර්ග අංශය සංවර්ධනය සඳහා වත්මන් ඇමැතිවරයා දැඩි වෙහෙසක්ද දරනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.) –

උතුරු පළාත්වල සංවර්ධනය සඳහා දෙමළ ජාතික සන්ධානය වැඩි අවධානයක් යොමු කරන්නෙ නෑ. දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඒ වගේම අපගේ පළාත්වල කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න.

කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත අළුවිහාරේ මහතා -

නිසි වෙලාවට ගොවියාට පොහොර සහනාධාරය ලබා දුන් අපි වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 5ක් වෙන්කර තිබෙනවා.

පසුගිය දා (22) දිනය වනවිට නාඩු සහල් වී කිලෝ මෙට්‍රික් ටොන් 25000 කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙනවා. පසුගිය වසර තුනෙහි රුපියල් බිලියන 538ක ආහාර අපි ආනයනය කරනවා. මේ මුදල් ඉතිරි කර ගැනීම රටට විශාල සහනයක් වෙනවා. බී ලූනු, අල ආනයනයට යොදවන මුදල් දේශීය ගොවියා නඟාසිටුවීමට යෙදවීම කළා. 1977 රජය ගොවියාට ජලය ලබාදීම සඳහා මහවැලි යෝජනා ක්‍රමය ඉදිකළා. වත්මන් රජය මොරගහකන්ද, වයඹ ඇළ වැනි වාරි යෝජනා ක්‍රම මඟින් රට සහලින් ස්වයං පෝෂිත කිරීමට කටයුතු කරනවා. මේ සඳහා රජය රුපියල් මිලියන 380000ක් වෙන් කළා. මංගල ඇමැතිවරයා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 12000ක් වෙන් කර තිබෙනවා. වෙන කිසිදු රජයක් මෙවන් විශාල ආයෝජනයක් කර තිබුණේ නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතා (එ.ජ.නි.ස.) – කෘෂිකර්ම විෂයට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ආණ්ඩු මාරුවුවත් ඇමැතිවරයා මාරුවුවත් ප්‍රතිපත්තිය වෙනස් වෙන්න බෑ. මාදැල් බෝට්ටු සඳහා යම් සහනයක් මේ අයවැයෙන් ලබා දුන්නත් ධීවර කර්මාන්තය නගාසිටුවන්න පැහැදිලි වැඩපිළිවෙළක් නෑ. කරවල ආනයනය ගිය වසරට වඩා වැඩියි. අද පෝට්සිටි කොන්ත්‍රාත්කරුවකු වැලි කියුබ් 400ක් හොරකම් කරලා තිබෙනවා. ඊට නීතිය ක්‍රියාත්මක කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එ.ජා.ප.) –

වැලි හොරුන්ගෙන් රට බේරා දෙන්න කියන එකට මමත් එකඟයි. අද වැලි ජාවාරම්කාරයන්ගෙන් රට බේරාගත යුතුයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති කියලා ග්ලයිපොසට් තහනම් කරලා වී ගොවියා කඩා වැට්ටුවා. විකල්පයක් නැතුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ගැන අද කවුරුවත් කතා කරන්නෙ නෑ.

දඹුල්ල ප්‍රදේශයේ ගොවි ශීතාගාර ඉදිකිරීමට රජය කටයුතු සම්පාදනය කරනවා. අද රජයේ නිලධාරීන් තමන්ට හිතෙන හිතෙන පරිදි ගොවි බිම් ගොඩ කරන්න ඉඩදීලා තිබෙනවා. මෙහෙම රට ගොඩනගන්න බෑ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා (එ.ජ.නි.ස.) –

මා ජනාධිපතිතුමාට අගමැතිතුමාට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. අද ඇමැති මාරුවුණාට කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් වන්නෙ නෑ. ගොවියා ශක්තිමත් කිරීම සඳහා අපි ආරම්භ කළ වැඩසටහන් නොනවත්වා ඉදිරියට ගෙන යෑම ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. යහපාලනය කාලයේ මම ආරම්භ කළ ගොවියාගේ රක්ෂණාවරණය ක්‍රියාත්මක වෙනවා. මේ වනවිටත් එමඟින් වැස්සක් පෑවුවත් ගොවියාට ගැටලුවක් නැහැ. රක්ෂණාවරණය හරහා ගොවියාට වන්දියක් ලැබෙනවා. මෙරටට බීජ ගෙන්වීමට රුපියල් බිලියන 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් වැය කරනවා. අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුව හොඳ කරනවා නම් ඒ සඳහා අපි හොඳයි කියනවා. අපේ පරම්පරාව සම්ප්‍රදායෙන් පිටට ඇවිත් හොඳට හොඳයි කියනවා. එජාපය සමඟ අප හොඳ සබඳතාවක් ගොඩනඟාගෙන තිබෙනවා. ආණ්ඩුවේ හොඳ දැකලා හොඳයි කියද්දි අනෙක් සමහරු අහනවා එජාපයට යන්නද හදන්නේ කියලා.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත සේනානායක මහතා (එ.ජා.ප.) –

රුපියල් මිලියන 35000ක් පොහොර සහනාධාරය සඳහා මේ රජය වෙන් කර තිබෙනවා. ගොවියාගේ ගැටලු තේරුම් ගෙන ඒවා විසඳීමට රජය කටයුතු කරනවා. කෘමි උවදුරට රක්ෂණයක් ලබාදිය යුතුයි. අපේ දිස්ත්‍රික්කයේ වී අස්වැන්න වේළීමට මහ පාර යොදා ගන්නවා. මේ නිසා එය ගොවියාටත්, වාහනවලටත් අනතුරක්. මේ අනතුර වැළැක්වීමට රජය පියවර ගත යුතුයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද්‍රන් කෝඩේෂ්වරන් මහතා (දෙ.ජා.ස.) –

මේ රට කෘෂිකර්මාන්ත රටක්. රටේ බහුතර ජනයා ගොවීන් විදියට සිටිනවා. තම අවශ්‍යතා සපුරා ගැනීමට ගොවි කර්මාන්තයෙන් ලබන මුදල ඔවුන්ට මදි. වී මාෆියාවකුත් තිබුණා. වී ගබඩා කිරීමට අවශ්‍ය ගබඩා රජය සකස් කර දිය යුතුයි. වී සඳහා හොඳ මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් රජයෙන් ඉදිරිපත් කළ යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මුලසුනට පැමිණියේය.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා -

මේ රට කෘෂිකාර්මික අතින් ශක්තිමත් කර රටක් විදියට ඉදිරියට යා යුතුයි. ආණ්ඩු පක්ෂයත් මිලියන 1500ක් ආහාර සුරක්ෂිතතාවටත්, පොහොර සහනාධාරයට රුපියල් මිලියන 32500 ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මිලියන 1279 ක්, ගොවිජන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2134ක් ද, අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට රුපියල් මිලියන 439ක් ද ලෙස රුපියල් මිලියන 43141ක් අයවැයෙන් අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කරන්නේ කෙ‍සේද කියා කතා කරනවා. මේ ගැන සාකච්ඡා කළ ද එය තවමත් ක්‍රියාත්මක වේද කියලා ගැටලුයි. කෘෂි රසායන වසරකට මෙට්‍රික් ටොන් 4000ක් ගේනවා. තව දුරටත් මේ පොළොව කෘෂි රසායනවලින් තෙත් කරනවාද? ආහාර වගාවට මේ කෘෂි රසායන එක් වෙනවා. වසරකට මෙට්‍රික් ටොන් 12000කට වඩා රසායනික පොහොර ගේනවා. මෙමගින් විෂ අධික සංඝටක පොළවට එක් වෙනවා.

සමස්ත ජනගහනයෙන් සියයට 70 ක් කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. තමන්ට හැකි පරිදි වස විසෙන් තොර ආහාර බෝග තමන්ගේ ගෙවත්තේ වගා කරනවා නම් වස විසෙන් තොර කෘෂි වගාව අපට කළ හැකියි. පොළොන්නරුවේ වී ගබඩා 27 ක් ද රට පුරා වී ගබඩා 210 ක් ද විවෘත කර තිබෙනවා. වී මිල දී ගැනීමට දිසාපතිවරුන්ට රුපියල් මිලියන 5000ක් ලබා දී තිබෙනවා. තෙත වී මිටියක් රුපියල් දෙදහස් ගණනකට මිල දී ගන්නවා. ගොවි මහත්වරු පහසුව සඳහා තෙත වී ලබා දෙනවා. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක මහත්වරු මම මේ අමාත්‍යාංශය බාරගැනීමට පෙර හොඳ ‍වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණා. ඒවා අපි වෙනස් නොකර අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

මුහුදු සීමා උල්ලංඝනය කිරීම ධීවර කර්මාන්තය තුළ බහුලව දැක ගත හැකි ගැටලුවක්. ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් දෙනවා. ජනාධිපති අතින් ඉදිරි යල කන්නය සඳහා යාං ඔය ව්‍යාපෘතිය හරහා ජලය ලබාදීම සිදුකරනවා. යාංඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවන්ට වන්දි මුදල් ලබාදීමක් සිදුකරනවා. මල්වතු ඔය ව්‍යාපෘතිය නිසා අවහිර වන පාලම්වලට වැඩපිළිවෙළක් යොදා අනුරාධපුර නගරය ජලයෙන් යටවීම නැවැත්වීමට උත්සාහ කරනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ග්‍රාමීය ජනතාවගේ ජීවිත නඟාසිටුවීමට පියවරගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා (එ.ජ.නි.ස.) –

වී මිල දී ගැනීමේ දී යහපත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට පියවර ගත යුතුයි. පොස්පේට් ආයතනය සම්බන්ධයෙන් සිදුවී තිබෙන වංචා දූෂණ ගැන පැහැදිලි විගණනයක් කරන්න. ග්ලයිපොසෙට් තහනමක් කළා. විකල්පයක් ලබා නොදී තහනම ක්‍රියාත්මක කළ නිසා ඒවා භාවිත කළ ගොවියා අසරණ වුණා. කුඩා මෝල් හිමියන්ට අවශ්‍ය පහසුකම් ලබා දී ඔවුන් නඟාසිටුවීම කළ යුතුයි. මිල්කෝ ආයතනය දියුණු කළ යුතුය.

ඇමැති පී. හැරිසන් මහතා -

මිල්කෝ ආයතනය නඟාසිටුවීම සඳහා අවශ්‍ය පියවර රජයෙන් ගන්නවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා (එ.ජ.නි.ස.) –

වසම් 10,12 ක කෑගල්ලේ පවුල් කිහිපයක ජන ජීවිතය අඩාළ වී තිබෙනවා. මේ ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි. වාරිමාර්ග ව්‍යාපෘති අපේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් තිබේ ද කියා දැන ගන්න කැමතියි.

ඇමැති පී. හැරිසන් මහතා -

කබීර් හෂීම්, තුසිතා විජේමාන්න මහත්ම මහත්මීන් එක්ක වාරිමාර්ග නිලධාරීන්ද සමඟ සාකච්ඡාවක් කළා. තාක්ෂණ ‍ග‍ඟේ ජල පාලනය සඳහා තමයි මේ සාකච්ඡාවක් කළේ. කුමන හේතුවක් නිසාවත් ඔබතුමාගේ ප්‍රදේශයේ වාරිමාර්ග ඉදිකිරීමක් කරන්නේ නැහැ.

සාරතී දුෂ්මන්ත මහතා -

ජනතාවගේ විශ්වාසය මේ සඳහා තහවුරු කිරීම සඳහා ලිඛිත ලියැවිල්ලක් ඉදිරිපත් කරනවා නම් හොඳයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තුසිතා විජේමාන්න මහත්මිය මුලසුනට පැමිණියාය.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (එ.ජා.ප.) –

අපේ රට දූපතක්. සියලු සම්පත් අපට තිබෙනවා. ජනතා හිතවාදී ලෙස රට ගෙනැවිත් ඇති තැන ගැන සිතිය යුතුයි. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ ගැන සිතා බැලිය යුතුයි. නව සොයා ගැනීම් ක්‍රියාවට නංවා කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කළ යුතුයි. ධීවර කර්මාන්තය නඟාසිටුවීමට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි (ස්වාධීන) –

මට පෙර සාරතී දුෂ්මන්ත මහතා කතා කළා. කෑගල්ලට ග්ලයිෆොසෙට් ඕන කිවුවා. විපක්ෂයේ දැක්ම මේකද කියලා අපි හිතනවා. ග්ලයිෆොසෙට් තහනම් කර තිබුණා පසුගිය කාලයේ. ඒ තහනම නිසා හරකුන්ට කන්න තණකොළ ඉතිරි වුණා. වකුගඩු රෝගය ග්ලයිෆොසෙට් නිසා ඇති වෙනවා කියා පෙන්වා දී තිබෙනවා. මෙය පූර්ණ වල්නාශකයක්. ‍සමහරු හිතනවා. මෙය නැතිව වගාවන් කළ නොහැකියි කියලා. එය වැරැදි සිතුවිල්ලක්. මැති ඇමැතිවරු පොහොරට මෙතරම් කැමැති ඇයි. නයිට්‍රජන් පොහොරවල අඩංගු වෙනවා. යූරියා තමයි මෙරටට ගෙන්වන්නේ. අපේ රටේ හොඳින් ස්වභාවික පරිසරයේ නයිට්‍රජන් තිබෙනවා. ඉතින් මේ යූරියා අපට අවශ්‍ය නැහැ. පොහොර සහනාධාරයට බිලියන 50යි. ගොවියන්ට සහන දීමට රුපියල් බිලියන 20යි.

මොකක්ද මේ වංචාව. පොහොර සඳහා යන රුපියල් බිලියන 50ම ඉතිරි කර ගත හැකියි. විපක්ෂයට තිබෙන්නේ විරුද්ධවීමක් පමණයි. විපක්ෂයට සාධනීය දැක්මක් නැහැ. ශ්‍රී ලංකාව ගොඩනඟන්නේ කෙසේද කියලා දැක්මක් නැහැ. පිටරටින් 2013 දී තුට්ටු දෙකට පොහොර කියලා ගෙනාවේ කසළ ගොඩවල්. වල්නාශක, කෘමිනාශක, පොහොර නිසා ජනතාවට පිළිකා ඇතුළු රෝග රැසක් හැදෙනවා කියලා පරීක්ෂණවලින් සොයා ගෙන තිබෙනවා. ගොවි නිෂ්පාදන නිසි ලෙස කරන්නේ නම් නව රැකියා 50000ක් අලුතින් නිර්මාණය කළ හැකියි. පක්ෂය කුමක් වුවත් යථාර්ථය අපි අවබෝධ කර ගත යුතුයි. 1985 න් පසුව තමයි ග්ලයිෆොසෙට් ආවේ. තිරසාර කෘෂිකර්මාන්තයක් රට තුළ ස්ථාපිත කළ යුතුයි. BMICH හි මේ මස 30, 31 දිනවල ප්‍රදර්ශනයක් තිබෙනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස.) –

අපගේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදුවෙමින් තිබුණ ද ඔබතුමාලගේ අමාත්‍යාංශ යටතේ තිබෙන ආයතනවලින් සිදුකරන ක්‍රියාවලීන් නිසා අපේ ප්‍රදේශයේ ජනතාවට සිත් තැවුල් ඇතිවී තිබෙනවා. වවුනියා දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථානයේ එහිදීම ඉල්ලුම්පත් කැඳවන්නේ නැත්තේ ඇයි කියලා.

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා -

සෙලින්කෝ රක්ෂණ සමාගම යටතේ රක්ෂණාවරණ ලබාගන්න කියලා ධීවරයන්ට පුන පුනා කියා තිබෙනවා. නමුත් නිසි ලෙස වන්දි ලබා නොදෙන තත්ත්වයක් ද තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ගැඹුරු මුහුදට යන ධීවරයන්ට බෝට්ටු ගාල් කිරීමට තිබූ ඔලුවිල් වරායේ ප්‍රශ්නයක් තිබෙනවා. මුහුදු ඛාදනයට ලක්ව ඔලුවිල් ගම්මානයේ ඉඩම් අහිමි වී තිබෙනවා. අක්කර දහස් ගණන් ඉඩම් අහිමියි. මේ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතුයි. අගමැතිවරයාගේ අවධානයටත් මේ ගැටලුව යොමු කර තිබෙනවා. සුනාමියෙන් පසුව පොතුවිල් ගමේ වැසියන්ගේ ලියවිලි විනාශ වුණා. පහළ මල්වතු ව්‍යාපෘතිය ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. වුන්දෙනියාරු ව්‍යාපෘතිය ගැන ද සොයා බලා ජනතාවට බාධාවක් නොවන ලෙස සංවර්ධන කටයුතු සිදුකළ යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා (ජ.වි.පෙ.) –

මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශක සංගමයේ ඉල්ලීම් ඉටු කරයි කියලා අපි සිතනවා. දියගම පරිසර හිතකාමී කෘෂි උද්‍යානය වසා දමලා බීජ නිරෝධායනය සහ කරුණු ඔවුන් ඇමැතිවරයාගේ අවධානයට ලක්කර ඇතැයි මම හිතනවා.

රිදීගම ගොවිපළේ විශාල විදුලි බිලක් යනවා. ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කළ හරක්ට අවශ්‍ය පරිසරය හදන්න. අඩුම තරමේ ඉන්දියාවෙන් හෝ එළදෙනුන් ගේන්න තිබුණා. ගිය රජය කළ වැරැද්ද මේ රජයත් කරගෙන යනවා. මේ නිසා අඩුම තරමේ හරකුන් පිළිබඳ වරද හෝ නිවැරැදි කරන්න කටයුතු කරන්න කියලා අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා (එ.ජ.නි.ස.) –

පසුගිය නියඟයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් ලක්ෂයක් පමණ පීඩා වින්දා. අද ගොවියා හොඳ අස්වැන්නක් ලබනවා. වී මිල දී ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ආණ්ඩුව ක්‍රියාත්මක කරන මේ ක්‍රියාදාමය තව මාස කිහිපයකින් සාර්ථක වෙයි. එහෙත් එත‍කොට ප්‍රමාද වැඩියි. අනුරාධපුරයේ ඉඳලා පුත්තලමට තිබෙන පාර අද හොඳටම අබලන් තත්ත්වයක පවතිනවා.

ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මුලසුනට පැමිණියාය.

වරාය නියෝජ්‍ය ඇමැති අබ්දුල්ලා මහරුෆ් මහතා -

ත්‍රිකුණාමලය, පොතුවිල් වරාය ආශ්‍රිතව මුහුදු සැතපුම් 200ක් අපට තිබුණත් අපේ ධීවරයන් යන්නේ සැතපුම් 40ක් පමණයි. අපේ ධීවරයන්ට තිබෙන්නේ කුඩා බෝට්ටු ඉන්දියාවෙන් හා වෙනත් රටවල්වලින් අපේ මත්ස්‍ය සම්පත රැගෙන යනවා. එම නිසා අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයි. අද ගබඩා පහසුකම් තිබෙනවා. නමුත් ඒවා පාවිච්චි කරන්නේ නෑ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එන්. සී. මුතුකුමාරණ මහතා (එ.ජ.නි.ස.) –

අද ගොවියා මහපාරේ වී ටික විකුණ ගන්න බැරුව ඉන්නවා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතා (එ.ජ.නි.ස.)-

තල, කවුපි වැනි බෝග වගා ව්‍යාප්තිය ක්‍රමයෙන් අඩුවී තිබෙනවා. ලොකු ලුනු, මුංඇට, රට කජු, කුරහන්, බඩඉරිගු වැනි බෝගද මෙසේ බෝග ව්‍යාප්ති වගා බිම් අඩුවෙමින් තිබෙනවා.

කිරිපිටි පානය කිරීමෙන් අනතුරු සහිත රෝග 21ක් සෑදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. පිළිකා, අධික රුධිර පීඩනය, හෘදයාබාධ හැදෙනවා. කිරිපිටි යනු සැබැවින්ම කිරිපිටි නොවේ යන්න අද තහවුරු වී තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය (එ.ජා.ප.) –

ගොවි ජනතාවගේ නිෂ්පාදන මිල දී ගැනීම සඳහා වැඩපිළ‍ිවෙළක් සකස් කරන්න. මගේ පියාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටු කළා. ඒ වගේම මගේ පියා 1977 දී පාර්ලිමේන්තුවට ආවේ. ඒ වගේම එතුමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ආරම්භ කිරීම ඇති කළා. රටට බත සැපයූ, සපයන ගොවි පරපුර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රී නේෂන් මහතා -

අපගේ ප්‍රදේශවල වැඩි වශයෙන් තිබෙන්නෙ කෘෂිකර්මාන්තය.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලු කුමාර් මහතා මුලසුනට පැමිණියේය.

කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති අමීර් අලී මහතා -

දැදුරුඔය ව්‍යාපෘතිය ඉතාම වැදගත්. ඒ සඳහා විශාල මුදලක් රජය වෙන් කර තිබෙනවා. මාවඩිඕඩි ඉදිකර ඇති රුපියල් මිලියන 190ක පාලම නිසි ප්‍රමිතියට නැහැ. ඒ ගැන සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතුයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය (එ.ජ.නි.ස.) –

සේනා දළඹුවාගෙන් විශාලම හානිය අපේ දිස්ත්‍රික්කයට සිදු වුණා. හානියට පත් වූ අයට වන්දි දී අවසන් කරන්නට නොහැකි වුණේ නම් ඉක්මනින් ලබා දී අවසන් කරන්න කියා මම ඉල්ලා සිටිනවා. වන අලින්, දඬුලේනන්, වඳුරන්, මොනරුන්ගෙන් විශාල ලෙස වගා හානි වෙනවා. සතුන්ගේ වගා හානි නිසා ගොවීන් දිළිඳු වෙලා.

පත්කළ මන්ත්‍රී ඒ. එල්. එම්. නසීර් මහතා (එ.ජා.ප.) –

ඔලුවිල් වරාය නැවත භාවිතයට ගැනීමට උත්සාහයක් තිබෙනවා. මේ වරාය නිසා හානි වූ ජනතාවට වන්දි ලබාදීමට වූ පොරොන්දු මේ වනතෙක් ඉටු කර නැහැ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා (එ.ජ.නි.ස.) –

නවීන තාක්ෂණය හඳුන්වා නොදීම නිසා කෘෂිකර්මාන්තයේ ඇතැම් ගැටලුවලට අපි මුහුණ දී සිටිනවා. මේ තාක්ෂණය හඳුන්වා නොදී තව දුරටත් ඉදිරියට ගියොත් කෘෂිකාර්මික රටක් ලෙස බරපතළ ගැටලු රැසකට ඉදිරියේ දී මුහුණදීමට සිදුවෙනවා. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සැබැවින්ම ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිව නේශන් මහතා (දෙ.ජා.ස.) –

වී, පොල් වැනි වගාවන් තුළින් ජනතාව නැ‍ඟී සිටිනවා. කෘෂිකර්මයට රුපියල් බිලියන 14ක් වෙන් කිරීම ප්‍රමාණවත් නැහැ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා (එ.ජ.නි.ස.) –

ටින් මාළු පිටරටින් ගෙන්වා තිබෙනවා. ධීවරයන්ට සහන ලබාදීම මේ රජයෙන් කරන්නෙ නැහැ. ජනතාවගේ ප්‍රශ්න යටපත් කරනවා.

පී. හැරිසන් මහතා -

මේ මන්ත්‍රීවරයා මැරිලා ඉපදිලා වගේ කතා කරන්නෙ. බොරු බයිලා කියලා රට නොමඟ යවන්න එපා.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එ.ජ.නි.ස.) –

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියා කිවුවට වත්මන් රජය යටතේ ගොවියා බරපතළ ලෙස පීඩාවට පත්වෙලා.

මේ රටේ ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙනවා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම් ප්‍රමාණවත් නැහැ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එ.ජ.නි.ස.) –

කෘෂිකර්මාන්තය සඳහා මේ රජයෙන් මොනවද කළේ. වී මිල දී ගැනීම සඳහා පාලන මිලක් දානව නම් සියලු වී සඳහා එය ක්‍රියාත්මක කරන්න. නැත්නම් වී මෝල් හිමියෝ මෙයින් ලාභ ලබනවා. අද කෘෂිකර්මාන්තයට ඇත්තේ ඛේදනීය තත්ත්වයක්. ධීවර කර්මාන්තයටත් එවැනිම තත්ත්වයක්.

කථානායක කරු ජයසූරිය මහතා මුලසුනට පැමිණියේය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා -

අවුරුදු 21ක් ධීවර අමාත්‍යාංශය අගාධයට ඇදගෙන ගියේ පසුගිය රජයයි. සියලුම දේවල් කඩා වැටුණා. මංකොල්ලා කෑවා. යහපාලන රජය යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා. ජෝශප් මයිකල් කැබිනට් ඇමැතිවරයා මම එතැන සිටියා තෙල් මිල අඩු කළා. භූමිතෙල් රුපියල් 30කින් අඩු කළා. විසිතුරු මත්ස්‍ය අපනයනය වැඩි දියුණු කළා. ජල ජීවි වගාවට අභිජනන මධ්‍යස්ථාන ඇති කළා. කාන්තාවන්ට ස්වයංරැකියා ආරම්භ කරන්න ව්‍යාපෘති සකස් කළා. ඒ තුළින් ධීවර ජනතාව ශක්තිමත් වුණා.

ග්‍රාමීය ධීවර බැංකු 1300ක් ආරම්භ කළා. එම බැංකුවලට ධීවරයන්ගේ දරුවන් බඳවා ගත්තා.

වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මතයි.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සන්ධ්‍යා කරුණාරත්න


නව අදහස දක්වන්න